පවතින ආර්ථික අර්බුදයෙන් මුදවා ගෙන රට නගා සිටුවීමට වසරක කාලයකට ආණ්ඩු පාලනය ලබා දෙන ලෙස දෙමළ දේශපාලන පක්‍ෂයක් සිංහල

ජනතාවගෙන් ඉල්ලා තිබේ.

''මේ අවස්ථාවේ මම සිංහල ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. දෙමළ පාර්ශවයට අවුරුද්දක් පාලනය දෙන්න. අපි අවුරුද්දකින් මේ රට නඟා සිටුවනවා. දෙමළ සිංහල ජනතාවට සම තැන ලබාදී අපි ක්‍රියාකරනවා. ඒ බව අපේ අරගලයේ දී ඔප්පු කරලා තියෙනවා,''යැයි තමිල් ඊළාම් විමුක්ති සංවිධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් ඉල්ලීමක් කරයි.

වවුනියාවේ පිහිටි ටෙලෝ සංවිධානයේ කාර්යාලයට වන්නියේ මාධ්‍යවේදීන් කැඳවූ අඩෙයික්කලනාදන් මන්ත්‍රීවරයා කියා සිටියේ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ධුරයට නුසුදුසු බව උතුරු නැගෙනහිර ජනතාව සිය ජන්දය මගින් සහතික කළ බවයි.

''සන්නද්ධ අරගලය පරාජය කරමින් ගෝඨාභය සහ මහින්ද රාජපක්‍ෂ ජයග්‍රහණය සැමරුවා. නමුත් ඔවුන් අපේ අරගලය විනාශ කළේ ඔවුන්ගේ දක්ෂතාවලින් නොවෙයි.  ජාත්‍යන්තරයේ උදව්වෙන්. අද ඒක හොඳට පේනවා.''

 

''අද සිංහල ජනයා උද්ඝෝෂණය කරනවා. ඒ මගින් පෙන්නුම් කරන්නේ අපි ගෙන ගිය සටන හරියි කියලා. මේ උද්ඝෝෂණ වලදීත් ඒ ගැන අදහස් පළ කෙරෙනවා. මේ තත්වය අපි අපේ අරගලයට යොදා ගන්න ඕනෑ,''යැයි ද මාධ්‍යවේදීන් හමුවේ ටෙලෝ නායකයා පවසයි.

 

''එදා රත්නපුරේ ඇති වූ ගංවතුර ගැලීමෙන් විපතට පත් සිංහල ජනතාවට කොටි සංවිධානය ආධාර ලබාදී තිබුණා. ඒ ඉතිහාසය අපිට අමතක කරන්න බැහැ. අපි හැමෝම එකමුතුව මේ රටේ ජීවත්වෙන්න ඕනෑ.''

විධායක ජනාධිපති ක්‍රමය ඇරඹි ජේ.ආර් යුගයේ පටන් අද දක්වාම ඉන් දැඩි ලෙස පිඩාවට පත්වුයේ දෙමළ කතා කරන ජනතාව බව ටෙලෝ නායකයා පෙන්වා දෙයි.

''අදත් අපේ තරුණයන් සිර ගෙවල් වල ඉන්නවා. අතුරුදහන් කළ’වුන් සොයමින් ඒ අයගේ අම්මලා අදටත් සටන් කරනවා. අපේ මිනිස්සුන්ගේ  ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගන්නවා.``

''එක් පුද්ගලයකු යටතට වැඩි බලයක් ලැබුනාම ඒක ජනතාවට හානිකරයි.''

 

විධායක ජනාධිපති ක්‍රමය පැවතීම තුලින් දෙමළ ජනයාගේ ශක්තිය කෙරෙහි පාලන බලය අපේක්‍ෂා කරන පාර්ශවයන්ගේ වැඩි අවධානයක් යොමු බවට බොහෝ පිරිස් පැවසුවත්, ටෙලෝ නායක සෙල්වම් අඩෙයික්කලනාදන් පෙන්වා දෙන්නේ එය එසේ නොවන බවට මෑත ඉතිහාසයෙන් නිදසුන් ඉදිරිපත් කළ හැකි බවයි.

 

''පසුගිය කාලයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කළේ දෙමළ ජනතාවගේ ඡන්දෙන්. ඔහු පාර්ලිමේන්තුවට බලය දුන්නා. ඒත්  දෙමළ ජනතාව වෙනුවෙන් බලය යොදවන්න එයා වැඩ කළේ නැහැ.''

''කිලිනොච්චියේ ආනන්ද සුදාකර් කියන දේශපාලන සිරකරුවා නිදහස් කරනවා කිව්වා ඒත් අද වෙනකම් නිදහස් කරලා නැහැ. එයා යම් යම් වෙනස් කම් කළාට අද වෙනකම් කිසිවක් ක්‍රියාත්මක නැහැ.''

''පේ  ඡන්ද අරන්  ජනාධිපති පුටුවට ඇවිත් ඒ පුටුවේ වාඩි වුනත්, දෙමළ ජනතාව තුට්ටුවකටවත් මායිම් නොකරපු චන්ද්‍රිකා නෝනා අද දෙමළ ජනතාව වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළනවා. එයා ජනාධිපති වෙලා ඉන්නකොට කළේ මේ විධායක ජනාධිපති ක්‍රමය දෙමළ ජනතාවට එරෙහි පාවිච්චි කරපු එකයි.''

විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට සියළු පාර්ශවයන් එක් කළ යුතු බව පවසන අඩෙයික්කලනාදන් මන්ත්‍රීවරයා පාලන වෙනසක් අපේක්ෂාවෙන් පසුවෙන සිංහල සහෝදරයන්ට ද මෙය කොන්දේසියක් ලෙස ඉදිරිපත් කළ යුතු බවට යෝජනා කර තිබේ.

 

''සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදහන්කළවුන්ට යුක්තිය ඉටුකිරීම, ඉඩම් කොල්ලය නැවත්වීම  ගැනත් අපිට ලිඛිත සහතිකයක් අවශ්‍යයි.''

 

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා දෙමළ බස වහරන සියලු දේශපාලන පක්‍ෂ වල එකතුවක් මගින්, අනෙකුත් පාර්ශවයන්ගේ සහයෝගය ලබා ගැනීමේ අවශ්‍යතාවය ද ඔහු පෙන්වා දෙයි.

''දෙමළ ජාතික සන්ධානයත් විශ්වාසභංගය ගැන සොයා බලනවා. දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායකයන් තුන් දෙනා විග්නේශ්වරන්, ප්‍රේමචන්ද්‍රන්,ශ්‍රීකාන්තා දැනටමත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ව්‍යාපාරයේ ඉන්නවා.''

 

''ජනාධිපති ගෙදර යන්න, රාජපක්ෂ පවුල ගෙදර යන්න කියන එක අපේ ඉල්ලීමක් නෙවෙයි. අපි ඔවුන්ව ප්‍රතික්ෂේප කරලා බොහෝ කල්. අපේ  ඉල්ලීම් ඉටු කරන්න  සහතික වෙන අය සමඟ අපි සාකච්ඡා කළ යුතුයි.''

 
 
 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්