මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉවත්කරන්නේ නම් පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමග තමා විපක්ෂයට යනබව නාමල් රාජපක්ෂ පවසයි.



ඔහු එබව ජනාධිපතිවරයා වෙත අද දැනුම්දී ඇතැයි අරලියගහ මන්දිර ආරංචිමාර්ග පවසයි.

ආණ්ඩුව තුල ඇති අර්බුදය සම්බන්ධයෙන් පවුලේ සාමාජිකයින් අතර හටගෙන ඇති මතගැටුම් පිළිබඳව සාකච්ජා කිරීමට ජනාධිපතිවරයා ඊයේ රාත්‍රී නාමල් රාජපක්ෂව කැඳවා තිබු නමුත් ඔහු ඊට සහභාගී වී නොතිබිණ.  

එසේ ජනාධිපතිවරයාගේ ඉල්ලීම මග හරිමින් ඔහු හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හමුවීමට ගොස් ජනාධිපතිවරයාගේ වත්මන් ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ජා කර ඇතැයි වාර්තාවේ.

කෙසේවුවද නාමල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා අද පෙරවරුවේ ජනාධිපතිවරයා හමුව ඇත.

එහිදී වත්මන් අර්බුදයට මුහුණදීම සඳහා තමා විසින් ලබන සතිය මුලදී ගැනීමට නියමිත දේශපාලන තීන්දුවක් පිළිබඳව ජනාධිපතිවරයා, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාව දැනුවත්කර තිබේ. එහිදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසා ඇත්තේ තම පියා වන මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉවත්වීමේ කිසිඳු සුදානමක් නැති බවයි.





''69 ලක්ෂයක් ජනතාව ඡන්දය දුන්නේ මහින්දගේ ඉල්ලීමට ''

පසුගිය ජනාධිපතිවරණයේදී 69 ලක්ෂයක් ජනතාව ඡන්දය ලබාදුන්නේ මහින්ද රාජපක්ෂ පිළිබඳව වූ විස්වාසය මත බවද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා වෙත සිහිපත්කර ඇතැයි ද ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

ජනාධිපතිවරයා, පසුගිය දින කිහිපයේ අගමැතිවරයා හමුවීමට උත්සහකර ඇතත් ඊට ප්‍රතිචාර දක්වා නොමැති අගමැතිවරයා තංගල්ලේ නිවසට ගොස් තිබිණ. ජනාධිපතිවරයා විසින් නාමල් රාජපක්ෂ කැඳවා ඇත්තේ ඉන් අනතුරුවය.

 

මේ අතර ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ, ඩලස් අලහප්පෙරුම ලබන සතිය මුලදී අගමැති ලෙස දිවුරුම් දීමට නියමිත බවත් අනතුරුව අන්තර්වාර ආණ්ඩුවක් ස්ථාපිත කරනු ඇති බවත්ය.




 ''එකාට එකා නැති තත්වයක්'' - අගමැති මහින්ද

කෙසේවුවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අවධාරණය කර සිටියේ, අන්තර්වාර ආණ්ඩුවක් ස්ථාපිත කළද අග්‍රාමාත්‍ය වරයා වන්නේ තමා බවයි.

එහෙත්, එකාට එකා නැති තත්වයක් යටතේ අන්තර්වාර රජයක් පිහිටුවන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්නකර සිටියි.

තමාට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වන්නැයි ඉල්ලා ඇත්තේ ඉතිහාසය ගැන නොදන්නා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පමණක් බවත් මන්ත්‍රීවරුන් බහුතරයක් තමා සමග සිටින බවත් ඔහු කීවේය.

එමෙන්ම ගාලුමුවදොර අරගලයේ නිරත වන තරුණයින් සමඟ ඕනෑම මොහොතක සාකච්ඡා කිරීමට සූදානම් බව පැවසු අග්‍රාමාත්‍යවරයා, ඔවුන් සාකච්ඡාවකට නොපැමිණෙන තාක්කල් ඔවුනට දිගටම අරගල කරමින් සිටීමට සිදුවන බවද  ප්‍රකාශ කළේය.

රට යම් අසීරු තැනක තිබෙන බව තමා පිළිගන්නේ යයිද අර්බුදයෙන් රට ගොඩ ගැනීමට රජයට ශක්තිය ඇතැයිද අගමැතිවරයා පැවසීය.

රට මීට වඩා අර්බුදවලට මුහුණ දුන් අවස්ථා ඉතිහාසයේ ඕනෑ තරම් තිබූ බව ඔහු වැඩිදුරටත් කීවේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙම අදහස් පළ කළේ 'නෙත් නිවුස්' වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

රටේ තත්ත්වය, අන්තර්වාර ආණ්ඩුව සහ ගාලුමුවදොර අරගලය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පළ කළ සම්පූර්ණ අදහස් ඇතුලත් වීඩියෝවක් පහතින්.

 
 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්