හිටපු මැතිවරණ කොමසාරිස් හා සිමා නිර්ණ කොමිසමේ වත්මන් සභාපති මහින්ද දේශප්‍රිය ඊයේ (23) පස්වරුවේ දැන්වීම් පුවරුවක් ප්‍රදර්ශනය කරමින්

 අම්බලන්ගොඩ නගරයේ විරෝධාවක නිරත විය.

‘‘පොලිස්පතිතුමනි රඹුක්කන රීරි යකා බැඳ දමමු‘‘ යනුවෙන් සටහන් කළ දැන්වීම් පුවරුව ප්‍රදර්ශනය කරමින් මහින්ද දේශප්‍රිය අම්බලන්ගොඩ නගරයේ පදික වේදිකාවට වී සිටියේ, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හා දේවානන්ද විද්‍යාලය අතර පවතී බිග් මැච් එක නැරබීමින් සිටින අතරතුරය.

maco 1

maco 2


ඝාතනයට ලක්වූ ලක්ෂාන්ගේ අවසන් කටයුතු සිදුකෙරෙයි


රඹුක්කන දී පොලිස් වෙඩි පහරින් ඝාතනයට ලක්වූ නාරන්බැද්ද, හිරිවඩුන්න පදිංචි කේ. බී. චමින්ද ලක්ෂාන් ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (23) පස්වරු 4.30ට පමණ සිදුකෙරුණි. ඒ හිරිවඩුන්න කරදගස්තැන්න පවුලේ සුසාන භූමියේදීය.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය පෙරේදා  (22) අළුයම ඔහුගේ නිවසට රැගෙන ආ අතර දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් එක්විය.

පසුගිය 19 වනදා රඹුක්කන නගරයේ දී ඉන්ධන මිල ඉහළයෑම සහ ඉන්ධන හිඟයට විරෝධය පාමින් පැවති විරෝධතාවක් අතරතුර පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් චාමින්ද ලක්ෂාන් ජීවිතක්ෂයට පත් වුණි.



පසුගිය 19 වන දින රඹුක්කන පොලිස් බල ප්‍රදේශයේ නීතිවිරෝධී ජනරාශියක් විසිරුවා හැරීම සඳහා පොලීසිය බලය පාවිච්චි කිරීමේ දී පුද්ගලයකු මරණයට පත්කිරීම සම්බන්ධව අපක්ෂපාතී පූර්ණ විමර්ශනයක් කරන මෙන් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්. තිලකරත්නට නියම කර ඇත.

මෙම සිද්ධියේ දී චමින්ද ලක්ෂාන් නමැත්තා ඝාතනය වූ අතර, උක්ත විමර්ශනය අපරාධ නඩුවිධාන සංග්‍රහ පනතේ 125 වගන්තිය ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරාගෙන, තෙදිනක් ඇතුළත අතුරු වාර්තාවක් ලබාදෙන මෙන් පොලිස්පතිවරයා දන්වා තිබේ.


සිද්ධිය විමර්ෂණය කරන්නන්ගේ ස්වාධීනත්වය ගැන සැකයක්


රඹුක්කන වෙඩි තැබීම ගැන සොයා බැලීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය පත්කළ පරීක්ෂණ මණ්ඩලයේ ස්වාධීනභාවය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ, රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය හා සබැඳිව පොලීසියේ ක්‍රියාකලාපය පිළිබඳව සොයා බැලීමට පත්කර ඇති ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයන් සියලුදෙනා රාජ්‍ය ආරක්ෂක අංශයේ අය බව යි.

එවැනි මණ්ඩලයක් ස්වාධීන මණ්ඩලයක් නොවන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කරයි.

නීතියේ ආධිපත්‍යය සහ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය සහතික කිරීම සඳහා විශ්‍රාමික විනිසුරුවරයෙකු, ජනාධිපති නීතිඥවරයෙකු, සිවිල් සමාජයේ සාමාජිකයෙකු වැනි, රාජ්‍ය ආරක්ෂක අංශයට සම්බන්ධ නොවන වෙනත් පුද්ගලයින් පත් කරන ලෙස මානව හිමිකම් කොමිසම ඉල්ලා සිටියි.

මෙම ප්‍රකාශය සැලකිල්ලට ගන්නා ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පොලිස්පතිවරයාට සහ ආරක්ෂක අංශ වෙත දැනුම් දී තිබේ.

shanika

කවුද මේ පරීක්ෂණ මණ්ඩල සාමාජිකයින්?


රඹුක්කන සිද්ධියේ දී පොලීසිය කටයුතු කරන ලද ආකාරය ගැන සොයා බැලීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් පත් කළේ ය.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ අප්‍රේල් 19 වැනිදා රඹුක්කන නගරයේ මාර්ග සහ දුම්රිය මාර්ග අවහිර කරමින් කළහකාරී ලෙස හැසිරුණු පිරිස විසුරුවා හැරීමට පොලීසිය විසින් කරන ලද බලය පාවිච්චි කිරීම නීත්‍යානුකූලව සිදුව තිබේ ද යන්න අනාවරණය කර ගැනීම සඳහා මෙලෙස ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් පත්කර ඇති බව යි.

එහි සාමාජිකයින් වන්නේ,

# ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් එස්. ටී. කොඩිකාර
# මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්. එස්. පී. සූරියප්පෙරුම
# ආරක්ෂක අමාත්‍යාංශයේ නීති උපදේශක මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ඊ. එස්. ජයසිංහ


පූර්ණ පරීක්ෂණයක් සඳහා පොලීසියෙනුත් විශේෂ පරීක්ෂණ කණ්ඩායමක්


රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකිරීම සඳහා අවිස්සාවේල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දෙවත්තගේ ප්‍රධානත්වයෙන් නිලධාරීන් 20 දෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ කණ්ඩායමක් පත්කර ඇත.

පොලිස්පතිවරයාගේ අනුමැතියට යටත්ව, සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මෙම පරීක්ෂණ කණ්ඩායම පත්කර තිබේ.

මෙම විශේෂ කණ්ඩායම සහකාර පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකු ඇතුළු නිලධාරීන් 20 දෙනෙකුගෙන් සමන්විතව විමර්ශන ආරම්භ කර ඇතැ යි ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ ප්‍රකාශ කළේ ය.

ඔහු කියා සිටියේ, සිද්ධිය වූ ස්ථානයට රජයේ රස පරීක්ෂකවරයා කැඳවීමට පියවර ගෙන ඇති බව යි. දැනට සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද ඔහු සඳහන් කළේ ය.


විරෝධතාවයේ දී මියගිය පුද්ගලයාට එරෙහිව නඩු දෙකක්



රඹුක්කන විරෝධතාවයේ දී මියගිය පුද්ගලයාට එරෙහිව මහාධිකරණයේ නඩු දෙකක් විභාග වෙමින් ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ය.

ඔහු කියා සිටියේ 2010/02/04 රඹුක්කන පොලිස් වසමේ දී ගිනි අවියකින් වෙඩි තබා, අත්බෝම්බයක් පුපුරවා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයාට එරෙහිව කෑගල්ල මහාධිකරණයේ එක් නඩුවක් විභාග වන බව යි.

2017 ජනවාරි 08 වැනි දින රඹුක්කන පොලිස් වසමේ දී වෑන් රථයකට පහර දී පුද්ගලයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් තවත් නඩුවක් විභාග වෙමින් පවතින බව ද අජිත් රෝහණ සඳහන් කළේ ය.

කෙසේ නමුත්, පොලිසියේ මෙම ප්‍රකාශයට එරෙහිව සිවිල් සමාජයෙන් බොහෝ විරෝධතා එල්ලවිය. සමාජ ක්‍රියාකාරීන් පවසන්නේ, මෙවන් ප්‍රකාශයන් සිදුකිරීම මඟින් මෙම පුද්ගලයා ඝාතනය කිරීම සාධාරණීකරණයට පොලීසිය උත්සාහ දරන බව යි.

don

ජීව උණ්ඩ දමා වෙඩි තැබීම අවම බලය නම්, උපරිම බලය මොකද්ද?



මේ අතර 'ජනතා නීතිඥයෝ' සංවිධානයේ සාමාජික නීතිඥ සේනක පෙරේරා ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් විමසා සිටියේ, විරෝධතාව විසුරුවා හැරීමෙන් අනතුරුව දිවයන පුද්ගලයින්ට වෙඩි තැබුවේ ඇයි ද යන්න යි.

"මේ පොලිස් නිලධාරියෙක් අතේ ගලක් තියෙනවා. පොලිස් නිලධාරියෙක් අතේ ගලක් තියෙන්නේ ඇයි? ශ්‍රී ලංකා පොලීසියෙන් දෙන්නේ එක්කො බැටන් පොල්ලක්, එහෙම නැත්නම් තුවක්කුවක්. දැන් ගලක් මොකටද දෙන්නේ? අඩුම ගානේ පොලීසියට රබර් උණ්ඩ තිබුණේ නැද්ද වෙඩි තියන්න? ජීව උණ්ඩ තුවක්කුවට දැම්මා කියන්නෙම කවුරුහරි මරණවා කියන චේතනාවෙන් තමා එක් දැම්මේ," නීතිඥවරයා කියා සිටියේ ය.

 

ruwan

හිටපු අමාත්‍ය රුවන් විජේවර්ධන කෑගල්ල රෝහලේ..

 

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මෙසේ ප්‍රකාශ කළේ ය: "නිරායුධව උද්ඝෝෂණය කරන කොට සන්නද්ධ නිලධාරීන් යවලා වෙඩි තියන්න කියලා අණ දුන්නේ කවුදැ යි කියලා කියන එක මේ රටට පමණක් නොවෙයි, මුළු ලෝකයටම උත්තර දෙන්න ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙනවා. මේ සිද්ධියත් මම දකින්නේ රතුපස්වල දෙක හැටියට."

මේ අතර, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්, ජීව උණ්ඩ දමා වෙඩි තැබීම අවම බලය නම් උපරිම බලය කුමක්දැ යි විමසා සිටියේ ය.

"ජීව උණ්ඩ දලා වෙඩි තබන එක අවම බලය නම් උපරිම බලය මොකද්ද? බැලැස්ටික් මිසයිල ගහන එක ද? දණිස්සෙන් පහළට වෙඩි තියෙන කොට ඒගොල්ලෝ ඔළුවෙන් හිටගත්තා, ඒ නිසා බඩට වෙඩි වැදුණා කියන එකද මේ කියන්නේ?" ඔහු ප්‍රශ්න කළේ ය

 





(උපුටා ගැනීම් - BBC සිංහල සේවය)



 

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්