theleaderlk 01

තෝරාගත් විශේෂ ක්‍ෂේත්‍රවලට අවශ්‍ය ඉන්ධන තනි තනිව ආනයනය කිරීමේ අවසරය ලබාදීමට හැකි පරිදි ඛනිජ තෙල් නිෂ්පාදන පනත සංශෝධනය

කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ පැවසීය.

විදුලිබල, ධීවර සහ අපනයන සම්බන්ධ කටයුතු ආදී විධිමත් අයුරින් තෝරාගත් ක්‍ෂේත්‍ර වෙනුවෙන් අවශ්‍ය ඉන්ධන ඔවුන්ටම ආනයනය කිරීමට හැකි පරිදි මෙම පියවර ගැනෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ වෙනුවෙන් 2002 අංක 33 දරණ පනත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීම පිණිස බලශක්ති ඇමති කංචන විජේසේකර ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද රමේෂ් පතිරණ කීවේය.

සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

රටේ සියලු ආර්ථික ක්‍රියාකාරකම් සඳහා ඉන්ධන අත්‍යාවශ්‍ය බැවින් ආර්ථිකයේ තෝරාගත් විශේෂ ක්‍ෂේත්‍රවලට තමන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් තනි තනිව ආනයනය කර භාවිතා කිරීම සඳහා බලපත්‍රයක් ලබාදීම යෝග්‍ය බව හඳුනාගෙන ඇතැයි ද ඇමතිවරයා ප්‍රකාශ කළේය.


Leader Whats app