“ආණ්ඩුව පෙරළා දැමීමට මේ වන තුරුත් නොහැකිවී ඇත්තේ, බැසිල් රාජපක්ෂ හා සමගි ජන බලවේගය අතර තිබෙන ඩීල් එකක් නිසා,” යැයි තමන්ට

හිතෙන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පැවසීය.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හරහා මෙම ඩීල් එක ක්‍රියාත්මක වෙන බව තමන්ට පෙනෙන්නට තිබෙන බව ද ඔහු සඳහන් කළේය.

වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා එබව පැවසුයේ, මරදානේ පිහිටි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණු මූලස්ථානයේ ඊයේ (අප්‍රේල් 26) පැවති මාධ්‍ය හමුවකදීය.

 

ආණ්ඩුව පෙරළා දැමීමට වඩා ඡන්දයක් ලබා ගෙන ආණ්ඩුවක් පිහිටුවීම විපක්ෂ නායකවරයාගේ අරමුණ වුවත් ආණ්ඩුවක් පිහිටුවීමට තරම් මන්ත්‍රී සංඛ්‍යාවක් ඔවුන්ට නොලැබෙන බව සමගි ජන බලවේගය වටහාගෙන ඇති බව ද ඔහු පැවසීය.

 

සමගි ජන බලවේගයට ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය මන්ත්‍රී සංඛ්‍යාව පොහොට්ටුවෙන් ලබා ගැනීම බැසිල් රාජපක්ෂ හා සජිත් අතර තිබෙන ඩීල් එක බවත් ඒ නිසා බැසිලු යි, සජිතුයි මේ වනවිට රොටිය දෙපැත්තට පෙරළමින් සිටින බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ගෝඨාභයට යන්න කිය කියා ජනාධිපති කාර්යාලය දෙස බලා ගෙන විරෝධතා පවත්වා ගෙන යන අතරතුර බැසිල් ආණ්ඩුව පවත්වාගෙන යන බවත් එසේ කරන්නේ සජිත් සමග තිබෙන එම ඩීල් එක නිසා බව ද ඔහු පැවසීය.

බැසිල් රාජපක්ෂ වත්මන් රජය පාලනය කරගෙන යන බව ද සමගි ජන බලවේගය පක්ෂය ද ඒ සඳහා ඇතුළත් කරගෙන ඇත්තේ ඔහුට වුවමනා දේ කර ගැනීමේ බලාපොරොත්තුව ඇතිව බව ද ඔහු පැවසීය.

 

ආණ්ඩුවෙන් ඉවත් වීමට අගමැතිවරයාට කැමැත්ත ඇති නමුත් බැසිල් රාජපක්ෂ ඔහුට ඉවත්වීමට ඉඩ නොදෙන බව ද ඒ නිසා අගමැතිවරයා එම ධූරයෙන් ඉවත් වේ යැයි සිතීමට නොහැකි බව ද වාසුදේව මන්ත්‍රීවරයා කීය.

 

අගමැතිවරයා ඉවත් කිරීමට නම්, කළ යුතුව ඇත්තේ විශ්වාසභංගයකින් බව ද ඒ හැර වෙනත් ක්‍රමයකින් ඔහුව ඉවත් කිරීමට නීතියෙන් ඉඩක් නොමැති බව ද නානායක්කාර මන්ත්‍රීවරයා පැවසීය.

උඩ අතට බැලුවත් හරස් අතට බැලුවත් ආණ්ඩුව පෙරළා දැමීමට අවශ්‍ය මන්ත්‍රි සංඛ්‍යාව සිටින නමුත් එය නොකෙරෙන තැනට සමගි ජන බලවේගය කටයුතු කරමින් සිටින බව ද නානායක්කාර සඳහන් කළේය.

අවුරුදු දෙකක් රට කාපු අයත් එක්ක එකතුවෙලා ආණ්ඩුවක් හදන්න තමන් ලෑස්ති නොමැති බවට සජිත් ප්‍රේමදාස පසුගියදා ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවැති රැස්වීමකදී ප්‍රකාශ කළ බවත් ආණ්ඩුව පෙරළා දැමීමට ඔහුට ඕන කමක් නොමැති බව එම කතාවෙන් පැහැදිලිව පෙනෙන බවත් ඔහු පැවසීය.

සජිත් ප්‍රේමදාස පිළිබඳව කතා කරන්නට හොඳ තෝම්බු ඇතත් මෙය ඒවා කතා කළ යුතු වේලාවක් නොවන බව ද ඔහු සඳහන් කළේය.

ස්වාධීනව මන්ත්‍රීවරුන්ට ද රජයට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට හැකියාව ඇති නමුත් ඒ සඳහා සමගි ජන බලවේගයේ සහාය ලැබේ යැයි විශ්වාස කළ නොහැකි බව ද මන්ත්‍රීවරයා පැවසීය.

අන්තර්වාර පාලනයක අගමැති ධූරය භාරගැනීමට නානායක්කාර කැමැති ද යන්න පිළිබඳව මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු දුන් ඒ මහතා කියා සිටියේ, ඒ සඳහා තම පක්ෂයේ කැමැත්ත විමසා බැලිය යුතු බව ය.

විශ්වාසභංගයට සමගි ජන බලවේගය සහාය ලබා දුන්නේ නම් මේ වනවිටත් ආණ්ඩුව ඉවත් කර අවසන් බව ද මන්ත්‍රීවරයා වැඩිදුරට ත් පැවසීය.


(mawbima.lk)
 


Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්