ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හා ජනපති අතර හමුවක් අද (28) සවස ජනපති මන්දිරයේදී පැවති අතර

මෙම හමුවේදී දැඩි උණුසුම් අදහස් හුවමාරු වූ බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මෙහිදී පළමුවෙන්ම රටේ දැනට මතුව පවතින භාණ්ඩ හිගය ඇතුලු කරුණු ගණනාවක් පිළිබදව සාකච්ජා වී ඇති අතර පසුව අන්තර්වාර ආණ්ඩුව පිළිබදව මුලින්ම අදහස් දැක්වීම ආරම්භ කොට ඇත්තේ අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයාය.

ආණ්ඩුවට එරෙහිව මතුව ඇති විරෝධය හමුවේ අඩියක් පිටුපසට යායුතු බව ඔහු විසින් අවධාරණය කර ඇත්තේ අගමැති ධුරයේ වෙනසක් සිදුවිය යුතු බව නොකියා කියමිනි.

වහාම ඊට ප්‍රතිචාර දක්වා ඇති පුත්තලමේ සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා, අගමැති ධුරයෙන් මහින්ද රාජපක්ෂ ඉවත් නොවියයුතු යයි සඳහන් කර තිබේ.

අනතුරුව හිටපු අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි අදහස් දක්වමින් සිටියදී කෝපයට පත් ජනාධිපතිවරයා, තමාට සහ අගමැතිවරයාට දෙපැත්තට කේලම් කියමින් අනවශ්‍ය ගැටුම් ඇති නොකරන්නැයි මන්ත්‍රීවරියට බැනවැදී ඇත.

අගමැතිවරයාට ඉල්ලා අස්වීමට හෝ තනතුරෙන් ඉවත්වන ලෙස කිසිවිටෙකත් නොකී බව පවසා ඇති ජනාධිපතිවරයා, අතුරු අයවැයක් සම්මතකර ගැනීමට තිබෙන අවස්ථාවක පාර්ලිමේන්තුවේ 113 ක බහුතර බලය අහිමිවීමේ අවධානමක් පවතින බව පෙන්වා දී ඇත.  



ඒ සමගම තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා අරුන්දික ප්‍රනාන්දු කළ ප්‍රකාශය විවේචනය කරමින් ජනවරම දුන්නේ අන්තර්වාර ආණ්ඩු පිහිටුවීමට නොවන බවත්, ජනවරම දුන්නේ පොහොට්ටුවට ආණ්ඩු කිරීමට බවත් පෙන්වා දී ඇත.

එමෙන්ම අගමැතිකම ගැනීමට ඩලස් අලහප්පෙරුම කුමන්ත්‍රණය කරන බව කියමින් කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා චෝදනා කර තිබේ.

ඒ සමගම අදහස් ප්‍රකාශ කිරීමට නැගී සිට ඇති අලහප්පෙරුම මන්ත්‍රීවරයා තමන් ශරීරයෙන් මිටි අයකු බව ඇතැමුන් උපහාසයෙන් පැවසුවද තමා එවරස්ට් කන්දටත් වඩා උස ආත්ම ශක්තියක් ඇති  පුද්ගලයකු බව සඳහන් කර තිබේ.



තමන් කිසිවිටෙක කුමන්ත්‍රණය කළ අයකු නොවන බවත් කරන කියන දෙයක් ප්‍රසිද්ධියේ කරන අයකු බවත් ඔහු දැඩි කෝපයෙන් යුතුව සදහන් කොට තිබේ.

තමා මහින්ද රාජපක්ෂ වෙනුවෙන් එදා පෙනී සිටිමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකට එරෙහිව ප්‍රසිද්ධියේම සටන් කළ අකාරය අගමැති මහින්ද රාජපක්ෂගෙන් ම අසා දැනගන්නැයි ද ඩලස් මන්ත්‍රීවරයා පවසා ඇත.

'' එදා අපි මහින්ද රාජපක්ෂ අගමැතිතුමා වෙනුවෙන් සටන් කරද්දී ඔය සමහර උදවිය හිටියේ එක්සත් ජාතික පක්ෂයේ.. ඒ සමහරු අද මෙතන අගමැතිතුමා වෙනුවෙන් මහ ලොකු වීර කතා කිව්වට එදා හිටියේ මහින්ද අගමැතිතුමාට විරුද්ධව. රටේ දේශපාලනේ තීරණාත්මක අවස්ථාවක් ඇවිත්.. අපි මෙහෙම කෑකෝ ගහන වෙලාවේ රටම නැවතිලා. රට පුරාම උද්ඝෝෂණ. අද රට පුරාම වර්ජන..'' යයි පවසමින් ඔහු රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ විග්‍රහයක් ඉදිරිපත් කර තිබේ.

 

ආණ්ඩුව වහාම අලුත්විය යුතු බව තම පසුගියදා ජනාධිපතිවරයා හමුවී අවධාරණය කල බව පවසා ඇති ඩලස් මන්ත්‍රීවරයා, එසේ නොවුනහොත් මුහුණදීමට සිදුවන භයානක අනතුර පෙන්වාදුන් බවත් එම කාරණා ලිඛිතව ද ඉදිරිපත් කල බවත් සඳහන් කර තිබේ.



ඉන් අනතුරුව නැවතත් කතා කොට ඇති අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයා, මෙම ප්‍රශ්නය පවුලේ ප්‍රශ්නයක් බවත්, එය පවුල තුළම විසදාගත යුතු බවත් සදහන් කොට ඇත.

අරුන්දිකගේ එම ප්‍රකාශයෙන් කෝපයට පත්ව ඇති නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා,  මෙතැන පවුල් කතා අනවශ්‍ය බවත්, අරුන්දික තමන් සමග එකක් පවසා මෙතැන ඇවිත් තවත් එකක් කියන බවද සදහන් කොට ඇත.

තවත් කිහිප දෙනෙකුමමෙහිදී අදහස් දක්වා ඇති අතර ඇතැමුන් මහින්ද රාජපක්ෂ තවදුරටත් අගමැති ධුරයේ සිටිය යුතු බව පවසද්දී ඇතැමුන් සඳහන් කර ඇත්තේ වෙනසක් අවශ්‍ය බවයි. ඒ කිසිවකුත් මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉවත්විය යුතු බවක් සඳහන් කර නොමැත.

ඉන් අනතුරුව අදහස් දක්වා ඇති අගමැතිවරයා, ඩලස් පිළිබද අදහස් දක්වමින් ''ඩලස් කියන්නේ මම එදා ඉදන්ම දන්න කෙනෙක්. මමයි ඩලස්ව දේශපාලනයට අරගෙන ආවේ. '' යයි පවසා තිබේ.



''අරගල වලට බියවියුතු නැ'' - ඩයනා

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ අන්තර්වාර ආණ්ඩුවට එරෙහිව මෙහිදී දැඩිව අදහස් දක්වා ඇති අතර අරගලවලට බිය නොවිය යුතු බව ඇය අවධාරණය කර තිබේ.

කෙසේවෙතත් මෙම ප්‍රකාශයෙන් අනතුරුව විවිධ මන්ත්‍රීවරුන් අදහස් දැක්වීමට යාම හේතුවෙන් නැවත වතාවක් රැස්වීම උණුසුම් වී ඇති අතර පසුව අගමැතිවරයා මැදිහත්ව සාකච්ජාව අවසන් කිරීමට පියවර ගෙන ඇති බවද වාර්තා වේ.

 

 

 

 


 

Leader Whats app

 

 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image