1200 x 80 DMirror

 
 

ජනාධිපතිගේ සාකච්ඡා සාර්ථක වුවහොත් 'ජාතික සමගි රජයක්' පිහිටුවීමට රජය ඉක්මනින් ක්‍රියා කළ යුතු බවත්, මෙහිදී මිත්‍රත්වයේ හස්තය විපක්ෂයට

දිගු කිරීම වහා සිදු විය යුතු බවත් හිටපු කතානායක කරු ජයසුරිය පවසයි.

''උපාලි අබේරත්න කොමිසමේ පලිගැනීම් පරීක්ෂණ දිනපතා කරගෙන යමින්, රන්ජන් රාමනායක ව අසාධාරණව හිරකර තබාගෙන විපක්ෂයේ සහාය බලාපොරොත්තු වෙන්න එපා.'' යයි ද හෙතෙම ආණ්ඩුවට කියා සිටියි.

ජනතාවගේ ඉවසීමේ සීමාව දෙදරීමට ඉඩ තිබෙන බව පවසන කරු ජයසුරිය, තුවක්කුවෙන් බයිනෙත්තුවෙන් විරෝධතා පාලනය කිරීමට නොහැකිබව ආණ්ඩුවේ බලධාරීන් වෙත අවධාරණය කර සිටියි.

'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ' සභාපති කරු ජයසූරිය එම කාරණා සඳහන් කර සිටියේ මාධ්‍ය හමුවක් කැඳවමිනි.

මේවනවිට රාජ්‍යකරණය බිඳවැටී තිබීම ඉතා අවාසනාවන්ත සිදු වීමක් බව හිටපු කතානායකවරයා එහිදී පැවසිය.

වත්මන් අර්බුදය ආණ්ඩුවේ කළමණාකාරීත්වයේ වරදින් සිදුවූවක් බවට චෝදනා කල කරු ජයසුරිය,  එම වැරදිවලට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ අසරණ ජනතාවට කීය.


තවදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද සඳහන් කළේය.


''අරගලකරුවන් ඉල්ලන්නේ ප්‍රජාතන්ත්‍රවාදී, විනිවිද පෙනෙන, පිරිසිදු පාලනයක්.''



''විදුලි කප්පාදුව නිසාත්, අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය නිසාත්, ජීවන වියදම ඉහළ යාම නිසාත්, විදේශ සම්පත් නොමැති නිසාත්, ජනතාව විශාල පීඩනයකට ලක්ව තිබෙනවා. ඒ ගැන පුන පුනා කතා කිරීමෙන් වැඩක් නැහැ.

රජය නියමිත වේලාවට තීරණ ගත්තේ නැහැ. අවුරුදු ගණන් එම තීරණ ගැනීම ප්‍රමාද කලා. රජයේ කාබනික පොහොර ප්‍රතිපත්තිය නිසා ගොවිතැන විනාශ වුණා. ගොවියන්ට වන්දි දීමට පොරොන්දු වුවත්, එම පොරොන්දුව කඩ කළා.

මහා මාර්ග සහ මංතීරු සදහා අනවශ්‍ය ලෙස මුදල් නාස්ති කලා.

විදුලි කප්පාදුව නිසා කර්මාන්ත ක්ෂේත්‍රය එහෙම පිටින් ම බිඳ වැටුණා.

රුපියලට නියම වටිනාකමක් නොදීම නිසා විදේශ මුදල් නීත්‍යානුකූලව රටට ගලා ඒම නැවතුණා.

මේ සියල්ල සිදුවූයේ කළමණාකාරීත්වයේ වරදින්. මේ වැරදිවලට වන්දි ගෙවන්නේ අසරණ ජනතාව යි.

revolution 2022.4.27

මීට අමතරව ගෝල්ෆේස් පිටියේ දී හා රට පුරා විවිධ ස්ථානවල රජයටත්, ජනාධිපති හා අගමැතිවරයාටත්, දැඩිව දෝෂාරෝපණය කරනවා. මොවුන් ඉල්ලන්නේ ප්‍රජාතන්ත්‍රවාදී, විනිවිද පෙනෙන, පිරිසිදු පාලනයක්.

මහජන මුදල් නාස්ති කළ හා කොල්ල කෑ ආකාරය ගැන විවිධ වාර්තා දැන් එළිදැක්වෙනවා. රුපියල් බිලියන 36ක සීනි මංකොල්ලය රජයේ බලවතුන්ගේ අනුදැනුම පිට සිදු වූ බවට පාර්ලිමේන්තුවට විගණන කොමිසම වාර්තා කරන්න විට ඇඟ කිලිපොලා යනවා. මේ දූෂිතයන්ට තවම කිසිම දඬුවමක් නොලැබෙන විට තරුණයින් කුපිත වීම ස්වාභාවිකයි.

දේශපාලනයෙන් බැහැර ව විරෝධතාවල යෙදෙන විවිධ තරුණ කණ්ඩායම් අප හමුවීමට පැමිණියා. ඔවුන් අදහස් ප්‍රකාශ කරන්නේ දැඩි වේදනාවෙන්. සමහර දේශපාලකයින් මේ තරුණයින්ගේ අනාගතය විනාශ කළ බවට හා කොල්ලකා ඇති බවට ඔවුන් චෝදනා කරනවා. මේ තරුණ පරම්පරාව අනාගත බලාපොරොත්තු සුන් කරගෙන සිටිනවා. එම නිසා මේ රටේ ඔවුන්ගේ අසහනය තේරුම් ගත යුතුයි. ඔවුනට අනුකම්පා කළ යුතුයි.

ජනාධිපතිතුමන් විසින් ආණ්ඩු පක්ෂයේ වෙන් වුණු විවිධ කොටස් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සාකච්ඡාවකට කැඳවා තියනවා.

 

පසුගිය දින කිහිපය තුළ අප දුටුවේ රජය විසින් බලය රැක ගැනීම සඳහා දරන උත්සාහයක් මිස දැවෙන ප්‍රශ්න විසඳීමට අවධානය යොමු ව තිබුණේ නැති බවයි. මෙය රජයේ වගකීම පැහැර හැරීමක්. අප රජයට කියන්නේ වහාම මේ ගැන ක්‍රියාත්මක වන ලෙසයි.

 

''නීතිඥ සංගමයේ යෝජනා ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කරන්න! ''


 20 වැනි සංශෝධනය ඉදිරිපත් කළ දාට පසු දින සිටම අපි එයට විරුද්ධ වුණා. 19 ව්‍යවස්ථාව වහා බලගන්වන ලෙස අපි හඬ නැගුවා. මේ හඬ ගෝල්ෆේස් පිටියෙන් හා දිවයිනේ සතර දිග් භාගයෙන් දැන් ඇසෙනවා.

විපක්ෂය කැඳවීමට පෙර මේ කරුණු පිළිබඳව  ජනාධිපතිතුමාගේ ස්ථාවරය පැහැදිලි කරන ලෙස අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

ව්‍යවස්ථා සංශෝධන සඳහා විවිධ යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස මාස ගණනාවකට පෙර අප ඒ පිළිබඳ අදහස් එළිදැක්වූවා. සමගි ජන බලවේගය, චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ හා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද ඉතා වටිනා යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. සමහර යෝජනා ක්‍රියාත්මක කිරීමට මාස ගණන් ගත වනවා.

 

නීතිඥ සංගමයේ යෝජනා ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කළ හැකියි. රජයට ඕනෑකමක් තිබෙනවානම් ලබන පාර්ලිමේන්තු සතියේදී ම මෙහි වැඩි කොටසක් ක්‍රියාත්මක කළ හැකියි. ජනතා විශ්වාසය උපයා ගැනීමට මේ කරුණු අවධානයට යොමු කරන්න.

 

අපි මේ තරම් වේදනාවෙන් කතා කරන්නේ ජනතාව ගැන හැඟීමක් ඇතිව. මේ අවසාන මොහොතේ හෝ රජය මේ කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම ජනතා යුතුකමක් ලෙස අපි දකිනවා.''

 
 

Leader Whats app

 

 

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

ඇට මැස්සා