theleaderlk 01

පාර්ලිමේන්තුවේදී මන්ත්‍රිවරුන් 113 දෙනෙකුගේ බහුතරය පෙන්වීමට කිසියම් පාර්ශවයක්

සූදානම් නම් අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත්වීමට මහින්ද රාජපක්ෂ සූදානම් බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

අග්‍රාමාත්‍ය ධූරයේ වෙනසක් සිදු කෙරෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නව අගමැතිවරයා කවුරුන්දැයි දැනුම්දිය යුතුය යන්න අග්‍රාමාත්‍යවරයාගේ මතය වන බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසිය.

එසේ නොමැතිව අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වුවහොත් කැබිනට් මණ්ඩලය අහෝසි වන බැවින් ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය විය හැකි බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

එවැනි තත්ත්වයක් ඇතිවීම වර්තමානයේ පවතින ගැටළු තවත් උග්‍රවීමට හේතුවක් වනු ඇති බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරමින් පවතින වැඩසටහනට එය අහිතකර ලෙස බලපානු ඇති බවත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ මතය වන බව අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

අගමැති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී හෙට (04) විශේෂ ප්‍රකාශයක් කරමින්, නව අගමැතිවරයකු පත්කළ වහාම සිය ධුරයෙන් ඉල්ලා අස් වීමට සුදානම් බව ජනාධිපතිවරයා වෙත ඊයේ (02) දැනුම් දී තිබිණ.




කෙසේවුවද පවුලේ සාමාජිකයින්ගෙන් හා හිටපු ඇමතිවරුන් කිහිප දෙනෙකුගෙන් එල්ල වූ බලපෑම් මත අගමැතිවරයා එම තීන්දුව හකුලාගෙන ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.



රාජිත කියපු කතාව :

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අද දහවල් මාධ්‍යවෙත කියා සිටියේ, හෙට (04) දිනයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉවත් වන බවට ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ නියෝජිතයින් හා සමගි ජන බලවේගය අතර පැවති සාකච්ඡාවේදී ප්‍රකාශ වු බවයි.

ජාතික එකඟතා ආණ්ඩුවක් පත් කිරීම සඳහා යෝජනා සහ අදහස් ලබාගැනීම වෙනුවෙන් පත්කෙරුණු කමිටු සාමාජිකයින් අද (03) පෙරවරුවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් හමුවී සාකච්ඡා පැවැත්විය.

කමිටුව වෙනුවෙන් නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ටිරාන් අලස් යන මහත්වරු සාකච්ඡාවට එක්වු අතර ඊට අමතරව ස්වාධීන මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, නිමල් ලාන්සා හා නලීන් පෙරේරා යන අයද ඊට එක්ව සිටියේය.

සමගි ජන බලවේගය වෙනුවෙන් සාකච්ඡාවට එක්ව සිටියේ එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත සේනාරත්න, ආචාර්ය හර්ෂ ද සිල්වා, ගයන්ත කරුණාතිලක හා ඉරාන් වික්‍රමරත්න යන මහත්වරු ඇතුළු පිරිසකි.

මෙහිදී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මෙසේ පැවසිය.

"විශ්වාසභංග යෝජනාව ගැන තමයි අපි සාකච්ඡා කළේ. ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වුණු අය කිව්වා.. හෙට මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වෙනවා. ඒ කියන්නේ ආණ්ඩුවත් ඉවත් වෙනවා. ඒ නිසා විශ්වාසභංග යෝජනාව ගැන ඒ අනුව තමයි අපිට ක්‍රියා කරන්න වෙන්නේ කියලා. ඒ පිළිබඳව තමයි කතා කළේ. විශ්වාසභංගයෙන් පසුව අපි මොකද කරන්නේ කියන එක ගැනත් කතා කළා. නමුත් අපි පැහැදිලිව ප්‍රකාශයක් කළා මහින්ද රාජපක්ෂ විතරක් අයින්වෙලා මදි, ගෝඨාභය රාජපක්ෂත් ඉවත් විය යුතුයි කියන එක. ඒ පිළිබඳව කරන සාකච්ඡාවකින් තමයි ඊට පස්සේ ගන්න තීන්දු ක්‍රියාත්මක කරන්නේ කියලා."

මේ අතර සාකච්ඡාවේදී ඉදිරිපත් වු යෝජනා පිළිබඳව තීරණයක් ගැනීම සඳහා පක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අද පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයට සිය මන්ත්‍රී කණ්ඩායම කැඳවා සාකච්ඡා පවත්වා තිබේ.

එසේම, අගමැතිවරයාගේ තීන්දුව සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා ස්වාධින මන්ත්‍රී කණ්ඩායම හෙට (05) පෙරවරු 9.00ට රැස්වීමට නියමිතය.

 

 (මුලාශ්‍රය - nethnews.lk)

 


WhatsApp Image 2022 04 28 at 3.34.30 PM 1

Leader Whats app

 

 

නවතම පුවත්