අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා සපයා තිබූ ඉන්දීය ණය පහසුකම යටතේ යකඩ ද්‍රව්‍ය ආනයනය කිරීම පිළිබඳව රජය වහා කරුණු පැහැදිලි කළ යුතු

බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ගෑස්, ඉන්ධන, ඖෂධ, විදුලිය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව ජනතාව වෙත සැපයීම සඳහා දිගුකාලීන හා කෙටිකාලීන වැඩපිළිවෙලවල් සකස් කරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී එම සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා එම දැනුම්දීම සිදුකළේය.

ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම් අද කැඳවනු ලැබීය.

 

එහි දී ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා සපයා දී තිබූ ඉන්දීය ණය පහසුකමින් සියයට 30ක් වැය කොට යකඩ ද්‍රව්‍ය ආනයනය කොට ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළේය. මුදල් අමාත්‍යවරයා ද මෙය පිළිගෙන තිබෙන බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

 

ජනතාව දැඩි ආර්ථික අපහසුතාවයකට ලක් ව සිටින මෙම අවස්ථාවේ දී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා සපයා දී තිබූ ණය පහසුකමක් යොදාගෙන යකඩ ද්‍රව්‍ය ආනයනය කිරීම අනුමත කළ නොහැකි බවත් මෙවැනි දේ ජනතාව අපේක්ෂා නොකරන බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේය.

එබැවින් මෙම කරුණ සම්බන්ධයෙන් රජය වහා අධිකරණයට කරුණු පැහැදිලි කළ යුතු බවද ජනාධිපති නීතිඥ ඉගලහේවා කියා සිටියේය.

මෙහිදී රජය වෙනුවෙන් පෙනී සිටියි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ අධිකරණයට දන්වා සිටියේ, වත්මන් ආර්ථික අර්බුදය නිරාකරණය කිරීම සඳහා ගෙන තිබෙන පියවර ඇතුළත් දිවුරුම් පෙත්සම් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් විසින් අධිකරණය හමුවේ ගොනු කර ඇති බවය.

එම කටයුතුවල ප්‍රගතිය දැනුම්දීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ද අතිරේක සොලිස්ටර් ජෙනරාල් වරයා ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් මැයි මස 12 වනදා යළි කැඳවීමට නියම කළ අතර එදින ආර්ථික අර්බුදය නිමාකිරීම සඳහා ගෙන තිබෙන පියවර පිළිබඳව අධිකරණය දැනුවත් කරන ලෙසත් නියෝග කළේය.


ආණ්ඩුවට හිතවත් ප්‍රකට ව්‍යාපාරිකයෙකුගේ ඩීල් එකක් !



පසුගිය ඉරිදා සති අග ජනප්‍රිය ඉංග්‍රීසි පුවත්පතක වාර්තා කර තිබුනේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට ලබා දුන් ණය භාවිතා කරමින් එක්තරා ප්‍රකට ව්‍යාපාරිකයෙකු ඉන්දියාවෙන් යකඩ තොගයක් ආනයනය කර ඇති බවයි.

එහි වාර්තා කර තිබුණේ පාලක පක්ෂයට සම්බන්ධ ව්‍යාපාරිකයෙකු විසින් ‍රජයේ නිලධාරීන්ගේ උපකාරයෙන් මෙම යකඩ තොගය ආනයනය කර ඇති බවකි.

ද්විත්ව සංවර්ධන (Mixed Development Project) ඉදිරිකිරීම් ව්‍යාපෘතියක් සඳහා මෙම යකඩ ආනයනය කර ඇති අතර ඖෂධ, ළදරු කිරිපිටි, ගෑස් වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ඉන්දියාවෙන් අනුමත කරන ලද ණය මුදල් වෙනත් දෑ සඳහා පරිහරණය කිරීම මෙවැනි අර්බුදකාරී ආර්ථික තත්වයක් යටතේ කොතරම් අමානුෂිකද යන වග ජනතාව තේරුම් ගත යුතුය.

පුවත් වාර්තාවේ සඳහන් කර ඇති පරිදි මෙම ණය භාවිතා කර භාණ්ඩ ආනයනය කිරීමට දෙරටේම වාණිජ දෙපාර්තමේන්තුවල අධීක්ෂණය යටතේ සහ මුදල් අමාත්‍යංශයේද පූර්ණ අනුමැතිය යටතේ ක්‍රියාත්මක වන අතර විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය සියලුම ගණුදෙනු නිරීක්ෂණය කරනු ලබයි.


ණය දුන්නේ මොනවාටද?

india s

ශ්‍රී ලංකාව පත්ව ඇති  ආර්ථික අර්බුදයත්, ඩොලර් හිඟයත් සැලකිල්ලට ගෙන ලාංකික ජනතාව මුහුණ දෙන අපහසුතාවයන්ට සහණයක් සැලසීම සඳහා ඉන්දීය අගමැති මෝදි ගේ දැඩි මැදිහත්වීම මත ඩොලර් බිලියනයක ණයක් ලබා දුන්නේ, ආහාර ද්‍රව්‍ය (Food Items) බෙහෙත් ද්‍රව්‍ය (Medecine) අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහාය.

අදාළ ගිවිසුම හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සහ ඉන්දියානු විදේශ ඇමති සහ මුදල් අමාත්‍යවරිය ඉදිරියේ මෙම වසරේ, මාර්තු මස 17 දින නව දිල්ලියේදී මෙම ගිවිසුම අත්සන් කරන ලදී.

අදාළ ඩොලර් බිලියනයේ ණය මුදලෙන් දැනටමත් ඩොලර් මිලියන 250 ක අගයක් සඳහා භාණ්ඩ ආනයනය කර ඇති අතර තවත් ඉතිරිව ඇත්තේ ඩොලර් මිලියන 750 කි.

මෙම ගිවිසුම යටතේ යකඩ ආනයනය සඳහා කොපමණ මුදලක් වැය කර ඇද්ද? ආනයනය කරන ලද්දේ කුමණ සමාගමක් විසින්ද යන්න තවමත් රහසක් වශයෙන් පවතී.

පසුගිය දා පාර්ලිමේන්තුවේ දී මුදල් අමාත්‍ය අලි සබ්‍ර් ප්‍රකාශ කර සිටියේ මෙම යකඩ තොගය ආනයනය කර ඇත්තේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ අතරමැදි සමාගමක් (Intermediate Company) විසින් බවයි

ආයෝජන මණ්ඩලය යටතේ ඇති ඉදිකිරීම් සමාගම් සඳහා ආනයනය කළේ නම් ඒ සඳහා ආයෝජන මණ්ඩලයේද අනුමැතිය ලබාගත යුතුය.

 

එහෙත් වෙළෙඳපොල ආරංචි මාර්ග අනුව ආනයනය කරණ ලද යකඩ තොගයේ වටිනාකම ඩොලර් මිලියන 40 ක් පමණ වන අතර යකඩ තොගය විවෘත වෙළෙඳපොලේ අලෙවි කර ඇති බවට විශ්වාස කෙරේ. එසේ නම් මෙයින් ගම්‍ය වන්නේ මෙරට ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ලබා දුන් විදේශ ණය රාජ්‍ය නිලධාරීන් අවභාවිතා කරමින් තවමත් දූෂිත දේශපාලඥයින් සහ නිලධාරීන් ක්‍රියාත්මක වන වග නොවේද?

 

පුවත්පත සඳහන් කරන ආකාරයට මෙම තොරතුර ලබා දුන් නිලධාරියා සඳහන් කර ඇත්තේ, මෙම කූඨ ගණුදෙනුව සිදු වී ඇත්තේ ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය පවා නොදැන බවයි.

මෙම පුවත වාර්තා වීමත් සමගම කලබලයට පත් වු මුදල් අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ මෙම ණය ගිවිසුම යටතේ අමුද්‍රව්‍යද ආනයනය කිරීමට හැකියාවක් ඇති බවයි.

එහෙත් පසුව මේ පිළිබඳව ජනතාව ප්‍රශ්න කිරීම නිසා නැවතත් ඔවුන් විසින් පුවත් නිවේදනයක් මගින් සඳහන් කර ඇත්තේ යකඩ ආනයනය මෙම ගිවිසුමෙන් ආවරණය නොවන බවයි.

කෙසේ වුවද මේ හෝරාවේදී ශ්‍රී ලාංකික ජනතාවට අත්‍යවශ්‍ය වන ඖෂධ, ආහාර ද්‍රව්‍ය, ගෑස් සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කරනවා වෙනුවට මෙම ගිවිසුම උපයෝගි කරගනිමින් මහා පරිමාණ සමාගම් සඳහා අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ කූඨ සැලැස්මක් නිලධාරීන් හට තිබු බව මෙම පුවත්පත් නිවේදනයන් තුළින් මොනවට පැහැදිළි වෙයි.

බිලියන ගණනින් විදේශ ණය ලබා ගෙන රට අර්ථික ආගාධයට තල්ලු කර ඇති මෙවැනි අවස්ථාවක තවදුරටත් ජනතාව උගසට තබා ගන්නා ණය පිළිබඳව විපක්ෂය සහ පොදු ජනතාව අවදියෙන් සිටිය යුතුය.

 

මෙම යකඩ ආනයන ගණුදෙනුවෙන් ලැබෙන අති විශාල මුදල විපක්ෂයේ මන්ත්‍රීවරුන් මුදලට ගැනීමට ආයෝජනය කළා දැයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සැක මතුකර තිබේ.


Leader Whats app

 

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්