විශ්වාසභංග යෝජනාවක් හරහා ආණ්ඩුව ඉවත් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ආණ්ඩුව ඉවත් කිරීමෙන් පසු රට පාලනය කරන ක්‍රමවේදය පිළිබඳව

අදහසක් තිබිය යුතු බවත්, ආණ්ඩුවක් නොමැතිව රටක් අරාජික වීම නරකම ආණ්ඩුව විසින් රට පාලනය කිරීමට ද වඩා නරක තත්වයක් බවත් පාර්ලිමේන්තුව තුළ මේවනවිට ස්වාධීනව සිටින මන්ත්‍රී කණ්ඩායම විසින් විපක්ෂ නායකවරයා වෙත දැනුම් දී ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, වාසුදේව නානායක්ක්කර, අනුර ප්‍රියදර්ශන යාපා සහ විජේදාස රාජපක්ෂ ගේ අත්සනින් යුතුව විපක්ෂ නායකයා වෙත එබව  දැනුම්දී ඇත්තේ, මැයි මස 05 දා යොමුකර ඇති ලිපියක් මගිනි.

එම ලිපියේ මෙසේ සඳහන් වේ.


'ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව'


ඔබතුමා නායකත්වය දරණ සමගි ජන බලවේගය විසින් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් භාර දී ඇති බව මාධ්‍ය හරහා දැන ගත්තෙමු.

මෑතක දී පාර්ලිමේන්තුවේ ස්වාධීන විපක්ෂයේ අසුන් ගත් මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙන් පහත අත්සන් තබන අපි එකී විශ්වාස භංග යෝජනාව පිළිබඳ අප මන්ත්‍රී කණ්ඩායමේ මතය මෙසේ ඉදිරිපත් කරමු.

දිගු කාලයක් පුරා ශ්‍රී ලංකාව අනුගමනය කළ වැරදි ආර්ථික ප්‍රතිපත්ති සහ ගත් වැරදි ආර්ථික තීරණ මෙන්ම දූෂණය, අකර්මන්‍යතාවය සහ නාස්තිය යනාදී හේතුන් මත මතු වුණු ආර්ථික අර්බුදය වර්තමාන ආණ්ඩුව විසින් අනුගමනය කළ අත්තනෝමතික වැඩපිළිවෙල හේතුවෙන් තීව්‍ර වුණු අතර එකී අර්බුදයෙන් මිදීමට මේ දක්වා කිසිම ඵලදායී වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමට ආණඩුව අසමත් වී ඇත.

 

එහෙයින් වත්මන් ආණ්ඩුව පිළිබඳ සාතිශය බහුතරයක් ජනතාවට කිසිම විශ්වාසයක් නොමැති බවත් අපි පිළිනිමු. එබැවින් වත්මන් ආණඩුව ඉල්ලා අස්විය යුතු බව ද එසේ ඉවත් නොවන්නේ නම් ඉවත් කළ යුතු බව ද අපගේ විශ්වාසයයි.

 

විශ්වාසභංග යෝජනාවක් හරහා ආණ්ඩුව ඉවත් කිරීමට ඔබතුමන්ලා බලාපොරොත්තු වන්නේ නම් ආණ්ඩුව ඉවත් කිරීමෙන් පසු රට පාලනය කරන ක්‍රමවේදය පිළිබඳව ඔබතුමන්ලාට අදහසක් තිබිය යුතුයි. ආණ්ඩුවක් නොමැතිව රටක් අරාජික වීම නරකම ආණ්ඩුව විසින් රට පාලනය කිරීමට ද වඩා නරක තත්වයක් බව අපගේ විශ්වාසයයි.

විශේෂයෙන්ම මේ වන විට ආණ්ඩුව විසින් ශ්‍රී ලංකාව ලබාගත් ණය ප්‍රතිව්‍යූහගත කිරීමට ද අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා ණය පහසුකම් ලබා ගැනීමටද බහු පාර්ශවීය සහ ද්වී පාර්ශවීය සාකච්ඡා සිදු කරමින් පවතියි.

ආණ්ඩුවක් නොමැති අරාජික තත්වයක් ඇති වුණොත් එම සියළු සාකච්ඡා බිඳ වැටී ආර්ථික අර්බුදය තවදුරටත් තීව්‍ර වී ජනතාව මීටත් වඩා පීඩාවට පත් වනු ඇත.


විකල්ප යෝජනා දෙකක් :


ඉහත තත්වය ගැඹුරින් සලකා බැලූ අපි විශ්වාසභංග යෝජනාව සම්මත වී ආණ්ඩුව ඉවත් කිරීමෙන් පසු ක්‍රියාත්මක කිරීම සඳහා මතු දැක්වෙන විකල්ප යෝජනා දෙක ඔබතුමාට ඉදිරිපත් කිරීමට තීරණය කළෙමු.



(i) මේ වන විට මහ නායක හිමිවරුන් ප්‍රමුඛ නායකයින් ද වෘත්තීය සංවිධාන ද ව්‍යාපාරික ප්‍රජාව ද වෘත්තීය සමිති ද තරුණ ක්‍රියාකාරීන් ද අනුමත කර ඇති අප විසින් යෝජනා කළ සර්වපාක්ෂික ජාතික එකඟතා ආණ්ඩුවට සමගි ජන බලවේගය ද දායක වීම.

(ii) අනෙකුත් දේශපාලන බලවේග සමග කටයුතු කිරීමට සමගි ජනබලවේගය අකමැති නම් විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ සමගි ජන බලවේගය විසින් ආණ්ඩුව භාර ගැනීම (මෙහි දී අපට විපක්ෂයේ සිට විවේචනාත්මක සහයෝගයක් ලබා දිය හැක) 


ඔබතුමන්ලා විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට අපගේ සහයෝගය ලබා දීම සඳහා විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීමෙන් පසු ඔබතුමන්ලා විසින් ඉහත විකල්ප දෙකෙන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන විකල්පය කුමක්දැයි හැකි ඉක්මනින් අපට දැනුම් දෙන්නේ නම් කෘතඥ වෙමි.

IMG 20220505 171849

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්