ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන බව, ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

රටේ මේ වනවිට උද්ගත වි ඇති තත්ත්වයට හදිසි නීතිය පිළිතුරක් නොවන බැවින් හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම අවලංගු කරන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.

හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම මෙරට දේශපාලන ස්ථාවරත්වය යථා තත්වයට පත් කිරීමට පහසුවක් නොවනු ඇති බව ද එම සංගමය පෙන්වා දෙයි.

ප්‍රකාශනයේ නිදහස සහ සාමකාමීව රැස්වීමේ නිදහස ජනතාවගේ මූලික අයිතිවාසිකම් වන අතර, අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ රඳවාගැනීම සඳහා හදිසි නීතිය භාවිත නොකළ යුතු බව ද එම සංගමය අවධාරණය කරයි.

හදිසි නීතිය පැනවීම මගින් ජනතාවගේ මුලික අයිතීන් උල්ලංඝණය වන බව එම සංගමය පෙන්වාදෙයි.

මෙවන් අවස්ථාවක හදිසි නීතිය පැනවීමට සාධාරණ හේතු ජනාධිපතිවරයා විසින් පැහැදිලි කළ යුතු බව ද එම සංගමය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.

රට තුළ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතුකොට ගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යාම සඳහා මෙලෙස හදිසි නීතිය පැනවූ බව ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ දැක්වේ.

මහජන ආරක්ෂක ආඥා පනතේ 2 වන වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව එම ආඥා පනතේ දෙවන කොටසේ විධිවිධාන යටතේ මෙලෙස හදිසි නීතිය ප්‍රකාශයට පත් කර ඇත.


විරෝධතා සාමකාමී සහ සාමාන්‍ය පොලිස් මෙහෙයුම් සීමාව තුළ පැවති බැවින් හදිසි නීතිය ප්‍රකාශ කිරීමට හේතු මහජනතාවට පැහැදිලි කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයෙන් ඉල්ලා තිබේ.



කැනේඩියානු මහ කොමසාරිස් ගෙන් ට්විටර් පණිවිඩයක්



විරෝධතා සාමකාමීව පවතින විට හදිසි නීති පැනවීම තේරුම් ගැනීමට අපහසු බව කොළඹ කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

කැනේඩියානු මහ කොමසාරිස්වරයා ඒ බව පැවසුවේ, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ය.



හදිසි නීතියෙන් අර්බුදයට විසඳුමක් ලැබෙන්නේ නැ - සජිත්



මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ, හදිසි නීතිය, අර්බුදයට මොනයම් හෝ විසඳුමක් සෙවීමට පටහැනි බවයි.

විපක්ෂ නායකවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ, වහාම ඉල්ලා අස්වන ලෙසය.

මෙසේ හදිසි නිතිය පනවා ඇත්තේ, ගාලු මුවදොර අරගල භූමියේ පැවැත්වෙන විරෝධතා මර්දනය කිරීම සඳහා යැයි අරගලකරුවෝ කියා සිටිති.
 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්