ජනහිතකාමී දේශපාලන රටාවක් වෙනුවට ජනතාවගේ බදු මුදලින් වරප්‍රසාද භුක්ති විඳිමින් ආත්ම සුඛ විහරණය සඳහා පමණක් යොමු වී කටයුතු

කරන්නේ නම් ජනාධිපතිවරයාට මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 ටම ඉදිරියේදී ජනතාවගේ දැඩි ප්‍රතික්‍රියාවන්ට මුහුණ දීමට සිදුවන බව ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් අවධාරණය කර සිටිති.

ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් විසින් එම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ, ජනාධිපතිවරයා ඇතුළු රජයේ බලධාරීන් පැවසූ කිසිවක් මෙතෙක් සම්පාදනය නොකිරීම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කරමින් නැවතත් යොමුකර ඇති ලිපියකිනි.

ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ගේ අත්සනින් යුතුව අප්‍රේල් මස 04 හා අප්‍රේල් මස 20 දින ජනාධිපතිවරයා ඇතුළු අදාළ බලධාරීන්ට යොමු කළ ලිපියට අදාළ යෝජනා මාලාව සම්බන්ධයෙන් අප්‍රේල් මස 21 වැනි දින මහනාහිමිවරුන්ට ජනාධිපතිවරයා දක්වා ඇති ලිපියේ සඳහන් යෝජනාවලිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව පැවැසුවත් මෙතෙක් කිසිවක් ඉටු වී නැතැයි ද එම ලිපියෙ සඳහන් වෙයි.

 

රට තුළ දේශපාලන, සාමාජයී හා ආර්ථික ස්ථාවරයක් ඇති කොට ජන ජීවිත සුරක්ෂිත කිරීමට වහා ක්‍රියාත්මක විය යුතු බව පෙන්වා දීම සඳහා උන්වහන්සේලා මෙම ලිපිය ජනාධිපතිවරයා සහ අගමැති, විපක්ෂ නායක ඇතුළු මන්ත්‍රීවරු 225 දෙනාගේ අවධානය පිණිස යොමුකර ඇත.

 

එම ලිපියේ ලිපියේ මෙසේ සඳහන් වේ.


2022 අප්‍රේල් මස 4 හා අප්‍රේල් මස 20 දාතමින් ත්‍රෛනිකායික මහා සංඝරත්නය නියෝජනය කරමින් අපි ගරු ජනාධිපතිතුමන් වෙත රට තුළ ආර්ථික හා දේශපාලනික ස්ථාවරත්වයක් වහා ඇති කිරීමට යෝජනා මාලාවක් ඉදිරිපත් කළෙමු.

ගරු ජනාධිපතිතුමා විසින් 2022 අප්‍රේල් මස 21 වන දාතමින් අප වෙත දන්වා ඇත්තේ එකී යෝජනා මාලාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බවයි.

 

එහෙත් මේ වන තෙක් මහජනතාව පත්වී ඇති අසීරුතාව කෙරෙහි සංවේදී වෙමින් රට තුළ උද්ගතව ඇති දේශපාලනික ආර්ථික හා සාමාජයීය අර්බුද විසඳීමෙහිලා සාධනීය මැදිහත්වීමක් සිදු කිරීමට නියෝජනය කරන කිසිදු මහජන නියෝජිතයෙකු කටයුතු නොකිරීම පිළිබඳව අපගේ අප්‍රසාදය සහ කණගාටුව පළ කරමු.

 

මහජනතාව දැඩි අසීරුතාවයකට පත්ව සිටින මෙවන් මොහොතක පාර්ලිමේන්තුව තුළ සිය පක්ෂ දේශපාලන රටාව සහ ඒ හා සබැඳි අභිමතාර්ථයන් සඵල කරගැනීම වෙනුවෙන් මහජන මුදල් මිලියන ගණනින් විනාශ කොට අසීමිත වරප්‍රසාද විඳිමින් අවිචාරවත් ලෙස මහජන නියෝජිතයන් කටයුතු කරන ආකාරයෙන් ජනතා පරමාධිපත්‍ය නියෝජනය කරන්නන් ලෙස ඔවුන්ගේ වලංගුභාවයක් පවතී ද යන්න ගැටලුවකි.

ඇතැම් මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුව තුළ සිදු කරන පටු දේශපාලන අරමුණු පෙරදැරි කරගත් කතා සහ යෝජනා ආදිය මගින් ඔවුන් තුළ දේශපාලනික පරිණත භාවයක් නොමැති බවත් වත්මන් ගැටලු පිළිබඳව කිසිදු සංවේදීභාවයක් නොමැති බවත් ප්‍රකට වනු පෙනේ.

එහෙයින් තවදුරටත්  ජනතාව පීඩාවට පත්කරන අනර්ථකාරී අත්තනෝමතික පක්ෂ දේශපාලන තීරණ තුළ එල්බ සිටීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු මහජන නියෝජිතයෙකුට සදාචාරාත්මක අයිතියක් තිබේද යන්න ප්‍රශ්න කළ යුතුව පවතී.

 

පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන් 225 දෙනාම මේ මොහොතේ සාමූහිකව ජන හිතවාදීව මහජන විශ්වාසය දිනාගත හැකි විසඳුම් ලබාදීමට කටයුතු කළ යුතු වෙයි.

 

මෙරට රාජ්‍ය නායකත්වය ප්‍රමුඛ කොටගත් සෑම මහජන නියෝජිතයෙකුම දේශයේ සුරක්ෂාවත් මහජන සුභසාධනයත් උදෙසා කටයුතු කිරීමට ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවෙන් බැඳී සිටින බැවින් පටු ආත්මාර්ථකාමී දේශපාලන න්‍යාය පත්‍ර මත පදනම් නොවී රටේ පවත්නා ප්‍රශ්නය  මනාව අවබෝධ කොටගෙන ජනතා හඬට සවන් දී රට දේශපාලනික වශයෙන් ස්ථාවර කොට ආර්ථික, දේශපාලනික සහ සාමාජීය  අර්බුද විසඳා ගැනීමට උත්සුක විය යුතුවේ.


එහෙයින් අප විසින් 2022 අප්‍රේල් මස 4 හා අප්‍රේල් මස 20 වන දාතමින් ඉදිරිපත් කරන්නට යෙදුණු ලිපි වල දක්වන පරිදි මෙම යෝජනා මාලාව ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන මෙන් නැවත නැවතත් මෙයින් දන්වා සිටුම්භ.  සියලු දේශපාලන පක්ෂ ඒකාබද්ධව වියතුන්ගෙන් සුසැදි සර්ව පාක්ෂික පොදු අන්තර්කාලීන පාලන ක්‍රමයක් ගොඩ නැගීමට උත්සුක වන ලෙස ද සිහිපත්  කරම්භ.


මහා සංඝරත්නය ලෙස අපි කිසිවිටෙකත් පටු දේශපාලන අරමුණු වලට ගොදුරුව කිසිවකු හෝ බලයට ගෙන ඒමට හෝ බලයෙන් ඉවත් කිරීමට අපේක්ෂා නොකරමු. එහෙත් නොයෙක් බාධක කම්කටොලු මැද සිව්පසය මහා සංඝරත්නය පෝෂණය කළ හා කරන ලංකාවාසි මහජනයා අද වන විට ඉහළ යන ජීවන වියදම හමුවේ පත්ව ඇති දැඩි අසරණ භාවය පිළිබඳව අපි දැඩි සංවේගයට පත්ව සිටිමු.

එහෙයින් ජනහිතකාමී දේශපාලන රටාවක් වෙනුවට ජනතාවගේ බදු මුදලින් වරප්‍රසාද භුක්ති විඳිමින් ආත්ම සුඛ විහරණය සඳහා පමණක් යොමු වී ඔබ සැමදෙනා කටයුතු කරන්නේ නම් ඉදිරියේදී ජනතාවගේ දැඩි ප්‍රතික්‍රියාවන්ට මුහුණ දීමට සිදුවන බව බවද වැඩිදුරටත්  පෙන්වා දෙන්නෙමු.

IMG 9233

IMG 9234 

 

Leader Whats app

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්