1200 x 80 DMirror

රට පුරා ජනතා සභා ගොඩනගමින් ඒවායේ නියෝජිතයන්ගෙන් සමන්විත ජාතික මට්ටමේ මහජන කවුන්සිලයක් පිහිටුවීමට

පෙරටුගාමී සමාජවාදී පක්ෂය අරගල කරුවන් වෙත යෝජනාකර සිටියි.

වත්මන් ආර්ථික අර්බුදය මෙන්ම දේශපාලන අර්බුදය විසඳීමට ඒ හැර වෙන විසඳුමක් නැතැයි ද එම පක්ෂය අවධාරණය කරයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් එබව කියා සිටියේ, අද (මැයි 8) පැවති මාධ්‍ය හමුවක දිය.

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.


''දැන් අරගලය ක්‍රමානුකූලව වැඩකරන ජනතා අරගලයක් බවට පත් වෙමින් තිබෙනවා. පසුගිය කාලයේ කම්කරුවන්, ගොවීන්, ධීවරයන් ඇතුළු වැඩකරන ජනතා කොටස් අරගලයට එකතු වුණා. මැයි 6 වැනිදා හර්තාලය සහ වැඩවර්ජන විසින් මේ අරගලයට තිබෙන ජනතා ආශීර්වාදය කොපමණද යන්න පෙනෙනවා. ඒ ජන අරගලය ඉදිරියේ බිය වෙලා තමයි රාජපක්ෂලා ඔවුන්ගේ කුස්සි කැබිනෙට්ටුව සහ සහචරයන් සමග එකතු වෙලා හදිසි නීතිය පැනෙව්වේ.

2015ට කලින් මේ අය කළ මර්දනය අපට මතකයි. ඒ පුරුද්ද ඒ අයට තියෙනවා. නැවත ඒ පුරුද්ද ඉදිරියට ගන්න හදන්නේ.


මෙවැනි මර්දන නීති පනවලා මේ ජන අරගලය යටපත් කරන්න සිතීම විහිළුවක්. ජනතාවගේ ඉල්ලීම පැහැදිලියි. ජනතාව කියන්නේ ගෝඨාභය යන්න ඕන කියලා. ගෝඨාභයත් යන්න ඕන. පුටුවත් යන්න ඕන. නැවත ලංකාවට විධායක ජනාධිපති කෙනෙක් එපා. මේ ජන අරගලය හරහා ගෝඨාත් ගෙදර යවලා මේ ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමයත් අවසන් කරන්න ඕන.



ආණ්ඩුවේ අය උත්සාහ කරන්නේ මේ ආණ්ඩුවම පවත්වාගෙන යන්න. ස්වාධීන වුණා කියපු අයගේ ඇත්ත මූණ අපි නියෝජ්‍ය කතානායක ඡන්ද විමසීමෙදි දැක්කා. ජන අරගලයට තිබෙන දැවැන්ත ජනතා ආශීර්වාදය නිසා මේ අයට ජනතාව සමග ඇඟෑලුම් කම් පවත්වන්නත් ඕන. ඒ වගේම ඒ අය මැතිවරණයකට කැමතිත් නෑ. නැවත වරක් ඔවුන්ට පාර්ලිමේන්තු එන්න බෑ. විශ්‍රාම වැටුප් වගේ වරප්‍රසාද අහිමි වෙන නිසාත් මැතිවරණයකින් දිනන්න බැරි නිසාත් මේ අය හදන්නේ ගෝඨාභය ජනාධිපති තනතුරේ තියාගෙන අන්තර්කාලීන, භාරකාර වගේ බොරු නම් දාගෙන මේ ආණ්ඩුවම අවුරුද්දක් දෙකක් ඇදගෙන යන්න.

ඒ අතර දැන් සර්වපාක්ෂික අන්තර්වාර ආණ්ඩු ගැන සාකච්ඡාවකුත් පෙරට ඇවිත්. නීතීඥ සංගමය යෝජනා මාලාවක් ඉදිරිපත් කළා. දන් සමගි ජන බලවේගය නීතීඥ සංගමය එක්ක කතා කරනවා, නීතීඥ සංගමය ජනාධිපති එක්ක කතා කරනවා කියලා පුවත් යනවා.


සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේගය කලින් කිව්වේ ජන මතයට හිස නවනු කියලා. ජන මතය ගෝඨාභය ගෙදර යන්න කියන එක. මුලින් කිව්වා හොරු එක්ක අන්තර්වාර ආණ්ඩු හදන්නේ නෑ කියලා. සජබ සහ ජනතා විමුක්ති පෙරමුණ යන දෙකම ඉල්ලුවේ ඉක්මන් මහ මැතිවරණයක්. මහ මැතිවරණයකින් ගෝඨාභය ඉවත් කරන්න බෑ. ඒ ගොල්ලෝ කොහොමත් කිව්වේ ගෝඨාභය ජනාධිපති ලෙස ඉන්න අතර හදන ආණ්ඩුවක් ගැන. ජනතාව ඉල්ලන්නේ ඒක නෙවෙයි.



මේ මොනවා කිව්වත් සජිත් ප්‍රේමදාසලාට විධායක බලය පාවිච්චි කරන්න ආසයි. ඒ විධායක ජනාධිපති විදියට වෙන්න පුළුවන්, නැතිනම් විධායක අගමැති විදියට වෙන්න පුළුවන්. කොහොම හරි විධායක බලය තනිවම රස විඳින්න ඕන. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කියලත් කරන්න යන්නේ විධායක බලය සහිත අගමැති කෙනෙක් වෙන්න.

දැන් පරණ තැටිය වෙනස් කරලා අන්තර්වාර ආණ්ඩුවකට එකඟ වෙන ලකුණු තියෙනවා. ඒ අන්තර්වාර ආණ්ඩු හදන්න යන්නේ ගෝඨාභය ජනාධිපති පුටුවේ ඉද්දී.

ගෝඨාභය ගෙදර යවන්න, අගමැති ප්‍රමුඛ ආණ්ඩුවම ගෙදර යවන්න ඉල්ලීම් තියෙනවා. හොරාකාපු මහජන ධනය යලි පවරා ගන්න ඉල්ලීම් තියෙනවා. ගජ මිතුරු සමාගම් දේශපාලන හයියෙන් ගොඩ ගහපු ලාභ කඳු හොලවන්න ඉල්ලීම් තියෙනවා. මේවා අන්තර්වාර ආණ්ඩු වලින් කරන්න බෑ.

''විපක්ෂය ජන අරගලයේ ඉල්ලීම් පාවා දුන්නත් ඒවා ඉටු කර ගන්න පුළුවන් ජනතා බලයකින්. ඒ නිසයි අපි ජනතාවගෙන් ඉල්ලන්නේ රට පුරා ජනතා සභා හදන්න, ඒවායේ නියෝජිතයන්ගෙන් සමන්විත ජාතික මට්ටමේ මහජන කවුන්සිලයක් හදන්න කියලා. මේ ආර්ථික අර්බුදය වගේම දේශපාලන අර්බුදයත් විසඳන්න ඒ හැර වෙන විසඳුමක් නෑ.''

 

 

 Leader Whats app

 

 

 

 
 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය