පොහොට්ටු පක්ෂයේ ඉවත්ව මින් ඉදිරියට පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රීවරයකු ලෙස කටයුතුකරන බව පවසන කොළඹ දිස්ත්‍රීක්කයේ පාර්ලිමේන්තු

මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත, ජනාධිපතිවරයා විසින් නම් කරනු ලබන ඕනෑම අගමැතිවරයකුට සහය පළකරන බව කියා සිටියි.

නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මන්ත්‍රීවරයා එබව සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමිනි.

එම ලිපියේ මෙසේද සඳහන් වේ.


''ප්‍රචණ්ඩත්වය හෙළා දකිමි''


''දැනට රට පවතින්නේ ඉතාමත් ව්‍යාකූල තත්වයක බව අප කාටත් පැහැදිලිය. ආර්ථික, දේශපාලන, සාමාජීය, වශයෙන් ගැටළු රාශියකට අපි මුහුණ දෙමින් සිටින්නෙමු. සමාජය තුළ පැතිරී ඇති සියළුම ප්‍රචණ්ඩත්වය අප තරයේ හෙලා දකිමු. ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ සිදු නොවිය යුතු සිද්ධි ගණනාවක් සිදු වී ඇත.

ගාලු මුවදොර උද්ඝෝෂණයට පහර දීම හෙළා දකිමි. තවද පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමකීර්ති අතුකෝරල මහතාගේ ඝාතනය හෙලා දකිමි.

මම ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස හා දේපළ වලට සිදු කල හානිද හෙලා දකිමි. ප්‍රාදේශීය දේශපාලඥයින්, දේශපාලන ආධාරකරුවන්, ව්‍යාපාරිකයන්ට ඇතුළු ප්‍රචණ්ඩත්වයට ලක්වූ සියළුම දෙනා හට මුහුණ දෙන්නට සිදු වූ ප්‍රචණ්ඩත්වය හෙළා දකිමි.

මේ වන විට නීතියේ ආධිපත්‍ය බිඳ වැටෙමින් පවතියි. දැන් මංකොල්ලකරුවන්, අපරාධකරුවන් අහිංසක මිනිසුන්ගේ ජීවිත හා දේපළ වලට හානි කරමින් සිටියි.

ඔබ රටේ නායකයා හා සේනාධිනායකයා වශයෙන් මෙම තත්වය ඉතා කඩිනමින් පාලනය කරනු ඇතැයි විශ්වාස කරමි. දැනට ඔබ ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් සාමාජයීය වශයෙන් ආරක්ෂිත තත්වයක් ඇති වී ඇත. එය තව දුරටත් තහවුරු කරන ලෙස ඉල්ලා සිටිමි.

මා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පත්වන්නේ වෘත්තිකයෙකු ලෙසිනි. සත්‍ය ගවේශකයෝ සංවිධානය හරහා ඇති කර ගත් සමාජ ක්‍රියාකාරීත්වය ඒ සඳහා බෙහෙවින් බලපෑ බව නොරහසකි. තවද හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මාධ්‍ය ප්‍රකාශක වශයෙන් කටයුතු කිරීමද බලපෑ බව අප කවුරුත් දන්නා කරුණකි.

 

 

කෙසේ වුවද 2020 අගෝස්තු මාසයේ සිට මාගේ හෘද සාක්ෂියට අනුව සෑම අවස්ථාවකදීම ආණ්ඩුව තුළ සිටිමින් පවා වැරැද්ද වැරදි ලෙස, වැරැද්ද සිදු වන්නට පෙර හා වැරැද්ද සිදු වන අවස්ථාවේ එය වළක්වා ගැනීමට ජනතාවගේ පැත්තේ සිට හඬ නැගුවෙමි. බොහෝ අවස්ථාවලදී මා ආණ්ඩුවේද විපක්ෂයේද යන්න සමාජය විසින් මගෙන් විමසුවේය. පක්ෂයක් තුළ සිටිමින් වෙනස් මත දැක්වීම හා වෙනස් මත වලට කන්දීමේ ක්‍රියාවලිය අපගේ දේශපාලනයට හුරු නොවීම පිළිබඳ මා කම්පාවට පත් වෙමි.

 

''අද වන විට රට තුළ ආණ්ඩුවක් නැත.''


අද වන විට රට තුළ ආණ්ඩුවක් නැත. එලෙස ආණ්ඩුවක් නොමැතිව ගත වන තත්පරයක් පාසා රට තව දුරටත් අගාධයට යන බව පැහැදිලිය. එය මා හට වඩාත් තීව්‍ර වූයේ අද දිනයේ මහ බැංකු අධිපතිවරයා විසින් මාධ්‍යට කරන ලද ප්‍රකාශය තුළය. 

 
ඔහු පවසන්නේ එම ආර්ථික අගාධයෙන් ගොඩ ඒම සඳහා රට තුළ දේශපාලන ස්ථාවරතාවයක් ඇති විය යුතුය. ඒ සඳහා රටේ ආණ්ඩුවක් තිබිය යුතුය.

පාර්ලිමේන්තුව තුළින් අග්‍රාමාත්‍යවරයෙකු හා අමාත්‍ය මණ්ඩලයක් පත් කර ගත යුතුය. 

 
 

මේ වන විට එළෙස අග්‍රාමත්‍යවරයෙකු පත් කිරීම කල් ගත වන්නේ, පත් වන අග්‍රාමාත්‍යවරයාට සහයෝගයක් පාර්ලිමේන්තුව තුළින් නොලැබේය යන්න සැකය තුළ විය හැකිය. එවැනි හේතුවක් මත එය කල්ගත වන්නේ නම් තව දුරටත් රට අරාජික වනු ඇත. ජන ජීවිතය කඩා වැටෙනු ඇත. ජනතාවට කෑම බීම, එදිනෙදා අවශ්‍යතා නොමැති වීම, ඇති කෙනාගෙන් නැති කෙනා මංකොල්ලකන තත්වයේ ස්වරූපයක් නිර්මාණය වන්නේ නිතැතිනි.
 
 
අපට ප්‍රහාර එල්ල කළද මා විශ්වාස කරන්නේ වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බවයි. මා හට ප්‍රහාර එල්ල කරන ප්‍රහාරකයන්ට මා අනුකම්පා කරමි. සිංහල බෞද්ධ ජාතිකත්වයට සංස්කෘතියට තැන දෙමින් කොළඹ දිස්ත්‍රික්කයේ ලාබාලතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස තේරී පත් වූ මා හට එලෙස වෛර කිරීමට හැකියාවක් නැත. සියලුම වෙනස්කම් අත හැර එක්විය යුතු යැයි මම විශ්වාස කරමි.

එසේ හෙයින් ඔබ තුමා විසින් පත් කරන ඕනෑම අගමැතිවරයෙකුට රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීම උදෙසා සහයෝගය ලබා දීම අප විසින් කළ යුතු යැයි විශ්වාස කරමු. අපගේ දේශපාලන අදහස් අතීතයේ එම පුද්ගලයන් පිළිබඳ ඇති විරෝධ ආකල්ප, පසෙකලා මේ මොහොතේ සියළු වාද භේද පක්ෂ බෙදීම් පසෙකලා කටයුතු කළ යුතු යැයි විශ්වාස කරමි.  

ඔබ පත් කරන්නේ ගරු සජිත් ප්‍රේමදාස මහතාද, අනුර කුමාර දිසානායක මහතාද, ඩලස් අලහප්පෙරුම මහතාද, රනිල් වික්‍රමසිංහ මහතාද, නිමල් සිරිපාල ද සිල්වා මහතාද,  විජයදාස රාජපක්ෂ මහතාද, සරත් ෆොන්සේකා මහතාද, පාඨලී චම්පික රණවක මහතාද, ආර්. සම්බන්ධන් මහතාද හෝ පාර්ලිමේන්තුව තුළ සිටින කවර මන්ත්‍රීවරයෙකු හට වුවද ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස සහයෝගය ලබා දීමට මම බලාපොරොත්තු වෙමි.

රට පවතින මේ තත්වයෙන් මුදවා යථා තත්වයට පත් කිරීම උදෙසා ශක්තිමත් ආණ්ඩුවක් රටේ නිර්මාණය කිරීමටත්, පාර්ලිමේන්තුව තුළදී අවශ්‍ය සහයෝගය ලබා දීම උදෙසා ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඔබ විසින් පත් කරන්නාවූ නව අග්‍රාමාත්‍යවරයාට අවශ්‍ය සහයෝගය  ලබා දීමට තීරණය කළ බව මෙසේ දන්වා සිටිමි.''
   

දොලවත්තගේ නිවසටත් දැඩි හානි


හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ මර කණ්ඩායමක් විසින් ගාලුමුවදොර ජන අරගල භුමියේ සාමකාමී විරෝධතාවයක දී සිටි ජනතාවට පහරදීමේ සිද්ධියත් සමග ඊට එරෙහිව රට පුරා ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ වූ අතර එහිදී දොලවත්ත මන්ත්‍රීවරයාගේ දෙමාපියන් පදිංචිව සිටි කඩුවෙල නිවසටද දැඩි හානි සිදුකර තිබිණ.
 
 
 




 

Premanath c dolawatta Latter 121

 


 

Leader Whats app

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්