නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඊයේ දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී
සිය ධූරයේ වැඩ ආරම්භ කළේය. ඒ, මෙරට 26 වන අග්‍රාමාත්‍යවරයා ලෙසයි.
නිවාඩු දින ගැන නොසිතා අඛණ්ඩව වැඩ කිරීමට සූදානම් වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩ බාරගැනීමෙන් පසු අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලයට අද(13) දැනුම් දී තිබේ.
ඒ අනුව වෙසක් පෝය දිනය ද ඇතුළු ඉදිරි නිවාඩු සති අන්තය අග්‍රාමාත්‍ය කාර්යාලයේ අඛණ්ඩ වැඩ සතියක් වනු ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.
මේ අතර ඉන්ධන, විදුලි බලය, ගෑස්, ආහාර ද්‍රව්‍ය, පොහොර, ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සහ භාණ්ඩ සම්බන්ධයෙන් රටේ පවතින සත්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාවක් ලබන සඳුදා (16) ජනතාව හමුවේ හෙළිදරව් කිරීමට නියමිතව ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
විසඳුම් දීමට පෙර ජනතාවට ඇත්ත කියා පටන් ගැනීම සුදුසු බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.
දේශපාලන පෙරළියෙන් කොටස් වෙළඳපලත් පිබිදෙයි !- ඩොලරයේ අගය පහළ යයි !
අඛණ්ඩව ඉහළ ගිය අමෙරිකානු ඩොලරයේ අගය අද තරමක් පහළ ගොස් ඇත.
මෙරට ප්‍රධාන පෙලේ බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයක් අද අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් කර තිබුණේ රුපියල් 365 ක් ලෙසයි. ඒ, ඊයේ දිනයේ එහි අගය රුපියල් 380 ක් ලෙස සටහන් කර තිබූ පසුබිමක වීම විශේෂත්වයකි.
එක් රාජ්‍ය බැංකුවක් අද ඩොලරයේ අගය සටහන් කර තිබුණේ රුපියල් 364 යි ශත 96 ක් ලෙසයි.
එසේම, කොළඹ කොටස් වෙළඳපොල දර්ශක අද (13) කැපී පෙනෙන ලෙස ඉහල ගියේය.
සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 343.79 ලෙස සටහන් වූ අතර එය පෙර දිනට සාපේක්ෂව සියයට 4.43 ඉහල යාමකි.
එස් ඇන්ඩ් පී එස්එල් 20 දර්ශකය ඒකක 132.14 ලෙස සටහන් වූ අතර එය පෙර දිනට සාපේක්ෂව සියයට 5.22 ඉහල යාමකි.අද(13) කොටස් වෙළඳපොල සමස්ථ පිරිවැටුම රුපියල් බිලියන 2.18 ක් විය.
ඉන්දියාවෙන් පොහොර - අමෙරිකාවෙන් ඖෂධ නැවක්
මේ අතර දැනට පවතින ණය පහසුකම යටතේ යල කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය සම්පූර්ණ යූරියා වහාම ශ්‍රී ලංකාවට සැපයීමට ඉන්දීය රජය එකඟ වී ඇතැයි වාර්තා වේ.
ඒ අනුව යල කන්නයේ වී වගාව සඳහා ඉන්දීය රජය ලබාදීමට එකඟ වී ඇති සම්පූර්ණ යූරියා තොගය මෙටිට්රික් ටොන් 65,000 කි.
එමෙන්ම හදිසි ඖෂධ අඩංගු නෞකාවක් මෙරටට එවීමට අමෙරිකාව පියවර ගෙන ඇති බවටද වාර්තා වේ.
අගමැති-ඉන්දීය මහ කොමසාරිස් අතර හමුවක්
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ සහ නව අග්‍රාමාත්‍ය ධුරයෙන් පිදුම් ලැබූ රනිල් වික්‍රමසිංහ අතර හමුවක් පැවැත්විණ. එහිදී මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සුබ පැතුම් එක් කර තිබේ.
ශ්‍රී ලාංකික ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් ප්රජාතන්ත්රවාදී ක්‍රමවේදයන් හරහා දිවයිනේ ආර්ථික ප්‍රතිසාධනය සහ ස්ථාවරත්වය උදෙසා අඛණ්ඩ ඉන්දු - ශ්‍රී ලංකා සහයෝගීතාවය පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත.
"ඉවසන්න!" - රනිල් ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලයි
රටේ ආර්ථික අර්බුදය "යහපත්වීමට පෙර නරක අතට හැරෙන" බව ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ BBCයට පැවසීය.
වැඩ භාර ගැනීමෙන් පසු BBCය සමග සිදුකළ ඔහුගේ පළමු සම්මුඛ සාකච්ඡාවේ දී, රටේ ජිවත් වන ජනතාවට දිනකට ආහාර වේල් තුනක් ලැබෙන ආර්ථිකයක් සැකසීමට වගබලා ගන්නේයැ යි රනිල් වික්‍රමසිංහ ප්‍රතිඥා දුන්නේ ය.
එමෙන්ම රටේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට වැඩිදුර මූල්‍ය ආධාර ලබාදෙන්නැ යි ජාත්‍යන්තරයට ඔහු ආයාචනා කර සිටියේ ය.
කඩිනම් ආධාර ලබාගැනීම සඳහා තමා ඉන්දියාව සහ ජපානය වැනි රටවල් සමග සාකච්ඡා කරන බව පැවසූ ඔහු, "සාගතයක් ඇති වෙන්න දෙන්නේ නැහැ, අපි ආහාර සොයාගන්නවා," යනුවෙන් ද පැවසීය.
වෛද්‍යවරයෙකු රෝගියෙකු පරීක්ෂා කරනවාක් මෙන්, ශ්‍රී ලංකාවේ ගිණුම් පරීක්ෂා කිරීමට ද කාලය අවශ්‍ය බව ඔහු කියා සිටියි.
"මට [ඒ සම්බන්ධයෙන්] ඇගයුමක් සිදුකිරීමට අවශ්‍ය යි, මම ඔබට සතියකින් [නිශ්චිත පිළිතුරක්] දෙන්නම්," අගමැතිවරයා ප්‍රකාශ කළේ ය.
ඔහුගේ නව ප්‍රධානියා වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස බල කරමින් සිටින විරෝධතාකරුවන්ගේ හැඟීම් සමග තමා එකඟවන බව ඔහු පවසනමුත්, එය සිදුනොවන්නක් බව ඔහු ප්‍රකාශ කරයි.
"කාටවත් දොස්කීමෙන් කිසි ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ, මම මේ තනතුරට ආවේ මිනිස්සුන්ට ආහාර සපයන ආකාරය ගැන වගබලා ගන්න," ඔහු කියා සිටියේය.
"සැබෑ ආර්ථිකය දැන් අක්‍රීය යි. ඒක බිඳවැටිලා."
ඔහු ශ්‍රී ලාංකික ජනතාවට දෙන පණිවිඩය වන්නේ, "ඉවසන්න, මම [නැතිවුණු] දේවල් ආපහු ගෙන එන්නම්," යන්න යි.