ගාලු මුවදොර පුරවැසි අරගලයේ පාර්ශ්වකරුවන් විසින් පවතින අර්බුදය විසදීම සඳහා යෝජනාවලියක් ඉදිරිපත්කර ඇත.



ප්‍රධාන කරුණු 08කින් යුතු එය නම්කර ඇත්තේ  "ගාලුමුවදොරින් ඔබ්බට" පුරවැසි ඉල්ලීම් යෝජනාවලිය නමිනි.

එම යෝජනාවලිය කිසිඳු සංශෝධනයකින් තොරව පහත පලවේ.



පූර්විකාව:

ගෞරවනීය පුරවැසි අරගලකරුවනි,

අප මේ ගතකරමින් සිටින්නේ ඓතිහාසික නිමේෂයකි. මේ නිමේෂය තුළ අප සැවොම අපේ පරම්පරාවන්ගේ අනාගතය සහ නූපන් මතු පරපුරේ අනාගතය සුරක්ෂිත කරන, ජනතාවාදී ජනරජයක් පිළිබඳව සිහිනය හදවතේ ගැඹුරු ම තැන්හි තබාගෙන වීදී බැස සිටිමු.

අප දියත් කරමින් සිටින්නේ අවිහිංසාව, ආදරය, ධෛර්යය සහ සටන්කාමීත්වය මත පදනම් වූ අරගලයකි. එම අරගලයේ මූලික අරමුණ නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ රාජපක්ෂ රෙජීමයේ අදූරදර්ශී පාලනය අවසන් කර නව සමාජ සම්මුතියක් බිහිකර ගැනීමයි. එකී අරමුණ වෙනුවෙන් ජාති, ආගම්, කුල ගෝත්‍ර සහ පක්ෂ පාට බේදයෙන් තොරව සමස්ත ශ්‍රී ලාංකීය පුරවැසියන් එක් සිත් ව ඒකාත්මික වෙමින් සිටිනු දක්නට ලැබෙයි.



කලක පටන් වර්ධනය වෙමින් පැවති පීඩාවට පත් ජනතාවගේ අරගලයනුත්, පසුගිය මාර්තු මාසයේ සිට කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ආරම්භ කරන ලද නිහඬ විරෝධතාත්, ඒ හා සමගාමී ව දිවයින පුරා ගම් දනව් නගර සිසාරා පැතිර ගිය සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාරයත් නිසා පුරවැසි හදවත්හි තැන්පත් වූ අවිහිංසාවාදී අරගලයක උණුසුම් අභිලාෂය පසුගිය අප්‍රේල් මස 09 වනදා සිට ඇරඹි "ගාලුමුවදොර නොනිදන අරගලය" සංකේතීය ව කූටප්‍රාප්තියට පත් විය.

මේ මොහොතේ ජනතා අරගලයේ සංකේතීය කේන්ද්‍රස්ථානය වන ගාලුමුවදොර 'ගෝඨා ගෝ ගම' වනාහි නව පුරවැසි අපේක්ෂාවක නිහඬ ප්‍රකාශනයකි.

එය දශක හතකට අධික කාලයක් තිස්සේ දූෂිත දේශපාලන සංස්කෘතිය විසින් ඇතිකරන ලදුව, 'රාජපක්ෂවාදය' විසින් පෙර නොවූ විරූ අන්දමින් දෘෂ්ටිවාදී පදනමක් මත ශ්‍රී ලාංකීය ජන සමාජය තුළට කිඳා බස්සවන ලද සකලවිධ පසුගාමීත්වයන්ට එරෙහි ව, නව සංස්කෘතික පුරවැසියකු සහිත ජනරජයක් බිහිකරගැනීම පිළිබඳව ගන්නා වූ ධෛර්යවන්ත උත්සාහයකි.

එම උත්සාහයෙන් අපේක්ෂිත වන්නේ දශක  හතකට අධික කාලයක් මේ මහපොළව අපවිත්‍ර කළ දුර්ගන්ධවත් දේශපාලන සංස්කෘතිය වෙනුවට නව දේශපාලන සංස්කෘතියක් පිළිබඳ ව සදාචාරාත්මක ක්‍රමවෙනසකි.

ඉතිහාසය පුරා ම අපගේ දේශපාලන සංස්කෘතිය තුළ වූ දුර්වලතා නිසා ක්‍රමික ව වර්ධනය වූ සමාජ ආර්ථික අර්බුදයන් පෙර නුවූ විරූ ලෙස උත්සන්න කිරීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ රාජපක්ෂ දේශපාලන රෙජීමයේ අදූරදර්ශී, දූෂිත සහ බලකාමී පාලනය සමත් වී ඇත.

ඔවුන්ගේ උද්ධච්ඡ සහ අමනෝඥ තීරණ ගැනීම් සහ නොසලකා හැරීම් නිසා අද වනවිට අපගේ මාතෘභූමිය, අත්‍යවශ්‍ය සේවා පවා පවත්වාගත නොහැකි, බිඳ වැටුණු, අරාජික දේශයක් බවට පත් කොට තිබේ.

එම අරාජික තත්වය තුළ ඇතිකරන ලද තීව්‍ර ආර්ථික, සමාජ අර්බුදයන් විසින් පුරවැසියන් කෙරෙහි ඇතිකරන ලද පීඩනය හුදු දේශපාලන අර්බුදයකට එහා ගිය මානවීය අර්බුදයක් දක්වා මේ වනවිට තල්ලු වී ඇත.

ඒ අනුව මේ අර්බුදයට විසඳුම් සෙවීමේ පළමු පියවර වන්නේ ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂගේ පාලනය අවසන් කිරීම බව අප සැවොම කොන්දේසි විරහිත ව එකඟවන කරුණකි. එහෙත් 'ගෝටා ගෝ හෝම්' සටන් පාඨය යනු හුදෙක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉල්ලා අස්වී ගෙදර යා යුතු බව පමණක් නොවේ. ඒ තුළ ඊට වඩා බොහෝ විස්තෘත සහ අප්‍රකාශිත එකඟතා සනිටුහන්ව තිබේ.


මෙම යෝජනාවලිය තුළ දැක්වෙන්නේ එලෙස උපරිම ජන කණ්ඩායම්, සංවිධාන සහ පුරවැසියන් හට එකඟවිය හැකි අවමය ලෙස අප  විශ්වාස කරන යෝජනාවලියයි. ඔබ මේ යෝජනා සමඟ එකඟ වන්නේ නම් ඔබේ නම, ඔබ නියෝජනය කරන සංවිධානයක් වේ නම් එහි නම, සහ අත්සන යෙදීමෙන් මේ සඳහා එකඟතාව පළ කළ හැකි ය.

මෙම අවම පොදු ඉල්ලීම් මාලාව සඳහා එකඟ වීම හේතුවෙන් මෙයට එහා ඉල්ලීම් ඉල්ලීමට සහ ඒවා දිනාගැනීමට පුරවැසියකු ලෙස හෝ සංවිධානයක් ලෙස හෝ ඔබට ඇති අයිතිය සීමා කිරීමක් සිදු නොවේ.

මේ මොහොතේ ජනතා පරමාධිපත්‍ය බලය ප්‍රකාශ කිරීමට ඇති ඵලදායක ම ක්‍රමය පුළුල් පුරවැසි බලයක් බව ඔබට යළිත් සිහිපත් කරමින්, අපගෙන් උපරිමයකට ම එකඟ විය හැකි අවම පොදු එකඟතාව සනිටුහන් කරන මෙම යෝජනාවලිය සලකා බලා එකඟතාව මත අත්සන් කරන මෙන් ගෞරව පූර්වක ව ඉල්ලා සිටිමු.


ජනතා ඉල්ලීම්  :

1. ජනාධිපති ප්‍රමුඛ රාජපක්ෂ රෙජීමය නිල වශයෙන් බලය අතහැරිය යුතුය.


a. වර්තමානයේ රට මුහුණදෙන සියලු අර්බුදයන් මේ තාක් උත්සන්න වීමට ආසන්නතම හේතුව වත්මන් ජනාධිපතිවරයාගේ අදූරදර්ශී ක්‍රියා කලාපය යි. එම නිසා තවත් මේ රට අර්බුදයේ පතුළට වැටීම වළක්වනු වස් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපති ධූරයෙන් වහා ම ඉල්ලා අස් විය යුතු ය.

b. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා සහ නව අග්‍රාමාත්‍යවරයා රාජපක්ෂ පවුල් රෙජීමයේ අයකු නොවිය යුතු ය; එසේ ම, මූල්‍ය, දූෂණ හෝ අපරාධ චෝදනා ලැබූවකු නොවිය යුතු ය.

c. රාජපක්ෂ රෙජීමය සහ එම පාලන තන්ත්‍රය විසින් රාජ්‍ය ආයතන සඳහා පත් කරන ලද ප්‍රධාන තනතුරු (සභාපති ධූර, අධ්‍යක්ෂ ධූර) දරන සියලු දෙනා වහා ම එම තනතුරු වලින් ඉල්ලා අස්විය යුතු ය.



2. සීමිත කාලයක් සඳහා අන්තර්වාර පාලනය :

a. රටේ ආර්ථික, සමාජීය හා දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පක්ෂවල එකඟතාවයෙන් නව අන්තර්වාර ආණ්ඩුවක් සීමිත කාලයක් සඳහා පිහිටවිය යුතු ය. පාර්ලිමේන්තුවේ පක්ෂ නායක එකඟතාවයෙන් එම ජාතික අන්තර්වාර පාලනයේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය පත්කර ගත යුතු ය.

b. එලෙස නව අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී රාජපක්ෂ පවුල් රෙජීමයේ කිසිවකු ඊට ඇතුළත් නොවිය යුතු අතර පත්වන සියලු දෙනා මූල්‍ය වංචා, දූෂණ හෝ අපරාධ සම්බන්ධ චෝදනා ලැබූවන් නොවිය යුතු ය.

c. අමාත්‍ය මණ්ඩලය උපරිම 15 කට සීමා විය යුතු ය. පාර්ලිමේන්තුවේ ස්ථාපනය කර ඇති නමුදු දැනට ක්‍රියාත්මක තත්වයේ නොපවතින ආංශික අධීක්ෂණ කමිටු අමාත්‍යාංශ විෂයයන් අනු ව නැවත සක්‍රීය කරමින් ද, ඊට අවශ්‍ය වෙනත් බලතල තිබේ නම් ඒවා ලබා දෙමින් ද, ක්‍රියාත්මක භාවයට පත් කළ යුතු ය. එමඟින් සියලු ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සක්‍රීය ව රාජ්‍ය පාලනයට දායක කරගන්නා වැඩපිළිවෙලක් කඩිනමින් ආරම්භ කළ යුතු ය.

d. මහජන නියෝජිතයින් වෙත ලබා දෙන්නාවූ සියලු වරප්‍රසාද යළි සමාලෝචනය කර එම වරප්‍රසාද කප්පාදු කිරීම සඳහා කටයුතු කළ යුතුය.

e. නිශ්චිත කාල සීමාවකට පිහිටුවා ගන්නා මෙම අන්තර්වාර පාලනය අවසානයේ (උපරිමය මාස 06කට යටත් ව) ජාතික මැතිවරණ එක ම දිනයක පවත්වා ජනතා පරමාධිපත්‍යය අනු ව පාලන තන්ත්‍රය පිහිටුවා ගැනීමට අවස්ථාව ලබාදිය යුතු ය.  



3. අත්‍යාවශ්‍ය ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයන් කඩිනමින් සිදු කිරීම :

a. නව අන්තර්වාර පාලනයේ පළමු කාර්යය ලෙස 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට (19+) යන ආකාරයේ විධායක ජනාධිපතිධූරයේ බලතල කප්පාදු කරන 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මාස 02ක් තුළ  සිදු කළ යුතු ය.

b. ඉන් අනතුරුව නිශ්චිත කාලරාමුවක් තුළ (උපරිමය මාස 06කට යටත් ව) විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ක්‍රියාවට නැංවිය යුතු ය.

c. නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය තුළින් ශ්‍රී ලංකාවේ වෙසෙන සියලු ජනකොටස්වලට (උතුරු නැගෙනහිර ඇතුළත් ව ජාතිකත්වය, ආගම, කුල-ගෝත්‍ර, ලිංගිකත්වය, භූගෝලීය සීමා, ජීවන වෘත්තීන්, සංස්කෘතිය ආදී විවිධත්වයන් නිසා පීඩාවට පත් ව සිටින ජනකොටස්වලට) සාධාරණ හා යුක්තිගරුක ලෙස ජීවත්විය හැකි පසුබිමක් සහතික කිරීමේ නීතිමය ප්‍රතිසංස්කරණයන් ඇති කිරීම සහ ඒ පිළිබඳව පුළුල් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම තුළින් නෛතික ප්‍රතිසංස්කරණ වලට සමගාමී සමාජ ප්‍රතිසංස්කරණයන් ඇති කළ යුතු ය.

d. ජාතික සංහිඳියා වැඩසටහන් වගවීමක් සහිත ව ක්‍රියාවට නැංවීම තුළින් යුක්තිගරුක දීර්ඝකාලීන සාමය සඳහා පදනම සැපයිය යුතු ය.

e. සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමට හා ශක්තිමත් කිරීමට ඉඩ ලබා දිය යුතු ය. ඒ යටතේ ව්‍යවස්ථාදායකය සහ ජනතාව සම්බන්ධ කරන පුරවැසි සභාවක් / සභා ස්ථාපිත කිරීමට කටයුතු කළ යුතු අතර පුරවැසි අරගලයට සම්බන්ධ පාර්ශව ප්‍රමුඛ ව සිවිල් සමාජ කොටස් ඇතුළත් කර ගනිමින් සෑම ක්ෂේත්‍රයක් ම ආවරණය වන පරිදි ගොඩනැඟෙන මෙම පුරවැසි සභාවේ / සභාවන් ගේ අදහස් හා අභිලාෂයන් රාජ්‍ය පාලනයට හවුල් කර ගැනීම සඳහා විධිමත් හරයාත්මක සහ කාර්යපටිපාටිමය නෛතික ප්‍රතිසංස්කරණයන් ඇතිකළ යුතුය.



4. අර්බුද කළමනාකරණය :

ශ්‍රී ලංකාව මේ මොහොතේ මුහුණ දෙමින් සිටින බරපතළ ආර්ථික, සමාජයීය සහ දේශපාලනික අර්බුදය මානවීය අර්බුදයක් දක්වා ව්‍යාප්ත ව ඇත. එම අර්බුදයන් විසඳීම සඳහා කෙටි, මධ්‍ය සහ දිගුකාලීන වශයෙන් ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කළ යුතු ය.

a. මේ මොහොතේ ලංකාව මුහුණ දෙන හදිසි තත්වයට (ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය) සහ ජනතාවගේ ආර්ථික පීඩනයට සහන සලසන ජන සහන අයවැයක් ගෙන ආ යුතු ය.  

b. ඉහත අයවැය පදනම් කරගෙන මෙම අර්බුදයන් හමුවේ කඩා වැටී ඇති සියලුම ක්ෂේත්‍ර නඟා සිටුවීම සඳහා විශේෂ සමාජ දිරිගැන්වීම් වැඩසටහනක් ඉදිරිපත් කළ යුතු ය.

c. සාර්ව ආර්ථික සමතුලිතය සඳහා විශේෂඥ උපදෙස් සහිතව කඩිනම් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවිය යුතු ය.

d. එමෙන්ම ඉදිරියේදී මුහුණ දීමට සිදුවන අර්බුදයන් වලදී සහ සිදුකිරීමට නියමිත  ආර්ථික ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහන් වලදී සමාජයේ අධි අවදානමට (High Vulnerability) මුහුණදීමට සිදුවන සමාජ කොටස් වලට ආරක්ෂාව සපයනු වස් සමාජ ආරක්ෂණ දැලක් (Social Security Net) වහාම සකස් කළ යුතු ය.

e. පාරිභෝගිකයින්  සූරාකන කළුකඩ වෙළඳ මාෆියාවන් වහා ම පාලනය කිරීමටත් අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල තීරණය හා ගුණාත්මක තත්ත්වය පාලනය සඳහා විධිමත් යාන්ත්‍රණයක් ගොඩනැගිය යුතු ය.

f. දැනට ක්‍රියාත්මක සියලු සංවර්ධන ව්‍යාපෘති සමාජ විගණනයකට ලක්කර හානිකර සහ අනවශ්‍ය ව්‍යාපෘති සමාලෝචනයකට ලක්කර එම ව්‍යාපෘති නතර කිරීමට හෝ සුදුසු වෙනස්කම් සහිත ව නැවත ආරම්භ කිරීමට පියවර ගැනීම සහ නිශ්චිත ප්‍රමුඛතා ලැයිස්තුවක් මත ඉදිරි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.

g. ඉදිරියේදී සිදුකරන ආර්ථික ප්‍රතිසංස්කරණ වලදී රාජ්‍ය ආයතන පිළිබඳ ව සහ ජාතික වැදගත්කමකින් යුතු සම්පත් පිළිබඳව තීරණ ගැනීමේදී වෘත්තීය සමිති, ඒ ඒ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයින් ඇතුළු සියලු පාර්ශ්වයන්හි (All Stakeholders) අදහස් විමසා විධිමත් හා පාරදෘශ්‍ය ක්‍රියාවලියක් තුළ එකී තීරණ ගත යුතු ය.

h. විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ දී දේශගුණික ණය (Climate Debt) වැනි නවමු සංකල්ප කෙරෙහි අවධානයක් යොමු කිරීම තුළින් ශ්‍රී ලංකාවට ලබාගත හැකි සහනයන් ලබා ගැනීම සඳහා අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම සිදු කළ යුතු ය.



5. වත්කම් විමර්ශනය සහ ප්‍රකාශනය :

a. රාජපක්ෂ පවුල් රෙජීමයේ සාමාජිකයින් ද ඇතුළුව සියලුම මහජන නියෝජිතයින්ගේ සහ ඔවුන්ගේ සමීපතම ඥාතීන් ගේ වත්කම් හා බැරකම් පිළිබඳව වෝහාරික විගණයක් පැවැත්විය යුතුය.

b. එකී වෝහාරික විගණනය මගින් අනාවරණය වන අනිසි උපයාගැනීම් පිළිබඳ ව විමර්ශනය කර වරදකරුවන්ට දඬුවම් ලබා දී අයථා ඉපයීම් රාජසන්තක කිරීමට කටයුතු කළ යුතු ය.

c. රටින් බැහැර කර තිබෙන අයථා ලෙස උපයාගන්නා ලද වත්කම් නැවත ශ්‍රී ලංකා රාජ්‍යය වෙත අත්පත් කරගැනීම සඳහා රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් ආරම්භ කිරීම සහ එකී වත්කම් නැවත අත්පත් කරගැනීම සඳහා අවශ්‍ය නෛතික සහ තාක්ෂණික විශේෂඥතාවය ලබා ගැනීම සඳහා කටයුතු කළ යුතු ය.

d. 2003 එක්සත් ජාතීන්ගේ දූෂණවිරෝධී ප්‍රඥප්තිය ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීම සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන හඳුන්වා දිය යුතු ය.



6. නීතියේ සාධාරණත්වය තහවුරු කිරීම :

a. නීතිපතිවරයාගේ ක්‍රියාදාමය සම්න්ධයෙන් විනිවිදභාවයක් සහිතව වගවීම සහතික කරන යාන්ත්‍රණයක් (උදාහරණ ලෙස සිවිල් ක්‍රියාකාරීන්ට ද පැමිණ කරුණු දැක්විය හැකි පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටුවක් වැනි යාන්ත්‍රණයක්) ස්ථාපිත කළ යුතු ය.

b. නීතිය අවභාවිතා කරමින් පුරවැසියන්ගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය ඇතුළු මූලික මිනිස් අයිතිවාසිකම් සහ අනෙකුත් මානව අයිතීන් උල්ලංඝණය කරන සියලු ආකාරයේ නීතිමය අඩන්තේට්ටම් වහා ම නැවැත්වීම සඳහා නීතිමය ප්‍රතිසංස්කරණ සිදුකිරීමට පියවර ගත යුතු ය. (උදා. PTA හා යෝජිත CTA පනත් මගින් සිදුවන මූලික මිනිස් අයිතිවාසිකම් යටපත් කිරීම් වහාම ඉවත් කිරීම සඳහා පියවර ගත යුතු ය.)

c. පැවති පාලන තන්ත්‍රයන්හි අනුහසින් සිදුකරන ලද සියලු ඝාතන, පැහැරගැනීම්, අතුරුදහන් කිරීම් ඇතුළු (පාස්කු ප්‍රහාරය, මිරිහාන සාමකාමී උද්ඝෝෂණයට එල්ල කළ ප්‍රහාරය, රඹුක්කන ඝාතනය, ගෝඨාගෝගම, මයිනාගෝගම, මහල්වරාව වැනි සාමකාමී අරගලයන් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාර ආදී) අනෙකුත් අපරාධ පිළිබඳ ව දැනට විභාග කෙරෙන නඩු, කිසිදු දේශපාලනික බලපෑමකින් තොර ව කඩිනමින් විභාග කිරීමට අවශ්‍ය පරිසරය සකස් කර, අපරාධ සඳහා වගකිවයුත්තන්ට නිසි දඬුවම් ලබා දිය යුතු ය. එසේ ම, රාජපක්ෂ පාලන සමයේ දේශපාලන බලපෑම් හේතුවෙන් තාක්ෂණික හේතු මත ඉවත් කරගත් නඩු ඇතුළු අනෙකුත් නීතිමය ක්‍රියාමාර්ග යළි ආරම්භ කළ යුතු ය. මෙතෙක් නීතිමය ක්‍රියාමාර්ග නොගත් නඩු සඳහා ද කඩිනමින් නෛතික ක්‍රියාමාර්ග ආරම්භ කළ යුතු ය.

d. දිවයින පුරා සිදුවී ඇති මේ දක්වා හෙළි වී නොමැති සියලු පුද්ගල ඝාතන, පැහැරගැනීම්, අතුරුදහන් කිරීම්, ලිංගික අපහරණ, ඉඩම් හා දේපළ පැහැරගැනීම්, දේපළ හානි, බහිරාධිකරණ ඝාතන (Extrajudicial Killings) ඇතුළු අනෙකුත් අපරාධ පිළිබඳ ව සත්‍ය සොයා බැලීම සඳහා 'අපරාධ යුක්ති කොමිසමක්' පත් කර එම සිද්ධිවල සත්‍ය සෙවීමට කටයුතු කළ යුතු ය. තව ද, එමගින් අනාවරණය වන තොරතුරු මත පදනම් ව නීතිය ක්‍රියාත්මක කර, වගකිව යුත්තන්ට නිසි දඬුවම් ලබා දීමට කටයුතු කළ යුතු ය.

e. මෑත ඉතිහාසය තුළ දේශපාලන වුවමනාවන් මත නීතිය අවභාවිතා කරමින් සිදුකරන ලද සියලු අත්අඩංගුවට ගැනීම් තුලින් අසාධාරණයට සහ හිංසනයට ලක්වූවන්ට කඩිනමින් සාධාරණයක් ඉටු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු ය.

f. සියලු බන්ධනාගාර, මානව හිමිකම් කොමිසමේ නිරීක්ෂණයට ලක් කිරීමට ඉඩදීම මගින් සියලු ම දේශපාලන රැඳවියන්ගේ සත්‍ය තොරතුරු ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කළ යුතු ය. එසේ ම එම දේශපාලන රැඳවියන් කඩිනමින් නිදහස් කිරීමට කටයුතු කළ යුතු ය.

g. අත්තනෝමතික පරිසර සංහාරයන් සහ ජෛව සම්පත් මංකොල්ලයන් පිළිබඳව සාධාරණ සහ අපක්ෂපාතී විමර්ශනයන් කඩිනමින් සිදු කර, වගකිව යුත්තන්ට දඬුවම් ලබාදීම තුළින් යුක්තිය ඉටුවීම සහතික කළ යුතු ය.



7. ජීවත්වීමේ අයිතිය (Right to Life) මූලික අයිතිවාසිකමක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට පියවර ගත යුතු ය. (මේ සඳහා ඉන්දියාවේ සහ දකුණු අප්‍රිකාවේ වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජීවත්වීමේ අයිතිය ඇතුළත් කර ඇති ආකාරය ආදර්ශයක් ලෙස භාවිතා කල හැකි ය.)


8. අන්තර්වාර පාලනයෙන් පසු ව පවත්වනු ලබන සියලු මැතිවරණ, නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණයන් හඳුන්වා දීම.

 
a. මැතිවරණයක් ප්‍රකාශයට පත්වූ පසු ව මහජන සංඛ්‍යාත භාවිතා කරන සියලු ජනමාධ්‍ය නිදහස් හා සාධාරණ ලෙස ස්වාධීන ව අධීක්ෂණය කිරීම සඳහා ස්වාධීන මැතිවරණ කොමිසමට බලය පැවරෙන විශේෂ නීති ප්‍රතිසංස්කරණ  සිදු කළ යුතු ය.

b. මැතිවරණය ප්‍රකාශයට පත්වූ පසු ව මහජන සංඛ්‍යාත නිකුත්කර ඇති සියලු මාධ්‍ය ආයතන විසින් සිදුකරන සියලු වැඩසටහන් අධීක්ෂණය, උපමාන නිකුත් කිරීම, මාධ්‍ය හැසිරීම පිළිබඳ ව මහජන පැමිණිලි භාරගැනීම සහ විමර්ශනය සිදුකර, අයුක්ති සහගත වැඩසටහන් පාලනය සඳහා කටයුතු කිරීමට ස්වාධීන මැතිවරණ කොමිසම යටතේ නිසි බලතල සහිත විශේෂ ඒකකයක් පිහිටුවීම ඇතුළු ව, නිදහස් හා සාධාරණ මැතිවරණයක් තහවුරු කිරීම සඳහා අවශ්‍ය වෙනත් සහ වැඩිමනත් ප්‍රතිසංස්කරණ කඩිනමින් සිදුකිරීමට මේ යටතේ යෝජනා කරනු ලැබේ.

c. විදේශ රටවල නීති පිළිබඳව ද අධ්‍යනය කරමින් මැතිවරණ ප්‍රචාරණ වියදම් (Election Campaign Financing) සම්බන්ධව අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු ය.

d. සියලු මැතිවරණවලදී කාන්තා සහ තරුණ නියෝජනයට ඇති ඉඩප්‍රස්ථා සහතික කිරීම පිණිස මැතිවරණ නීති සඳහා අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කළ යුතු ය.
 

 
 
‘ගාලුමුවදොරින් ඔබ්බට’  ජනතා ඉල්ලීම් යෝජනාවලිය අත්සන් තබන ලද ක්‍රියාකාරීන්ගේ නාමලේඛණය


1. විමුක්ති දුෂාන්ත - Black Cap Movement
2. දිලාන් සේනානායක - සමාජ මාධ්‍ය ක්‍රියාකාරී
3. චමීර දෙද්දුවගේ - Black Cap Movement
4. මනුරි පබසරී වලේබොඩ - Black Cap Movement
5. නිරශාන් විතානගේ - Black Cap Movement
6. නීතිඥ මනෝජ් නානායක්කාර - අරගලයේ නීතිඥයෝ
7. දුලීකා මාරපන - රංගන ශිල්පිනී / සමාජ ක්‍රියාකාරී
8. අකලංක හෙට්ටිආරච්චි - සාධාරණ සමාජයක් සඳහා තරුණයෝ / Black Cap
9. හේමප්‍රිය කවිරත්න - Black Cap Movement
10. සංජීව විමලගුණරත්න - Radical Centre
11. රජිත අබේගුණසේකර - ලිබරල් සහෝදරත්වය
12. Fr. ජීවන්ත පීරිස් - Fellowship Freedom
13. තරිඳු උඩුවරගෙදර - මාධ්‍යවේදී
14. කසුන් පුස්සෙවෙල - මාධ්‍යවේදී / ලේඛක
15. ෂෙනාලි පෙරේරා       - සමාජ ක්‍රියාකාරී
16. නිරෝෂන් හර්ෂණ       - Black Cap Movement
17. ඒ.එම්.ඒ.පී අධිකාරී - සාධාරණ සමාජයක් සඳහා තරුණයෝ
18. කේ. හරේන්ද්‍රන් - Radical Centre
19. ශබීර් මොහොමඩ් - ගෘහ නිර්මාණ ශිල්පී
20. ඩී.එම්. රතිඳු සේනාරත්න - සමාජ මාධ්‍ය ක්‍රියාකාරී
21. අවිශ්ක විරාජ් කෝනාර - සමාජ මාධ්‍ය ක්‍රියාකාරී
22. ඉෂාරා එම්. ජයසේන - නීතිඥ / සමාජ ක්‍රියාකාරී
23. රංගන දේවප්‍රිය - සමාජවාදී ශිෂ්‍ය සංගමය (SSU)
24. එරංග ගුණසේකර - සමාජවාදී තරුණ සංගමය (SYU)
25. විමල් කැටිපෙආරච්චි - සමාජ ක්‍රියාකාරී
26. චින්තන ධර්මදාස - කහමල් ව්‍යාපාරය
27. ෂෙහාන් මාලක ගමගේ - කතෝලික ගිහි සංවිධාන එකමුතුව
28. අසංක අබේරත්න - අතුරුදහන්වූවන්ගේ පවුල් එකමුතුව
29. ජගත් මනුවර්ණ - අලුත් පරපුර
30. සුපුන් ජයවීර - නීතිඥ / සමාජ මාධ්‍ය ක්‍රියාකාරී
31. චමල් අකලංක පොල්වත්තගේ - සමාජ මාධ්‍ය ක්‍රියාකාරී
32. අනුරාධ සේනානායක - ව්‍යවසායක
33. කාවින්ද්‍යා තෙන්නකෝන් - සමාජ ක්‍රියාකාරී
34. මයුරි ද සිල්වා - සමාජ ක්‍රියාකාරී
35. උදිත් ඉරෝෂ් - සමාජ මාධ්‍ය ක්‍රියාකාරී
36. නිලේකා ධනංජනී ගුණවර්ධන - සමාජ ක්‍රියාකාරී
37. මංජුල සමරසේකර - මාධ්‍යවේදී / සර්වපාක්ෂික අරගලකරුවන්
38. අනුරුද්ධ බණ්ඩාර - සමාජ ක්‍රියාකාරී
39. කවීෂ නදුන් කන්ගොඩආරච්චි - සමාජ ක්‍රියාකාරී
40. චමිත් විරංග විමලරත්න - සමාජ ක්‍රියාකාරී
41. තිලානි චින්තානි සෙනෙවිරත්න - සමාජ ක්‍රියාකාරී
42. හංසක මනුසිංහ - නීති ශිෂ්‍ය
43. නවෝද කොඩිතුවක්කු - සමාජ ක්‍රියාකාරී
44. නලින්ද ජයවර්ධන - ප්‍රගති සංසදය / සමාජ ක්‍රියාකාරී
45. සමන් කුමාර රන්තිලක - සමාජ ක්‍රියාකාරී
46. දර්ශන චතුරංග බ්‍රාහ්මණ - ජාතික ප්‍රතිපත්ති ව්‍යාපාරය
47. රෂී චන්ද්‍රනාත් ප්‍රනාන්දු - එක්සත් වෘත්තීයවේදීන්
48. නයනජිත් අතපත්තු - සමාජ ක්‍රියාකාරී
49. බුවනෙක පෙරේරා - සමාජ ක්‍රියාකාරී
50. සෙමේෂ් විශ්වජිත් - සමාජ ක්‍රියාකාරී
51. අමිල සුයාම එගොඩවත්ත - යුක්තියේ නීතිඥයෝ
52. ශහක් ආත්මා - යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී / සමාජ ක්‍රියාකාරී
53. හාන්ස් කොක් - සමාජ මාධ්‍ය ක්‍රියාකාරී
54. සහන් වීරතුංග - ලිබරල් සහෝදරත්වය
55. ගිහාන් කාසිචෙට්ටි - කිරිබත්ගොඩ කැලණිය එකමුතුව
56. යශෝධා විජේවර්ධන - සමාජ ක්‍රියාකාරී
57. මදුභාෂණ නාගොඩ - සමාජ ක්‍රියාකාරී
58. ඉෂාර අබේගුණසේකර - මාධ්‍යවේදී
59. තිලිණ අලහකෝන් - අරගලයේ පරපුර
60. ආදර්ශා කරඳන - මඝ මානවක පරපුර
61. නුවන් සී පෙරේරා        - සත්‍යග්‍රහ ව්‍යාපාරය
62. ඉෂුර ජයනෙත්ති - ගායන ශිල්පී / කලාකරු
63. තිළිණි හේවාවිතාරණ - නීතිඥ
64. සුචිත් අබේවික්‍රම - සමාජ ක්‍රියාකාරී - අරගලයේ ජාතික හඬ
65. තාරක කාරියපෙරුම - යාන්ත්‍රික ඉංජිනේරු
66. එන්.එන් අලහකෝන් - සමාජ ක්‍රියාකාරී
67. යූ.පී අලහකෝන් - ලේඛක
68. භාරත ප්‍රභාෂණ තෙන්නකෝන් - මාධ්‍යවේදී / සමාජ ක්‍රියාකාරී
69. ඩෙස්මන් චතුරංග ද අල්විස් - මාධ්‍යවේදී
70. වෛද්‍ය සංකල්ප මාරසිංහ - උප ලේකම් - 43 සේනාංකය
71. අජිත් පෙරේරා - දේශසීමා රහිත වෘත්තිකයෝ

 



fgdfgr33සමාජ මධ්‍යයේ සංසරණය වන පොස්ටුවකි.

 

ජන අරගලය දිගටම පැවැතිය යුතු බව රනිල් කියයි

මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ පවසන්නේ, ගාලුමුවදොර පැවැත්වෙන ජන අරගලය දිගටම සිදුවිය යුතු බවත් ඊට කිසිඳු බාධාවක් ඇති නොකරනබවත් ය.

හෙතෙම එබව කියා සිටියේ, අගමැති ධුරයේ දිව්රුම් දීමෙන් පසු කොළඹ වාලුකාරාමයේ ආගමික වතාවත් වල නියුතු වී පිටතට පැමිණි අවස්තාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

ගෝඨාගෝගමට වෙන්නේ කුමක්දැයි කළ ප්‍රශ්න කිරීමේදී අගමැතිවරයා කියා සිටියේ අරගලය දිගින් දිගටම පැවතිය යුතු බවත් ගෝඨාගෝගමට කිසිවක් නොකරන බවය.

යම් විදිහකින් රනිල් ගෝ ගමක් ඇති වුවහොත් කරන්නේ කුමක්දැයි මාධ්‍යවේදියකු අගමැතිවරයාගෙන් ප්‍රශ්න කළේය.

එයට පිළිතුරු දෙමින් අගමැතිවරයා කියා සිටියේ තමන්ගේ නිවස ඉදිරියේ මීට දින කීපයකට පෙර රනිල් ගෝ හෝම් ලෙස සටන් පාඨ රැගෙන පිරිසක් සිටි බවයි. මේ ලෙසින් සියලු දෙනාට ගෝ හෝම් කියන්න ගියොත් රටපාලනය කිරීමට ක්‍රම වේදයක් සකස් කිරීමට නොහැකි වන බවද මෙහිදී හෙතම සඳහන් කළේය.

 

 
 සබැඳි ලිපිය :

‘රනිල් ගෝ ගම’ ඉදිකරයි..!



 
නිර්පාක්ෂික ජන අරගලයට සහය පලකිරීමේ අරමුණින් යුතුව සංවිධානය කළ සත්‍යක්‍රියාවේ ප්‍රකාශිත සම්මුතියේ යෝජනා 15
 
 
 
  

Leader Whats app

 

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්

ඇට මැස්සා