සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමක්, දෙමළ පක්ෂ නියෝජිත පිරිසක් සහ
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අතර අද (16) උදෑසන සුහද සාකච්ඡාවක් පවත්වා තිබේ.
ඊට මන්ත්‍රීවරියක් ද එක්ව සිටි බව වාර්තා වේ.
රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති අන්තර්කාලීන ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය, සිදු කළ යුතු දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ යනාදිය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්ව තිබේ.
එහිදී ඉදිරි කාලය තුළ මෙම සාකච්ඡාවට සහභාගී වූ කණ්ඩායම් කිහිපය පාර්ලිමේන්තුව තුළ 'එක් හඬක්' ලෙස ක්‍රියාකිරීම සඳහා යෝජනා වී ඇති අතර, ඒ සඳහා එකඟතාවය ද පල වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
‘තනතුරු නොගෙන ආණ්ඩුවට සහය දෙනවා‘ - සජබ මහ ලේකම්
වත්මන් ආණ්ඩුව විසින් ආර්ථිකය ගොඩනැගීම උදෙසා කරනු ලබන, රටට හිතැති යහපත් කටයුතු වෙනුවෙන් එහි තනතුරු ලබා නොගෙන, පාර්ලිමේන්තු ක්‍රියාවලිය තුළින් සමගි ජනබලවේගයේ පූර්ණ සහය ලබා දීමට එහි මන්ත්‍රී කණ්ඩායම අද(16)ඒකමතිකව තීන්දු කර තිබේ.
මේ මොහොතේ රට පත්ව ඇති අර්බුදකාරී තත්ත්වයෙන් රට මුදවා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බව වගකීම් සහගත දේශපාලන පක්ෂයක් ලෙස සමගි ජන බලවේගය විශ්වාස කරන බැවින් මෙම තීන්දුව ගත් බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කළේය.
සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමට සහ සමගි ජන බලවේගයේ මූලික ප්‍රතිපත්තියෙන් බැහැරව ආණ්ඩු පාර්ශ්වයට මන්ත්‍රීවරු සම්බන්ධ කර ගැනීමට කටයුතු කරන්නේ නම් අදාල සහයෝගය කොන්දේසි විරහිතව අත්හිටුවන බවටද එහිදී මන්ත්‍රී කණ්ඩායම තීන්දු කර ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
“ඇමති ධූර භාර නොගෙන ආණ්ඩුවට සහය දෙනවා” - ගම්මන්පිල
අමාත්‍ය ධූර භාර නොගෙන රට ගොඩනැගීමට ආණ්ඩුවට සහය පළ කිරීමට ස්වාධීන පක්ෂ එකමුතුව තීරණය කළ බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වූ පක්ෂ සමග අද (මැයි 16) පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මෙම සාකච්ඡාවේදී අගමැතිවරයා යෝජනා කළ කමිටු 15ට සම්බන්ධ වෙමින් ජනතා ගැටලු විසඳීමට සහය දෙන බව උදය ගම්මන්පිල සඳහන් කළේ ය.
“එතුමා සඳහන් කළා එතුමා ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා පක්ෂ නායකයින්ගෙන් සැදුම්ලත් ජාතික සභාවක් හදන්න. ඒ වගේ ම පාර්ලිමේන්තුවේ කමිටු 15ක් පිහිටුවලා, ආංශික කමිටු 10ක් සහ මුල්‍ය කමිටු 5ක් වශයෙන් කමිටු 15 පිහිටුවලා ඒ සඳහා ඇමති ධූර භාර ගන්නේ නැති දේශපාලන පක්ෂවල කමිටු සභාපති ධූර භාර ගන්න ආරාධනා කරලා, සියලු ම දෙනා රාජ්‍ය පාලනයට සහභාගී කර ගන්න. අපිට ඇමති ධූර භාර ගැනීමට කෑදරකමක් නැතත් රට ගොඩ නැගීම අවශ්‍යයි. ඒ නිසා අපි ඇමති ධූර භාර ගන්නේ නැතුව රට ගොඩ නැගීම ප්රයත්නයට අවංකව සාධාරණව සිට අපේ සහයෝගය ලබා දෙන බව අගමැතිතුමාට දැනුම් දුන්නා.”