පසුගිය 09වැනිදා සිදුවීමෙන් ඇතිවූ ප්‍රචණ්ඩත්වයේ වගකීම ආණ්ඩුව බාරගත යුතු බවත් එය ජනතා විමුක්ති පෙරමුණට

පැටවීම කුමන්ත්‍රණයක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි.

ඔහු මේ බව කියා සිටියේ, බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (19) පස්වරුවේ මාධ්‍ය හමුවක් අමතමිණි.

එහිදී වැඩිදුරටත් ඔහු දැක්වූ අදහස් පහතින් පල වේ,

“පසුගිය 09වැනි දින එවකට අගමැති ධුරය දැරූ මහින්ද රාජපක්ෂ විසින් මන්ත්‍රීවරුන්, පළාත් පාලන මන්ත්‍රීවරුන් ඇතුළු මැර කණ්ඩායමක් අරලියගහ මන්දියට රැගෙන විත් ඔවුන්ට සංග්‍රහ කර ජොන්ස්ටන් වැනි ඇමතිවරුන් ලවා කතා පවත්වා, එම පිරිස ලවා මැර ප්‍රහාරයක් මෙහෙයවනු ලැබුවා. මේ මැර පිරිස් අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගෝල්ෆේස් අසල තිබූ සාමකාමී අරගලවලට පහර දුන්නා.

එතන සිටි පිරිස්වලට පහර දෙමින් හා උපකරණ කඩා බිඳ දමමින් කරන ලද ම්ලේච්ඡ මැර හැසිරීම දැන ගත් වහාම අපේ රටේ විශාල පිරිසක් කම්පාවට පත් වී ප්‍රතිචාර දැක්වූවා. ඇතැම් තැනක එම ප්‍රතිචාර දැක්වීම් ප්‍රචණ්ඩකාරී තත්වයක් දක්වා වර්ධනය වී තිබුණා. ගිනිතැබීම්, කොල්ලකෑම් සිදුවී තිබුණා. මිනිස් ජීවිත කිහිපයක් අහිමි වුණා.

එවැනි ප්‍රචණ්ඩකාරීත්වයක් ඇති වුණේ මහින්ද රාපක්ෂගේ මැරයන් විසින් ගෝල්ෆේස් අරගලයට කරන ලද පහරදීම නිසයි. මෙවැනි ප්‍රචණ්ඩකාරීත්වයක් අපි කිසිසේත් අනුමත කරන්නේ නැහැ. එසේම එම ප්‍රචණ්ඩකාරීත්වයක් ඇතිවීමේ ප්‍රධානතම වගකීම මහින්ද රාජපක්ෂ ඇතුළු මැර කණ්ඩායම භාර ගත යුතුයි. 

 

එහෙත් දැන් ආණ්ඩුව නිරායුද පුරවැසියන් සාමකාමී ලෙස කළ අරගලයකට පහර දී එයට ප්‍රතිප්‍රහාර එල්ල වූ විට එය වැළැක්වීමට කටයුතු නොකර එය සැලසුම්සහගතව ජනතා විමුක්ති පෙරමුණ මත පැටවීමට උත්සාහ දරමින් සිටිනවා.

ඡන්ද කාලයේ සිට මැරකම් කරන ලද සහ පසුගිය 09වැනි දින මැරකම් සිදු කළ ආණ්ඩුවේ මැර ඇමතිවරුන් පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ බෝධිත්වවරුන් මෙන් කතා කරමින් සිටිනවා. ඔවුන් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ බව කියනවා. ඒවායේ වගකීම ජනතා විමුක්ති පෙරමුණ මත පැටවීමට හදනවා. අපි ඉතාම වගකීමෙන් මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. එසේම මෙම චෝදනාව හෙළා දකිනවා.

ප්‍රචණ්ඩත්වය නිර්මාණය කරපු අය, ඊට කිසිම සම්බන්ධයක් නැති අප මත පැටවීම බරපතළ දේශපාලන කුමන්ත්‍රණයක් ලෙස අපි දකිනවා. මේ දේශපාලන කුමන්ත්‍රණය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව ජනමතයක් නිර්මාණය කිරීම අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. මේ කිසිවක් පිළිනොගන්නා ලෙස අපි ජනතාවගෙන් ඉල්ලනවා.

 
මේ අපට චෝදනා කරන සියලු ඇමතිවරුන් ඔවුන්ගේ ගම්වල මැරයන්. මැර කණ්ඩායම් නියෝජනය කරන අය. ජනතාවට මුල සිට අගටම බොරු කියපු අය. ජනතාව නොමඟ යවා ජනතාවගේ විරෝධයට ලක්වූ මොවුන් අද පාර්ලිමේන්තුව තුළ අඬා වැටෙමින් බබාලා වෙන්න හදනවා. තමන්ට සිදුවූ විනාශයට ඇත්ත වගඋත්තරකරුවන් සොයා ගන්නවා වෙනුවට දේශපාලන අරමුණක් වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා නගනවා.



පසුගිය අවුරුදු විසිපහක තිහක කාලය තුළ ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ දේශපාලනය තුළ ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කර තිබෙනවා. 1994 සිට ජනතා විමුක්ති පෙරමුණ කිසිදු අවස්ථාවක ප්‍රකෝප වී හෝ ප්‍රචණ්ඩකාරී වී නැහැ.

අපේ සහෝදරවරුන් මැතිවරණ අවස්ථාවන්හිදී ඝාතනය කරද්දීත් ගෙවල් ගිනි තබද්දීත් පහර දෙද්දීත් අපට අසාධාරණකම් බොහොමයක් සිදුවෙද්දීත් අපි ප්‍රචණ්ඩකාරී වුණේ නැහැ. අපි ජනතාව සමග එකතු වී මේ තත්වය පරාජය කිරීමට උත්සාහ කළා.

 ජනතා විමුක්ති පෙරමුණට සිටින්නේ වෙන පක්ෂවලට මෙන් හසුරුවන්න බැරි පිරිස් නෙවෙයි. වගකීම් සහගත දේශපාලන පක්ෂයක් විදිහට අපේ සාමාජිකයන් හිතවතුන් විනයක් සහිතයි. අපි දේශපාලන කටයුත්තක් කරන්නේ නම් එය ඉතාමත් සංවිධානාත්මකව කරනවා. පෙළපාළියක් තිබ්බත්, උද්ඝෝෂණයක් තිබ්බත් කිසිවෙකුටත් එයට ඇඟිලි ගහන්න ඉඩක් තබන්නේ නැහැ. තමන්ගේ සාමාජිකයන් විනයක් සහිතව මෙහෙයවන්න පුළුවන් පක්ෂයක් බව අපි ඔප්පු කර තිබෙනවා.

ප්‍රචණ්ඩකාරිත්වය වපුරවපු මැර ඇමතිවරු ආණ්ඩුවේ උදව්වත් අරගෙන මේ කරන්න හදන්නේ ඔවුන්ට අභියෝගයක් වෙලා තිබෙන ජනතා විමුක්ති පෙරමුණේ කීර්තිනාමය කෙළසන්නයි. ජනතාවගේ විශ්වාසය බිඳින්නයි. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් බියවද්දමින් ඔවුන්ව දඩයම් කරන්න සූදානම් වෙනවා.

 
අපි ඔවුන්ට අවධාරණය කරන්නේ මේ 1983 නොවෙයි. ඒ කාලය අවසන්. මේ සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාත්මක වෙන සියලු දෙනා අත වීඩියෝ තිබෙන කාලයක්. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණත් ජනතාව සමග බද්ධ වූ ව්‍යාපාරයක්. ඒ නිසා බොරු චෝදනා එල්ල කර, අපව චුදිතයන් කරන්න සූදානම් වෙන්න එපා.
 


ඇත්ත ප්‍රශ්නයක් තිබෙනවා. ඔවුන්ට ඇමතිකම් තිබුනට පාරේ බැහැලා යන්න බැහැ. දැන් ඔවුන් පෙරදී මෙන් ආරක්ෂකයින් සමග සයිරන් ගහගෙන යන්නේ නැත්තේ ඇයි? දැන් ඔවුන් ජනතාවට බයයි. ගෑස් පෝලිමේ ඉන්න, තෙල් පෝලිමේ ඉන්න, කිරිපිටි පෝලිමේ ඉන්න ජනතාවට ඔවුන් බයයි. ඔවුන්ට පාරේ ඇවිදින්න බැහැ. ඉස්සර වගේ විශාල වාහනවල යන්නේ නැහැ. ඔවුන් වාහන මාරු කරලා කුඩා වාහනවලට ආවේ ඔවුන්ට ඇති දැවැන්ත ජනතා විරෝධය නිසයි.

එය හුදු දේශපාලන පක්ෂයක විරෝධයක් නොවෙයි. එය ජනතා විරෝධයක්. දේශපාලන පක්ෂයක් තමන්ගේ විරෝධය පළ කරන විට එය සංවිධානාත්මකව කරනවා. එහෙත් පොදු ජනතාව විරෝධය පළ කරන්නේ වෙනස් ආකාරවලටයි. පසුගිය කාලයේ තෙල් පෝලිම්වල හා ගෑස් පෝලිම්වල මෙවැනි තත්වයන් දකින්නට ලැබුණා. එහෙත් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට මෙවැනි තත්වයක් අදාළ වුණේ නැහැ. ඔවුන්ට ඒ සම්බන්ධව ඊර්ෂ්‍යාවක් තිබූ බව අපි දන්නවා.

මේ සියලු හිතේ අමාරුකම් මත ඔවුන් ප්‍රචණ්ඩකාරිත්වය පිළිබඳ චෝදනා ජනතා විමුක්ති පෙරමුණ මත පටවනවා. මෙය දේශපාලන කුමන්ත්‍රණයක ආරම්භයක් ලෙස අපි දකිනවා.
 

1983 දී මෙවැනි දෙයක් සිදුවුණා. එවකට ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණ තමන්ට අභියෝගයක් වෙන කොට 83 කළු ජූලිය නිර්මාණය කරලා දෙමළ ජනතාවගේ දේපොළ විනාශ කර, ඔවුන් මරාදමා එහි වගකීම ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක් මත පැටවූවා. එතැනින් පසුව රට තුළ ඇතිවූ අවාසනාවන්ත තත්වය අපි දන්නවා.
 


පසුගිය කාලය තුළත් ආණ්ඩුවලට බලය ගන්නත්, බලය රැකගන්නත් විවිධ ප්‍රහාර කුමන්ත්‍රණකාරී ලෙස දියත් කළා. පාස්කු ප්‍රහාරය දියත් වූ ආකාරය අපට මතකයි. එහි වගකීම අප මත පටවන්න විශාල උත්සාහයක් ගත්තා. දැන් අවුරුදු දෙක තුනක් ගියාම පාස්කු ප්‍රහාරය රාජපක්ෂවරුන්ට බලයට ඒම සඳහා නිර්මාණය කරන ලද ප්‍රහරයක් බව මුළු රටම දන්නවා. කාදිනල්තුමා පවා එය ප්‍රසිද්ධියේ කියනවා. නමුත් මෙම කුමන්ත්‍රණය ඒ මොහොතේ තේරුම් ගන්න බැරි වුණු අයට එය තේරුම් ගැනීමට වසර දෙක තුනක් ගියා. ඒ වන විට රටට විය හැකි විනාශය සිදුවී හමාරයි.

ඒ නිසා මේ මොහොතේත් සිදුකරමින් යන චෝදනාවල සත්‍යතාවය තව මාස කිහිපයකින් තේරේවි. නමුත් ඒ වන විට රටට තවත් විනාශයක් වී තිබෙන්න පුළුවන්. ඒ නිසා එය මේ මොහොතේම පරාජය කළ යුතුයි. අපට මතකයි පසුගිය දිනවල මිරිහානේදීත් ගැටුමක් සිද්ධ වුණා. එතන බස් රථයක් ගිනි තබනු ලැබුවා. ප්‍රසන්න රණතුංග ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී කිව්වා, ඒ ගිනි තැබීමට ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයි කියලා. නමුත් අද වන තෙක් එය ඔප්පු කර නැහැ. අපට සම්බන්ධ කිසිවෙක් අත්අඩංගුවට ගත්තේ නැහැ. එය කරන ලද කෙනා ඔවුන් සමග සිටින නිසාම අද ඔහුව අත්අඩංගුවට ගන්න මහජන සහාය පතනවා.

මාසෙකට කලින් කියපු බොරුව අතේ පත්තු වී තිබෙද්දී ඔවුන් ආපසු බොරු කියන්න පටන්ගෙන තිබෙනවා.

පසුගිය කාලයේ ආණ්ඩුව විසින් ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් බඩු මිල වැඩිවීම, ආදායම් මාර්ග කඩා වැටීම, ගෑස් පෝලිම්, කිරිපිටි පෝලිම්, ඉන්ධන පෝලිම් ඇතිවීම නිසා විශාල ආණ්ඩු විරෝධයක් ඇති වී තිබෙනවා. අගමැතිට, ජනාධිපතිට, ගෙදර යන්න කියන තැනට එය ප්‍රබලයි. ඔවුන්ට එන ජනතා විරෝධය දරාගන්න බැහැ.

මේ තත්වය තුළ ජනතා විමුක්ති පෙරමුණට දැවැන්ත ජන ප්‍රසාදයක් ගොඩනැගෙන බව ඔවුන් දන්නවා. දැන් ඔවුන්ට අවශ්‍ය වී තිබෙන්නේ තමන්ට එල්ල වී තිබෙන විරෝධය අඩු කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණට ඇති ජනප්‍රසාදය අඩුකරන්නයි. ඔවුන්ට දේශපාලනය මගින් මෙම ජනප්‍රසාදය අඩු කරන්න බැහැ. ඒ නිසා ඔවුන් කුමන්ත්‍රණ කිරීමට උත්සාහ කරනවා.

 
මේ ප්‍රහාරය කුමන්ත්‍රණයක්. 09 වැනිදා මේ මැර කණ්ඩායම් එල්ල කළ ප්‍රහාරය සාර්ථක වූවා නම්, කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්වූවා නම්, උද්ඝෝෂණ කඩාකප්පල් කර දැමුවා නම්, එතැන් සිට ගම්වල ආධිපත්‍යය ගන්නේ මෙම මැර කණ්ඩායම් විසිනුයි. එසේ වූවා නම් ගම්වල කිසිතැනක උද්ඝෝෂණ කරන්න හැකියාවක් ඇතිවන්නේ නැහැ. රට තුළ මැරයන්ගේ පාලනයක් හදනවා.



දේශපාලන භේදයකින් තොරව පොදු ජනතාව මෙම මැර ප්‍රහාරයට එරෙහිව පාරට බැහැපු නිසා ඔවුන්ට මෙම මැර ප්‍රහාරය සාර්ථක කර ගන්න බැරි වුණා.

එතැනදී ඇතිවූ ප්‍රචණ්ඩකාරිත්වය කියන්නේ ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ කෝපය පුපුරා ගිය අවස්ථාවයි. ඒ තුළ යම් අයගේ පුද්ගලික උවමනාකම් පිරිමසා ගැනීම් සිදුවෙන්න ඇති. කොල්ලකෑම් සිදුවෙන්න ඇති. මෙවැනි ගැටුම් ඇතිවූ ඕනෑම මොහොතක මෙවැනි කොල්ල කණ්ඩායම් ඇතිවීම සාමාන්‍ය දෙයක්. එවැනි තත්වයක් ලෙස මෙය තේරුම් නොගෙන මෙය ජනතා විමුක්ති පෙරමුණ මත පටවන්න ආණ්ඩුව උත්සාහ කරනවා.

මෙම ප්‍රහාරය දියත් කරන ලද 09 වැනිදා අරලියගහ මන්දිරයේ සිට පිටත් කරන ලද මැර කණ්ඩායම් වළක්වාලීමට කටයුතු කළේ නැත්තේ ඒ ඇයි දැයි ගැටලු සහගතයි. දැන් ඔවුන් එකිනෙකාට චෝදනා නගමින් සිටිනවා. නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට මෙම චෝදනාව එල්ල වුණා. තමන්ට උඩින් සිටි නිලධාරීන් දෙදෙනෙක් එය නොකරන ලෙසට උපදෙස් දුන් බව ඔහු කියා තිබෙනවා. එසේ නම් නිලධාරීන්, පොලිසිය භාර ඉහළ නිලධාරීන් ඇතුළු ආණ්ඩුව ඊට වගකීම භාරගත යුතුයි.

දැන් සමහරු අත්අඩංගුවට ගත් පිරිස් අතර ජනතා විමුක්ති පෙරමුණේ අය සිටින බව කියනවා. එහෙත් ගෝල්ෆේස් අරගලකරුවන්ට පහර දෙන්න ආ සියලු දෙනා පොදුජන පෙරමුණේ ආධාරකරුවන්. මහින්ද රාජපක්ෂගේ මන්ත්‍රීවරුන්, ඇමතිවරුන්. ඒ නිසා මෙම ප්‍රචණ්ඩත්වයේ පළමුවන වගඋත්තරකරුවන් ඔවුනුයි. මෙහි වගකීම් බාරගත යුත්තේ රාජපක්ෂ ආණ්ඩුවේ අයයි. දහසකට වැඩි පිරිසක් ඊට සම්බන්ධ වුණා.
 
 මෙය රට පුරා පැතිරෙද්දී එය වළක්වාලීමට කටයුතු නොකළේ ඇයි? හදිසි නීතිය පනවා තිබුණා. පසුව ඇඳිරි නීතියත් දැම්මා. හමුදාව පාරට කැඳවා තිබුණා.

හමුදාවට සහ පොලිසියට ප්‍රචණ්ඩකාරිත්වය වැළැක්වීමට බැරි වුණේ ඇයි? මිනිසුන් සාමකාමී විරෝධතා දැක්වූවා. ඔවුන්ට ඊට අයිතියක් තිබෙනවා. ගෙවල් ගිනි තැබීම්, කොල්ලකෑම් වැළැක්වීමට නොහැකි වුණේ ඇයි? ආරක්ෂාව සැපයුවේ නැත්තේ ඇයි? මෙවැනි දර්ශන සමාජ මාධ්‍ය තුළ දකින්නට ලැබුණා. පොලීසිය සහ හමුදාව මෙවැනි ක්‍රියා වැළැක්වීමට කටයුතු නොකර සිටියේ ඔවුන් ජේ.වී.පි. නිසාද?

ආණ්ඩුව දැන් කියනවා නිවෙස්වල තිබූ දේවල් නැතිවෙලා කියලා. රත්තරං, බලුපැටවු නැතිවී ඇති බව කියනවා. මෙය පාලනය නොකිරීමට උපදෙස් දුන්නේ කවුද? ප්‍රචණ්ඩත්වයක් ඇතිවීමට ඉඩහැර, එයින් ඔවුන්ට අනුකම්පාව දිනාගෙන, ජනතා විරෝධය අඩුකරගෙන, ප්‍රචණ්ඩත්වයේ වගකීම ජනතා විමුක්ති පෙරමුණ මත පටවා අපව යටපත් කිරීම සඳහා වූ කුමන්ත්‍රණයක් මෙය තුළ පේනවා.
 

දැන් ඔවුන් ලැයිස්තු මත අත්අඩංගුවට ගනිමින් ඉන්නවා. මේ ලැයිස්තු හදන්නේ රහස් පොලිසියෙන් නොවෙයි. එම ප්‍රදේශවල සිටින ආණ්ඩුවේ ප්‍රාදේශීය දේශපාලකයොයි, මන්ත්‍රීවරුයි. ඔවුන්ට දේශපාලන අභියෝගයක් යැයි සිතන ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ගේ නම් කියමින් ඉන්නවා. ඔවුන් ඊට කිසිදු සම්බන්ධයක් නැති වුණත් පොලිසියෙන් අත්අඩංගුවට ගන්නවා. ඉන්පසු අත්අඩංගුවට ගත් අයගෙන් මෙපමණ ප්‍රමාණයක් ජනතා විමුක්ති පෙරමුණේ බව කියන්න හදනවා.



මේ ලැයිස්තු හදා අත්අඩංගුවට ගැනීම තුළ බරපතළ කුමන්ත්‍රණයක් තිබෙනවා. මේ ක්‍රියාවලිය සැකසහිතයි. එය ප්‍රතික්ෂේප කළ යුතුයි.

මෙවැනි සිදුවීම්වලදී ජනතාව ප්‍රතිචාර දක්වන විධි තිබෙනවා. මාර්ගයක අනතුරක් සිදුවී බරපතළ තුවාල හෝ මරණයක් සිදුවුවහොත් එතනට කඩා වදින මිනිසුන් සිද්ධිය නොවිමසා රියදුරාට පහර දී වාහනයටත් ගිනි තබන අවස්ථා අප දැක තිබෙනවා. ජනතාව මේ ආකාරයට හැසිරෙන සංස්කෘතිය හැදුවෙත් ඔවුන්මයි.

මෙම සිදුවීමේදීත් අරලියගහ මන්දිරයෙන් පිටතට පැමිණි මැරයින් සාමකාමී අරගලකරුවන්ට පහරදෙනු දුටු ජනතාවගේ කෝපය පුපුරා ගියා. ඔවුන් විවිධාකාරයේ හැසිරීම්වල නිරත වුණා. ඇතැම් තැනක බඩු රැගෙන ගිය පිරිස් ඒවා නැවත ගෙනත් දමා තිබුණා. මැදමුලනේ නැතිවූ වටිනා බලුපැටවෙක් පසුව සොයාගෙන තිබුණේ සමගි ජන බලවේගයට සම්බන්ධ නිවසක සිටියදීයි.

මේ සියලු සිදුවීම්වලට සම්බන්ධ පිරිස් පසෙක සිටියදී ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කර ගනිමින් උදේ, දවල්, රෑ මන්තරයක් පරිදි මතුරන්නේ සමස්ත ප්‍රහාරයේ වගකීමෙන් ආණ්ඩුව මිදී එය ජනතා විමුක්ති පෙරමුණ මත පැටවීමටයි.

අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අපේ පක්ෂයේ අනුර සහෝදරයා කතා කරමින් සිටින විට පොලිස්පතිවරයා ඔහුට දැනට අත්අඩංගවේ සිටින හාරසිය ගණනින් එකසිය පනහක් ජනතා විමුක්ති පෙරමුණේ අය බව කියූ බවට ප්‍රකාශයක් කළා. පොලිස්පතිවරයා එසේ කීවේ නම් එය ගැටලු සහගතයි. ඔහු එසේ කියන්නේ කෙසේද? අත්අඩංගුවට ගත් පිරිසේ දේශපාලන තත්වය සොයා ගත්තේ කෙසේද? ඒ නිසා අපි මේ ගැන දැනගන්න පොලිස්පතිවරයා හමුවෙන්න සූදානම්.

පොලිස්පතිවරයා අපට එම ලැයිස්තුව ලබාදිය යුතුයි. එයින් එකසිය පනහක් ජේ.වී.පී. නම් ඉතිරි අය කවුද? ඔවුන්ගේ දේශපාලනය කුමක්ද? ඉතිරි අයගේ දේශපාලනය ගැන නොකියන්නේ ඇයි? ඒ අනුව අපට පැහැදිලියි මෙම සිදුවීම ජනතා විමුක්ති පෙරමුණ මත පැටවීම ඉලක්ක කරගත්ත ක්‍රියාදාමයක් මේ තුළ ඇති බව. අප මේ ඉලක්කම් සියල්ල ප්‍රතික්ෂේප කරනවා.

 අපේ පක්ෂයේ වගකීම් දරන කිසිවෙක් අත්අඩංගුවට ගෙන නැහැ. නමුත් ආණ්ඩුවේ පිරිස් අත්අඩංගුවට ගෙන සිටිනවා. ඇමතිකම් දරන ලද සනත් නිශාන්ත, ආසන සංවිධායකවරුන්, සභාපතිවරුන් අත්අඩංගුවේ පසුවෙනවා.
 

මෙයට පෙර අවස්ථාවලදීද විවිධ සිදුවීම්වලදී එය ජනතා විමුක්ති පෙරමුණට බැරකිරීමට ආණ්ඩුව උත්සාහ කළා. නමුත් අපි ඒවා එතරම් තැකීමකට ලක් කළේ නැහැ. නමුත් මෙම සිදුවීම සම්බන්ධයෙන් අපි බරපතළ ලෙස සිතනවා. මෙය යම් සැලසුමක් සහිතව ප්‍රහාරයක් එල්ල කර, එය ප්‍රචණ්ඩකාරිත්වයට වර්ධනය කර, එය පාලනය නොකර සිට, ඒ මොහොතේ කිසිවෙක් අත්අඩංගුවට නොගෙන සිට, දැන් ලැයිස්තු හදමින්, මත හදමින් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් දඩයම් කිරීමේ දේශපාලන අනතුරක් අපි දකිනවා.
 
 

මේ රට විනාශ කළ රටේ ජනතාව දවස් ගණන් පෝලිම්වල සිටින තත්වයට රටේ ආර්ථිකය විනාශ කළ, වසර 74ක සාපයට වගකිව යුතු මේ කණ්ඩායම් දෙකම එකතු වී එහි වගකීම අප මත පැටවීමට හදනවා. දැන් පවතින්නේ රාජපක්ෂ – රනිල් ආණ්ඩුවක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති රනිල් වික්‍රමසිංහ හවුල් ආණ්ඩුවක් හදාගනිමින් විනාශකාරිත්වයේ වගකීම ජනතා විමුක්ති පෙරමුණ මත පැටවීමට උත්සාහ ගන්නවා.

මේ කාගේත් සැබෑ සතුරා බවට අප පත්වී ඇති බව පේනවා. මෙයට අපි කලබල නොවන්නේ දැන් ඔවුන්ට ඇති අභියෝගය ජනතා විමුක්ති පෙරමුණ බව ඔවුන් පෙන්වමින් සිටින නිසයි. අපි ජනතාවට කියා සිටින්නේ ජ.වි.පෙ.ට එරෙහිව එල්ල කරන චෝදනා මුළුමනින්ම අසත්‍ය ඒවා වන බවයි. ඒවා පිළිනොගන්නා ලෙසයි. මේ ප්‍රහාරයන්ට ජනතා විමුක්ති පෙරමුණේ කිසිදු සම්බන්ධයක් නැති බව අපි ඉතා විශ්වාසයෙන් හා වගකීමෙන් කියනවා.

ජනතාව, ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයා අඳුරනවා. ඔහු බිමේ වැඩකරන්නේ කොහොමද කියා ඔවුන් දන්නවා. ඔවුන් කිසිවෙක් මේ ක්‍රියාවලට සම්බන්ධ නැති බව ජනතාව දන්නවා. අප මත පැටවීමට උත්සාහ කරන මෙම කුමන්ත්‍රණයේ වගකීම අප ප්‍රතික්ෂේප කරන බවත් එම වගකීම ආණ්ඩුවේ මැර කණ්ඩායම් විසින් බාරගත යුතු බවත් අපි අවධාරණය කරනවා. ඒ වගේම ආණ්ඩුවේ කුමන්ත්‍රණයට සහ වැරදි ප්‍රචාරයන්ට හසු නොවන ලෙසත් අපි ජනතාවගෙන් ඉල්ලනවා.”

 

 

 


 

 

Leader Whats app

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්