''මේ වෛරය මෙතනින් අවසන් කරන්න. වෛරයෙන් සිදුවන්නේ රටක් විනාශ වෙන එක. ජනතාවගේ ජීවිත, දේපල විනාශ වෙන එක.''  හිටපු රාජ්‍ය අමාත්‍ය

නිමල් ලාන්සා පැවසිය.

ඔහු එබව පැවසුයේ, ගිනි තබා විනාශ කර දමා තිබු මීගමුව පිහිටි සිය නිවසට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

''කාට හරි වෛරයක් තිබුණ නම් අපේ දේවල් විනාශ කරන්න මේ සිද්ධියෙන් පසු ඒ වෛරය අවසන් කර ගත්තොත් හොදයි. මොකද මේ වෛරය තවත් කෙනෙක්ගේ ජීවිත හානි කරන්න, දේපල විනාශ කරන්න, මංකොල්ලකන්න මේක යොදා ගන්න එපා. මේ වෛරය මෙතනින් අවසන් කරන්න. වෛරයෙන් සිදුවන්නේ රටක් විනාශ වෙන එක. ජනතාවගේ ජීවිත, දේපල විනාශ වෙන එක. '' ඔහු එහිදී සඳහන් කළේය.

 

ප්‍රචණ්ඩත්වයෙන් හා වෛරයෙන් මිදී වැටී ඇති රට ගොඩගැනීමට මිලියන 22 ක ජනතාව එකාමෙන් එකතු විය යුතු බව හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා පවසයි. රට ගොඩගන්න අලුත් අගමැතිට හා කැබිනට් මණ්ඩලයට කොන්දේසි විරහිතව උදව් කරන්නැයි ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මෙසේද සඳහන් කළේය.


තරුණ මනස ප්‍රචණ්ඩත්වයට යොමු කරලා...


"යම් කිසි පිරිසක් සංවිධානාත්මකව තරුණ මනස ප්‍රචණ්ඩත්වයට යොමු කරලා සිද්ධ වුන දෙයක්. මෙවැනි විනාශයක් වෙන්න නම් පෙට්‍රල් බෝම්බ ගහන්න ඕනේ. පෙට්‍රල් බෝම්බ ගහන්න බැහැ සාමන්‍ය අයට. එවැනි දෙයක් කරන්න කලින් සැලසුම් කරලා තියෙන්න ඕනේ.

නිවසක් ගිනි තියෙනවා කියන්නේ බිත්ති හතරකට ගිනි තියනවා විතරක් නෙමේ. පැල්පතක් වේවා, ඕනෑම නිවසක් ඉදිකරන්නේ පවුලේ අය එකතුවෙලා ඉතාමත් ආදරයෙන් හදන කැදැල්ලක්. ඒ නිවස තුළ ආදරය, බැදීම, සිහිවටන, ජීවිත කාලයම උපයපු දේවල් මේ හැම දෙයක්ම එක රැයින් විනාශ කරලා තියෙන්නෙ.

මීගමුව විතරක් නෙමේ ලංකාව පුරා හැම වෙලාවෙම කරන්න පුළුවන් හැම උදව්වක්ම කරපු කෙනෙක් හැටියට, ජනතාව එක්ක හිටපු කෙනෙක් විදියට මේ විනාශය දැක්කම හිතට විශාල දුකක් ඇතිවුනා.

නමුත් ඒ දුක වේදනාව අවම කරගන්න ඕනේ. මොකද අපි ඉපදෙනකොට මුකුත් අරන් එන්නෙත් නැහැ, මැරෙනකොට මුකුත් අරන් යන්නෙත් නැහැ. ඒ සත්‍ය අපි දන්නවා. සියලුම දේවල් විනාශ වෙලා ඉවරයි.

 මේ සිද්ධිය වුන දවසේ ඉදන් විශාල පිරිසක් ලංකාවේ වගේම, ලංකාවෙන් බැහැර පිරිස කතා කරලා ශක්තිය, ධෛර්යය ලබාදීම පිළිබඳව ඒ සියලු දෙනාට ස්තූති කරනවා.

 

''අපි සියලු දෙනා එකතුවෙලා මේ රට ගොඩනගන්න ඕනේ. රටේ ආර්ථිකය වැටිලා තියෙන්නේ. ආර්ථිකය ගොඩගන්න නම් සියලු දෙනා එකතු වෙන්න ඕනේ. අපේ රටේ ආර්ථිකය වැටිලා කියලා ලෝකය පිළිඅරන් තියෙනවා. ඒ නිසා ලෝකයේ රටවල්, විවිධ සංවිධාන අපට උදව් කරනවා. හැබැයි ලංකාවේ සමහර අය මේක තේරුම් අරන් නැහැ. ''

 

ඉන්දියාවේ ජනතාව ඒ අයගේ ආධාර අපේ රටට එවනවා. ඒ රටවල මිනිස්සු ඒක තෙරුම් අරන් තියෙනවා. හැබැයි අපේ රටේ මිනිස්සු ඒක තේරුම් අරන් නැති නිසා තමා අරගල කරන්නේ. උද්ඝෝෂණ කරන්නේ, පාරවල් වහලා ජනතාවට ප්‍රශ්න ඇති වන විදියට කටයුතු කරන්නේ.

අපිට තනියම මේක ගොඩගන්න බැහැ. අපි සියලු දෙනා එකතුවෙලා ගොඩගන්න ඕනේ.

මොකද අපිට තියෙන්නෙ විදේශ විනිමය පිළිබද ගැටලුවක්. විදේශ විනිමය ලැබෙන්න නම් ආයෝජකයෝ එන්න ඕනේ. සංචාරකයෝ එන්න ඕනේ. ඒ සඳහා රටේ සාමාන්‍ය වාතාවරණයක් තියෙන්න ඕනේ. මගේ දේවල් විනාශ වුනත් ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටින්නෙ අපි සියලු දෙනා එකතුවලා එකා මෙන් දුක් විදින ජනතාවගේ ගැටලු විසදන්න කටයුතු කරන්න කියලා.

 

මේ සිද්ධිවලට මේ අවස්ථාවේ කිසිදු කෙනෙකුට ඇගිල්ල දික් කරන්න යන්නෙ නැහැ. පොලිසීය, නීතී අංශ, ආරක්ෂක අංශ සොයාගෙන යනවා සිද්ධිය පිටිපස්සේ ඉන්නෙ කවුද කියලා. හැබැයි යම් කිසි සංවිධායක් සිටිය යුතුමයි.

 

මොකද මේක සැලසුම් සහගතව සිදුවුනු දෙයක් කියලා තමා දැකපු අය පවා කියන්නේ. සාමාන්‍ය අය පෙට්‍රල් බෝම්බ ගෙනල්ලා ගහන්නේ නැහැ කාමරෙන් කාමරේට. මංකොල්ල කන්නේ නැහැ මේ විදියට. සාමාන්‍ය මිනිස්සුන්ට මේ දේවල් කරන්න බැහැ. යම් කිසි සංවිධානයක් ඉන්නවා. ඒ සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් හා සමානව තරුණ අයගේ මනස විකෘති කරලා තියෙනවා. ඒනිසා අපිට වගකීමක් තියෙනවා මේ තරුණ ප්‍රජාව බේරගන්න.

පාස්කු ප්‍රහාරයේදීත් මනස විකෘති කරලා ඒ අය මරාගෙන මැරුණේ. කතෝලික මිනිස්සු මැරෙන්න කටයුතු කළේ ඒ අය. මනස විකෘති කරලා තියෙන තරුණ ප්‍රජාව බේරගෙන යම් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න අපි සියලු දෙනාට වගකීමක් තියෙනවා.මේ විනාශයන්ට, මේ මංකොල්ලකෑමට සාධාරණ පරීක්ෂණයක් කරන්න කියලා ඉල්ලා සිටිනවා. කමිටුවක් දාන්න කියලා. සාධාරණ පරීක්ෂණයක් කරන්න කියලා හැර වෙනත් කිසිම දෙයක් අපි ඉල්ලලා නැහැ.''

 

ඔය විනාශයන් කරපු අයගෙන් මම ඉල්ලා සිටිනවා නැවත සිතා බලන්න. ඔබලාගේ ගේ විනාශ කළොත්, මංකොල්ල කෑවොත් එයාලට දැනෙන හැගීම මොකක්ද?. ඒ නිසා මේ ප්‍රශ්න ව්‍යවස්ථානූකූලව විසදන්න ජනතාව අවස්ථාවක් දෙන්න ඕනේ. පාර වහලා, දුම්රිය මාර්ග වහලා මේක විසදන්න බැහැ. එහෙම ගියොත් රට තවත් අන්ත අසරණ වෙනවා. මේ රට ගොඩගන්න සාමාකාමී වෙන්න ඕනේ.

 

225 ට බැනලා වැඩක් නැහැ. සියලු දෙනා එකතු වෙන්න ඕනේ. වැටිලා තියෙන රට ගොඩගන්න අපි උත්සහ කරමු.

රට ගොඩනගන්න පුළුවන්. රට ගොඩනගන්න නම් මිලියන 22 ක් ජනතාව එකතු වෙන්න ඕනේ. මට  විතරක් රට ගොඩනගන්න බැහැ. එකතු වෙන්නෙ නැතිව කකුලෙන් අදිනවනම්, වට්ටන්න හදනවනම්, උදේ ඉදන් ලියන්නේ නරක අදහස්නම් රට ගොඩගන්න බැහැ.

 ඉන්දියාවේ දුප්පත් මිනිස්සු, අපිට වඩා දුප්පත් මිනිස්සු එකතු කරපු ආධාර අද අපිට එවනවා. අපේ රටේ මිනිස්සු මේකට දායකත්වය දක්වන්න ඕනේ. මගේ අදහස රටේ ජනතාවගෙ ගැටලු විසදන්න අපි සියලු දෙනා කැපකරන්න ඕනේ.

 

රට ගොඩනගන්න කොන්දේසි විරහිතව සහය දෙනවා. ඒ වගේම සියලු දේශපාලන පක්ෂ වලින් ඉල්ලා සිටිනවා කොන්දේසි විරහිතව අඩුම අවුරුද්දක් සහය දක්වන්න කියලා. වැටිලා තියෙන රට ගොඩගන්න.  කාට කාටත් ඇගිල්ල දික් කරන්න පුළුවන්. දොස් කියන්න පුළුවන්. බනින්න පුළුවන්. හැබැයි තමන්ගෙ වගකීම ඉටු කරන්න.

 

අරගලය වුනත් ව්‍යවස්ථානූකූලව, ප්‍රජාතන්වාදීව කරන්න කියලා රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.  විශේෂයෙන් ව්‍යාපාරික ස්ථාන ගිනි තිබ්මම, මංකොල්ල කෑමෙන් මොකද වුනේ. ඒ අයගේ රැකියා නැතිවෙලා. මීගමුව විතරක් රැකියා 1500 ක් විතර නැතිවෙලා. ඒ අයට, ඒ අයගෙන් යැපෙන අයට කන්න දෙන්නෙ කවුද?  

ඒ නිසා තරුණ ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ ප්‍රචණ්ඩත්වයට යන්න එපා. රට ගොඩනගන්න එකතු වෙන්න.''

{gallery}lanzatorchedhouse{/gallery}

 
 

Leader Whats app

  

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්