විධායක ජනාධිපති ධූරයේ බලතල අඩුකොට ඒවා පාර්ලිමේන්තුවට පැවරීම සම්බන්ධයෙන් වූ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධන පනත් කෙටුම්පතට ජනාධිපතිවරයා බාධා කරන බවට පලවන වාර්තා මුළුමනින්ම අසත්‍යබව අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ පැවසිය.

ඔහු එබව කියා සිටියේ, 21 වැනි සංශෝධනය ජනපති අණින් අත්හිටුවීමට තීරණය කර ඇතැයි ඇතැම් සමාජ මාධ්‍යවල පලවී ඇති වාර්තා සම්බන්ධයෙන් අප කල විමසීමකදීය.

''21 වන සංශෝධන කෙටුම්පත කැබිනට් එකට දාන්න ඉස්සෙල්ල,  ඒ  ගැන දැනුවත් කරන්නැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙන් ඉල්ලිමක් තියනවා. ඒ නිසා කැබිනට් අනුමැතිය ගන්න එක සතියකට කල් දාන්න තීන්දු කළා. මේ ව්‍යවස්ථා සංශෝධනයට ජනාධිපතිතුමා විරුද්ධයි කියන කතාව පදනම් විරහිතයි. එතුමා තමයි මේ ව්‍යවස්ථා සංශෝධය ගෙන කියලා කිව්වේ..'' යයි අධිකරණ අමාත්‍යවරයා කියා සිටියේය.

අමාත්‍යවරයා පැවසුවේ, ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට නොහැකි වන ආකාරයේ සංශෝධනයක් මිට ඇතුළත් කරන බවය.

මීට අමතරව දැනට ක්‍රියාත්මක ස්වාධීන කොමිෂන් සභාවලට අමතරව ජාතික විගණන කොමිසම සහ ප්‍රසම්පාදන කොමිසම, ස්වාධීන කොමිෂන් සභා ලෙස සංශෝධනයට ඇතුළත් කිරීමට නියමිතය.

දැනට ක්‍රියාත්මක ‍කොමිෂන් සභාවල බලතල තවදුරටත් වර්ධනය කරමින් ස්වාධීන සහ ශක්තිමත් කිරීමට 21 වන ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුලින් අපේක්ෂා කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂසඳහන් කළේ ය.

අමාත්‍යවරයා පැවසුවේ, මහ බැංකු අධිපතිවරයා පත් කිරීමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යටතට පත් කිරීමට නව සශෝධනයෙන් යෝජනා කර ඇති බවය.


තීන්දුවක් ගන්නවා - පොදුජන පෙරමුණ ලේකම්

යහපාලන රජය යටතේ අසාර්ථක වූ 19 වැනි ව්‍යවස්ථා සං‍ශෝධනයේ අඩංගු කාරණා එලෙසම අභිනවයෙන් ගෙන එන 21 වැනි සංශෝධනයේත් අන්තර්ගත වන්නේ නම් ඒ ගැන වෙනම තීන්දුවක් ගැනීමට සිය පක්ෂයට සිදුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පැවසීය.

කෙසේ වෙතත් නව ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළ පසු ඒ ගැන වෙනම සාකච්ඡා කර සිය තීරණය රටට දන්වන්නේ යැයි ද ඔහු සඳහන් කළේය.

විධායක ජනාධිපති ධූරයේ බලතල අඩුකොට ඒවා පාර්ලිමේන්තුවට පැවරීම සම්බන්ධයෙන් සිය පක්ෂයේ විරෝධයක් නැතැයි ලේකම්වරයා කීය.

එසේම වත්මන් රජය රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමට ගෙන එන ඕනෑම යහපත් කටයුත්තකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහාය දෙන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

 

 
 

Leader Whats app

  

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image