අරලියගහ මන්දිරය ඉදිරිපිට 'මයිනා ගෝ ගම' හා ගාලුමුවදොර 'ගෝඨා ගෝ හෝම්' අරගල භුමියේ සාමකාමී විරෝධතාවයක

නිරතව සිටි විරෝධතාකරුවන්ට හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ සමීප හිතවතුන් පිරිසක් එල්ලකළ අමානුෂික ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා හා බස්නාහිර පළාත් භාර ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇති ප්‍රකාශ එකිනෙකට පරස්පරබව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

මැයි 09 අපරාධය වැලැක්වීම සඳහා පොලිස්පතිවරයා ලෙස තමා විසින් ලබා දුන් නියෝග, බස්නාහිර පළාත් භාර ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්කෝන් විසින් පිළිපැද නැති බවට පොලිස්පති ඩී.සී. වික්‍රමරත්න ඊයේ (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් කටඋත්තරයේ සඳහන් බව වාර්තා වේ. 


08 වැනිදා ලැබුණු බුද්ධි වාර්තා මත පදනම්ව, අරලියගහ මන්දිරයෙන් එන උද්ඝෝෂණකරුවන්ට  කිසිම හේතුවක් මත කිසිම පාරක ගමන් කිරීමට ඉඩ දීම වලක්වන ලෙස බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත ලිඛිතව හා වාචිකව දැන්වූ බවත්, එසේ දන්වනු ලැබුවේ එම බුද්ධි වාර්තාවේ පිටපතක් ද සහිතව බවත් පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා ඇතැයි වාර්තාවේ.


පවතින තත්ත්වය තුළ ගෝල්ෆේස් වෙත නොව, පීඩාවට පත් වූ ජනතාව වෙසෙන රටේ කිසිම මාර්ගයක මේ උද්ඝෝෂකයින් ගමන් කිරීම ගැටුමකට තුඩු දිය හැකි බව මැයි 08 දා සවස ලැබුණු  බුද්ධි වාර්තාවෙන් අවධාරණය කර තිබු බව පොලිස්පතිවරයා සඳහන් කර ඇතැයි ද පැවසේ.

ඒ තත්තවය තුළ අරලියගහ මන්දිරයෙන් පිට උද්ඝෝෂණකයින් ගමන් ගන්නා මාර්ග සියල්ල මාර්ග බාධක දමා වසා දමා පොලිස් ආරක්ෂාව තර කරන ලෙස  තමා ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්කෝන්ට වාචිකව උපදෙස් දුන් බවක් ද පොලිස්පතිවරයා පවසා ඇතැයි වාර්තාවේ.
 

එහෙත් 09 වැනිදා උදෑසන සිට බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් උත්සාහ දරා ඇත්තේ තමාගේ නියෝග නොතකා විවිධ දේශපාලකයින්ගේ නම් ප්‍රකාශ කරමින්, උද්ඝෝෂකයින් ගෝල්ෆේස් පිටිය වෙත ගමන් කරවීමට ඉඩ සැලැසීම බව පොලිස්පතිගේ ප්‍රකාශයෙන් පෙනී යන්නේ යැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.


සාමාන්‍ය කුඩා පෙළපාළියක් සංවිධානය වනවිටම රාජකාරි ක්‍රමවේදය අනුව එම බලප්‍රදේශ ආවරණය කරන පොලිස් ස්ථාන අධිකරණ නියෝග රැගෙන මාර්ග බාධක දමා පෙළපාළිය අවහිර කිරීමට උත්සාහ කළත්, මේ අවස්ථාව වැලැක්වීම සඳහා එවැනි කිසිම පියවරක් ගෙන නොතිබුණු බවත්, එවැනි මූලික පියවර සඳහා පොලිස්පතිවරයා අණ දිය යුතු නැති බවත් පොලිස්පතිවරයා පෙන්වා දී ඇතැයි ද අනාවරණය වේ.

එමෙන්ම  09 වැනිදා උදෑසන පොලිස් ප්‍රධානීන්ගේ සූම් රැස්වීමේ දී මෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, කොළඹ ආරක්ෂාව භාරව සිටින සියලුම උසස් පොලිස් නිලධාරීන් අමතමින් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර තම නියෝගයෙන් පිට එල්ල නොකළ යුතු බවට දැඩිව අවධාරණය කර ඇති බව වාර්තාවේ.

සාමාන්‍යයෙන් කඳුළු ගෑස් හෝ වතුර ප්‍රහාර එල්ල කරන්නේ මාර්ග බාධක දෙකක් දැමීමෙන් පසු එම බාධක බිඳගෙන එන විරෝධතා කරුවන් විසුරුවා හැරීමට වුවත් මාර්ග බාධක නොදමා, උද්ඝෝෂකයින් වැලැක්වීමට සාධනීය මැදිහත් වීමක් නොකර කඳුළු ගෑස් හා ජල ප්‍රහාර අයාලේ එල්ල කිරීම ගැන තොරතුරු ලැබෙමින් ඇතැයි ද පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග වලින් වාර්තාවේ.


දේශබන්දු තෙන්නකෝන් කියපු කතාව !

කෙසේවුවද, බස්නාහිර පළාත් භාර ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇති ප්‍රකාශය පොලිස්පතිවරයාගේ ප්‍රකාශයට මුළුමනින්ම පරස්පරවේ.

පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග වලට අනුව, මැයි 09 දා 12.35ට පමණ කොළඹ මධ්‍යම කොට්ඨාශ බාර ජේෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත චන්ද්‍රසේකරට දුරකථන ඇමතුමක් ලබාදී ඇති පොලිස්පතිවරයා, '' අගමැතිතුමාගේ මිනිස්සුන්ට මොනම හේතුවක් නිසාවත් කඳුළු ගෑස් හෝ ජන ප්‍රහාර එල්ල නොකරන්නැයි'' නියෝගකර තිබේ.

 
එසේම, එදින 12.40ට පමණ තමාට දුරකථන ඇමතුමක් ලබාදුන් පොලිස්පතිවරයා, ''ඔය අයියලා මල්ලිලාගේ ප්‍රශ්නවලට අතදාලා නිකන් අමාරුවේ වැටෙන්න එපා ..'' යයි තමාට කියා සිටි බව ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිය කටඋත්තරයේ පැහැදිලිව සඳහන් කර ඇතැයි ද වාර්තවේ.
 

හිටපු අගමැතිවරයාගේ ආධාරකරුවන්ට කඳුළු ගෑස් හෝ ජන ප්‍රහාර එල්ල නොකරන්නැයි ද පොලිස්පතිවරයා දැඩි ලෙස නියෝගකර සිටි බවද දේශබන්ධු තෙන්නකෝන් සිය කට උත්තරයේ සඳහන් කර ඇතැයි පැවසේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් පැවැත්වේ.

 


 

Leader Whats app

  

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්