සීමා මායිම් පැන ලංකා මුහුදේ මසුන් කොල්ල කන ඉන්දීය ධීවරයන් නවතා නොදැම්මොත්

දේශපාලනඥයන්ගේ නිවාස හා කාර්යාල වටලන බවට උතුරේ ධීවර සංගම් අනතුරු අඟවා තිබේ.

''තමිල්නාඩු ධීවරයෝ ඇවිත් අපේ මුහුදේ මාළු අල්ලන් යන එක නවත්වන්න කියලා අපි ආණ්ඩුකාරයාට කිව්වා. දිස්ත්‍රික් ලේකම්ට කිව්වා. ධීවර දෙපාර්තුමේන්තුවේ නිලධාරීන්ට කිව්වා. ඒත් කිසිම පලක් වුනේ නැහැ,'' යැයි යාපනය දිස්ත්‍රික් ධීවර සමුපකාර සමිති සම්මේලනයේ නායක අන්නලිංගම් අන්නරාසා පවසයි.

යාපන අර්ධද්වීපයේ මාධ්‍යවේදීන් හමුවේ අන්නරාසා චෝදනා කරන්නේ මෙම ප්‍රශ්නය කෙරෙහි උතුරු පළාත නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිසිදු අවධානයක් යොමු නොකරන බවයි.

මැයි දිනයට කොළඹ පැමිණි ඉන්දීය පාලක භාරතීය ජනතා පක්ෂයේ තමිල්නාඩු ප්‍රාන්ත නායක කේ අන්නාමලේ හමුවූ දෙමළ පක්‍ෂ නායකයන් කිසිවකුත්  අනවසර ඉන්දීය ධීවරයන්ගේ ගැටලුව ගැන කතා නොකළ බවටද ධීවර සංගම් නායක අන්නරාසා දෝෂාරෝපණය කරයි.


ලංකා නාවික හමුදා මගින් 2018 සිට 2022 දක්වා කාලයෙදී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර බෝට්ටු නිදහස් කරන ලෙස ඉල්ලා සත්‍යග්‍රහ ව්‍යාපාරයක් ඉකුත් සති අන්තයේදී තමිල්නාඩුවේ දී පැවැත්විණි. රාමේශ්වරම්, රාමනාදන්පුරම්, තන්ගච්චි මඩම්, සහ කාරෙත්කලේ ප්‍රදේශවල ධීවර සමිති සංවිධානය කරනු ලැබූ මෙම සත්‍යග්‍රහයේදී ධීවරයන් කියා සිටියේ තම ඉල්ලීම් වලට ඉන්දීය මධ්‍යම හා තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව කන් නොදෙන්නේ නම් අඛණ්ඩව උද්ඝෝෂණය කරන බවයි.



තමිල්නාඩු ධීවරයන්ගේ සත්‍යග්‍රහය දැඩි ලෙස විවේචනය කරන යාපනය දිස්ත්‍රික් ධීවර සමුපකාර සමිති සම්මේලනයේ නායක අන්නරාසා පවසන්නේ උතුරේ ධීවරයන්ගේ බෝට්ටු ඉන්දියාවේ අත්අඩංගුවේ තබා ගනිමින් ඔවුන්ගේ ඒවා පමණක් නිදහස් කිරීමට ඉල්ලීම සාධාරණ නොවන බවකි.

''මේ ඉන්දීය ධීවරයන්ගේ මෙහෙ රඳවා ගෙන ඉන්නේ උසාවි නියෝග වලින්. ඒවා නිදහස් කරන්න කියලා ඉල්ලන එක අපේ උසාවි නියෝග වලට පටහැනියි.''

''ඉන්දීය ට්‍රෝලර් බෝට්ටු නිසා අපේ ධීවර රස්සාව දුෂ්කර වෙලා තියෙන්නේ. තමිල්නාඩු ධීවර බෝට්ටු 2000 ක් විතර ඇවිත් උතුරේ පවුල් පනස් දාහක ලක්‍ෂ දෙකක් විතර සාමාජිකයන්ට තමන්ගේ ජීවනෝපාය නැති කරනවා.''

ඉන්දීය ආණ්ඩුවට හෝ තමිල්නාඩු දෙමළ ජනයාට තමන් විරුද්ධ නොවන බව පවසන අන්නරාසා අවධාරණය කරනුයේ ඉන්දීය ආණ්ඩුව හා තමිල්නාඩු ධීවරයන් උතුරේ ධීවරයන්ගේ ගැටළුව ගැන සාධාරණව කල්පනා කළයුතු බවයි.

''ආර්ථික පීඩනයේ ඉන්න ලංකාවේ දෙමළ ජනතාවට බඩු මුට්ටු එවපු එක ගැන අපි තමිල්නාඩු මහ ඇමැතිට, ජනතාවට ස්තුති කරනවා. ඒත් අපේ ප්‍රශ්නෙට විසදුමක් ඕනෑ. ආර්ථික පසුබෑම යොදා ගෙන අපේ ප්‍රශ්න යට ගහන්න දෙන්න බැහැ.''

''ඉන්දීය ධීවරයන්ට පනවා ඇති තහනම ජුනි 16 වැනිදායින් පස්සේ අවසන් වෙනවා. ඊට පස්සේ අපේ මුහුදේ මාළු බාන්න එන ඉන්දීය ධිවරයන්ව පාලනය කරන්න තමිල්නාඩු මහ ඇමැති මැදිහත් වෙන්න ඕනෑ.'' 

 

 

Leader Whats app

  

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්