සති හයක් ඇතුළත අතුරු අය-වැයක් ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබේ.



ඔහු එබව සඳහන් කර ඇත්තේ, ඊයේ (මැයි 24) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී රොයිටර්ස් පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ය.

ඒ අනුව, ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ජනතාවට දෙවසරක කාලයක් සහන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සොයා ගැනීමට යටිතල පහසුකම් ව්‍යාපෘති නතර කරන බව අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

අර්බුදය විසඳීමට රජය කටයුතු කිරීමේදී උද්ධමනය මෙන් ම ජන විරෝධතා ද ඉහළ යා හැකි බව ඔහු සඳහන් කර තිබේ.

 

“ඉදිරි දුෂ්කර කාලය දෙස බැලීමේදී විරෝධතා තිබිය යුතුයි. මිනිසුන් දුක් විඳින විට ඔවුන් විරෝධතා දැක්විය යුතුයි, ඒක ස්වාභාවිකයි,” අග්‍රාමාත්‍යවරයා පවසා ඇත. “නමුත් ඉන් දේශපාලන ක්‍රමය අස්ථාවර නොවන බවට සහතික වීමට අපට අවශ්‍යයි,” ඔහු තවදුරටත් ප්‍රකාශ කර තිබේ.

 

අතුරු අයවැය මගින් වියදම් සහමුලින් ම කපා හැර ඒවා සුබ සාධන කටයුතු සඳහා යොදාගත ගන්න බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.

“අපිට රුපියල් ආදායමක් නැහැ. අපිට දැන් තවත් රුපියල් ට්‍රිලියනයක් මුද්‍රණය කිරීමට සිදුවෙලා තියෙන්නේ,” අග්‍රාමාත්‍යවරයා පවසයි.


''උද්ධමනය 40% ඉක්මවා යා හැකියි''



ඉදිරි මාසවලදී වාර්ෂික උද්ධමනය 40% ඉක්මවා යා හැකි බවට අනතුරු ඇඟවා ඇති අග්‍රාමාත්‍යවරයා, දැනටමත් ඉහළ මිල ගණන් සමග පොරබදමින් සිටින මෙරට ජනතාව තවදුරටත් පීඩාවට පත්විය හැකි බවට ද අනතුරු අඟවා තිබේ.

සඳුදා (මැයි 23) නිකුත් කරන ලද රජයේ දත්ත වලට අනුව මෙරට උද්ධමනය මාර්තු මාසයේ 21.5%ට සාපේක්ෂව අප්‍රේල් මාසයේදී වාර්ෂිකව 33.8% දක්වා වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර ඇත.

අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, සහන කටයුතුවලට මුදල් සොයා ගැනීම සඳහා රාජ්‍ය අංශය හරහා සිදු කළ හැකි වියදම් කප්පාදුව පිළිබඳ සමාලෝචනයක් සිදු කරන බව ය.

“උදාහරණයක් ලෙස, සෞඛ්‍ය අමාත්‍යංශය, අපට එහි වියදම් අඩු කළ නොහැකයි. අධ්‍යාපන අමාත්‍යංශය, එහි සීමිත කප්පාදුවක් සිදු කළ හැකියි. නමුත් අපට වියදම් කප්පාදු කළ හැකි තවත් බොහෝ අමාත්‍යංශ තියෙනවා,” ඔහු ප්‍රකාශ කර ඇත.

 

අස්වනු අහිමි කළ රසායනික පොහොර ආනයනය නතර කිරීමට පසුගිය වසරේ ගත් විනාශකාරී තීරණය හේතුවෙන් අගෝස්තු මාසයේ සිට ඇති විය හැකි ආහාර හිඟය ගැන කනස්සල්ලට පත්ව සිටින ශ්‍රී ලංකාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයා ගැනීම සඳහා මිත්‍ර පාර්ශ්වවලින් සහ බහුපාර්ශ්වික ආයතනවලින් විදේශ ආධාර ලබා ගනිමින් සිටින බව ද එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබේ.

 

“ප්‍රමාණවත් ආහාර සංචිත ඇති බවට සහතික කර ගැනීම සඳහා විදේශයන්හි සිටින අපගේ මිතුරන්ගෙන් යම් උපකාරයක් ලබා ගැනීමට අපට සිදු වනවා. අපට තවත් සහල් අවශ්‍ය යි.”

බීජිං නුවරින් පොහොර සහ ඖෂධ ලබා ගැනීම සඳහා ලබන සතියේ ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා හමුවීමට බොහෝ දුරට ඉඩ ඇති බව අග්‍රාමාත්‍යවරයා එම සම්මුඛ සාකච්ඡාවේදී වැඩිදුරටත් ප්‍රකාශ කළ බව රොයිටර්ස් පුවත් සේවය සඳහන් කර ඇත.

 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (25) පෙරවරුවේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නේ ය.




Leader Whats app

  

 

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්