රටේ සහල් සංචිතය ඉදිරි මාස දෙකෙන් පසු සම්පූර්ණයෙන් ම හිෙඳන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පවසයි.
ඔහු එබව සඳහන් කර ඇත්තේ 'මව්බිම' පුවත්පතට ප්‍රකාශයක් ලබාදෙමිනි.
ඔහු පවසන්නේ, මේ වන විටත් සහල් සංචිත ඉතා ඉක්මනින් ක්ෂය වෙමින් පවතින බව ය.
විශේෂයෙන් ම වසරකට මෙරටට වී මෙට්‍රික් ටොන් ලක්ෂ 37ක් අවශ්‍ය බවට ගණනය කර ඇති නමුත් මහ කන්නයේදී නිෂ්පාදනය කර ඇත්තේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 15ක් පමණක් බවත් පොහොර අර්බුදයේදී යල කන්නයේ වී නිෂ්පාදනය සිහිනයක් බවත් කරුණාරත්න පෙන්වා දෙයි. ඒ අනුව, මුළු අවුරුද්දට ම වී මෙට්‍රික් ටොන් ලක්ෂ 37ක් වෙනුවට ලක්ෂ 20ක් වත් සම්පූර්ණ නොවීම බරපතළ ගැටලුවක් බව ඔහු සඳහන් කරයි.
පිටරටින් සහල් ආනයනය කරන්නේ නම්, දැනට ඇති ඩොලරයේ අගයට සාපේක්ෂව මීට කලින් වියදම් කළා මෙන් හතර ගුණයකින් ඩොලර් වියදම් කිරීමට සිදුවන බවත් රටේ ඩොලර් නොමැතිකම මත කන බොන කාරණය ඊට සම්පූර්ණයෙන් ම බලපෑ විට රටේ බරපතළ ම අර්බුදය ඉන් ආරම්භ වන බවත් ඔහු කියා සිටියි.
විශේෂයෙන් ම පොහොර දෙන බවට ආණ්ඩුව කටින් බතල හිටෙව්වත් යල කන්නට අවශ්‍ය පොහොර මෙතෙක් දීමට කටයුතු කර නොමැති තත්ත්වය තුළ ආහාර ප්‍රශ්නයට කිසිදු විසඳුමක් ගත නොහැකි බව ද නාමල් කරුණාරත්න වැඩිදුරටත් පවසයි.
“ජූනිවලින් පසු කන්න නැතිව දරුවන්ට මන්දපෝෂණය හැදෙයි” -කෘෂිකර්ම ඇමති
මේ අතර කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර පවසන්නේ, වැව්, අමුණු මෙන් ම කුඹුරු යායවල් මේ වන විට ජලයෙන් පිරී පැවැතියත් යල කන්නයේ වී වගාව අරඹා තිබෙන්නේ සියයට 45ක වපසරියක් පමණක් බවයි.
වී වගාවට අවශ්‍ය පොහොර හිඟයත්, වල්නාශක හා කෘමි නාශක, රසායන වෙළෙඳපොළේ නොමැති වීමත් හේතුවෙන් ගොවීන් යල කන්නයේ වී වගා කිරීම අත්හැර දමා ඇතැයි ද ඇමතිවරයා පෙන්වා දෙයි.
මේ හේතුව නිසා මේ වසරේදී රටේ විශාල හාල් හිඟයක් ඇතිවීමට ඉඩ තිබෙන බවත් ඒ අනුව මේ වසර තුළ පරිභෝජනය සඳහා හාල් මෙට්‍රික් ටොන් අට ලක්ෂයක් පමණ ආනයනය කිරීමට සිදුවන බවත් එසේ ආනයන කරන හාල් කිලෝවක් රුපියල් 200කට වැඩි මිලකට අලෙවි කිරීමට සිදුවන බව ත් ඇමතිවරයා පෙන්වා දෙයි.
ජූනි මාසය වන විට රටේ ඇති විය හැකි ආහාර හිඟය නිසා බොහෝ දරුවන් මන්දපෝෂණයෙන් පෙළිය හැකි බවත් එසේ ම මවුවරුන් ද එවැනි තත්ත්වයකට පත්වීමෙන් අඩු බර දරු උපත් වැඩි විය හැකි බව ත් ඇමතිවරයා ප්‍රකාශ කරයි.