21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේ ප්‍රමාදය නිසා, ජනතාව තවදුරටත් කුපිත වී රටේ තත්ත්වය තවත් භයානක විය හැකි යයි හිටපු කතානායක

කරු ජයසුරිය අනතුරු අඟවා සිටියි.

19 වැනි සංශෝධනය ශක්තිමත් කර ප්‍රජාතන්ත්‍රවාදී රටක් වශයෙන්, බලවත් රටවල් වල විශ්වාසය දිනාගෙන ආධාර උපකාර ලබා ගැනීමට හැකිව තිබියදී පොදුජන පෙරමුණේ එක් පාර්ශවයක් මෙම සංශෝධන වලට එකඟ නොවීමෙන් ඔවුන්ගේ බලලෝභී දේශපාලනය පෙන්නුම් කරන බව ද ඔහු කියා සිටියි.

'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය එම කාරනා අවධාරණය කර සිටියේ, කොළඹදී පෙරේදා (24) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි.

 

19 වැනි සංශෝධනයේ ඇතුළත් ව තිබූ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ඇතුලත් කර 21 වැනි සංශෝධනය වහා සම්මත කිරීමට ක්‍රියා කරන ලෙස ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු එම මාධ්‍ය හමුවේදී පැවසීය.

 

හිටපු කතානායකවරයා තවදුරටත් මෙසේද පැවසිය.

''21 සංශෝධනය ගැන අද රටම කතා කරනවා. පහුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී 20 වැනි සංශෝධනය අහෝසි කර නැවත 19 සංශෝධනය බලගන්වා ශීලාචාර ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් වශයෙන් ශ්‍රී ලංකාවට ලෝක ප්‍රජාවගේ ගෞරවය හා පිළිගැනීම උපයා ගැනීමටත්, බලවත් රටවල් වල විශ්වාසය දිනාගෙන ආධාර උපකාර ලබා ගැනීමටත්, හැකි වේවි යැයි අපට බලවත් විශ්වාසයක් තිබුණා.

කරුණු මෙසේ තිබියදී පොදුජන පෙරමුණේ එක් පාර්ශවයක් මෙම සංශෝධන වලට එකඟ නොවන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබීම ඉතා කනගාටුවට කරුණක්. එමෙන්ම එය බලලෝභී දේශපාලන තීරණයක් ලෙස හැඳින්විය හැකියි.

 

''20 වැනි සංශෝධනය ගෙන ඒමෙන් රටට වූ හානිය ගැන කිව යුතු නැහැ. එය ප්‍රජාතන්ත්‍ර විරෝධී, ඒකාධිපති පාලනයකට රට යොමු කරන ආත්මාර්ථකාමී, මිලේච්ඡ පනතක් ලෙස ලෝකයා හැඳින්වූවා. යුරෝපියානු පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකාවට විරුද්ධව ඡන්ද 600කට වඩා ලබා දෙමින් මෙය අශිෂ්ට පනතක් ලෙස පණිවිඩයක් අපට ලබා දුන්නා. මෙය රජයේ බලවතුන්ට නොතේරීම රටේ අවාසනාවක්. ''

 

ජනාධිපතිවරයා රජයේ නව ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය ආරම්භ කිරීමට පෙර ලොවට හඬනගා කීවේ එතුමා 19 වැනි සංශෝධනය බල ගැන්වීමට හා විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීමට එකඟ බවත්, ඒ අනුව තාවකාලික සර්වපාක්ෂික රජයක් ඇති කිරීමට එක්වන ලෙසත් පක්ෂ නායකයන්ට ආයාචනා කළා.

 යම් හෙයකින් ආණ්ඩු පාර්ශවයේ බලපෑමෙන් මෙම සංශෝධනය ගෙන ඒමට ප්‍රමාද කළ හොත්, එය විශාල මහජන විරෝධයකට හේතු වන බව ජනාධිපතිවරයා තේරුම් ගත යුතුයි. එතුමා දෙන පොරොන්දු අතීතයේ මෙන්ම හිස් වචන කිහිපයක් බවට ජනතාව හැඳින් වීම නොවැළැක්විය හැකියි. ජනාධිපතිවරයා ගේ ප්‍රතිරූපය ද මෙයින් විනාශ වන බව එතුමා වටහා ගත යුතුයි.

මේ ගැන රටට සුබවාදීව කරුණු ඉදිරිපත් කළ අග්‍රාමාත්‍යවරයා, අධිකරණ අමාත්‍යවරයා හා නව වැඩපිළිවෙලට සහාය දෙමින් එක්වුණු අනෙක් මැති ඇමතිවරුන්ද මෙයින් ලැජ්ජාවට පත් වනු නොඅනුමානයි.

 

මේ සියල්ලට වඩා රජය වටහා වටහාගත යුත්තේ අන්තර් අන්තර්ජාතික ප්‍රජාව මේ සිදුවීම දකින ආකල්පයන්ය. ඔවුන් මුල සිට දන්වා සිටියේ 20 වැනි සංශෝධනය ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත්, එය වහා අහෝසි කළ යුතු බවත්ය.

 

මේ අතර අප රටේ ආගමික නායකවරු, සිවිල් සමාජය, බුද්ධිමතුන්, වෘත්තීය සමිති ආදී සියල්ලක්ම 20 වැනි සංශෝධනය ඒකාධිපති ගමනක් සඳහා ඇති කරන ලද පනතක් බව නොයෙක් වර හඳුන්වා දී ඇත.


අග්‍රාමාත්‍යවරයා මේ ගැන කරුණු පැහැදිලි කරමින් ලබන සදුදා යෝජිත පනත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව සඳහන් කළත්, පොදුජන පෙරමුණේ මහලේකම්වරයා සඳහන් කළේ පළමුව රටේ ආර්ථික ප්‍රශ්න විසඳිය යුතු බවයි. ඔහු දුන් පණිවිඩය නම්, සංශෝධන සඳහා සහයෝගය නොදෙන බවයි. රටේ ආර්ථික ප්‍රශ්ණ විසඳීමට අන්තර්ජාතික ප්‍රජාවගේ විශ්වාසය දිනා ගැනීමේ අවශ්‍යතාවය මහලේකම්වරයාට නොවැටහීම ගැන අපි කණගාටු වෙමු.


ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද යෝජිත පනතේ ඇති අඩුපාඩුකම් ගැන සඳහන් කර තිබෙනවා. අප ව්‍යාපාරය මඟින් ද මෙවැනි කරුණු කිහිපයක් ඉදිරිපත් කළා. මෙම යෝජනා අධිකරණ අමාත්‍යවරයාගේ අවධානයට යොමු වේවායි ප්‍රාර්ථනා කරනවා.

20 වැනි සංශෝධනයෙන් ඇති කළ මහා විනාශය ජනතාව වටහා ගෙන ඇති එහෙයින්, විවිධ හේතු දක්වමින් පනත ඉදිරිපත් කිරීමට ප්‍රමාද කළ හොත් රටේ නැවත උග්‍ර අරගලයක් ඇති වීමේ පෙර නිමිති අපට පෙනෙනවා. ''

එසේ හෙයින් 19 වැනි සංශෝධනයේ ඇතුළත් ව තිබූ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ඇතුලත් කර 21 වැනි සංශෝධනය වහා සම්මත කිරීමට ක්‍රියා කරන ලෙස හිටපු කතානායකවරයා, ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙන් යළි යලිත් ඉල්ලා සිටියේය.


Leader Whats app

  

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්