අගමැතිවරයා සඳහන් කර ඇති පරිදි තවත් රුපියල් ට්‍රිලියනයක් අච්චු ගැසුවහොත්, පාන් රාත්තලක් රුපියල් 400 දක්වාත් කිරිපිටි පැකට් එකක් රුපියල් 1000
දක්වාත් මිල වැඩිවනු ඇතැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම්. මරික්කාර් පවසයි.
''රජය පවත්වාගෙන යාම සදහාත් ඒ වගේම පඩි ගෙවීම සදහාත් තවත් රුපියල් ට්‍රිලියනයක් අච්චු ගහන්න යනවා කියලා ආරංචි වෙනවා. රුපියල් ට්‍රිලියනයක් කියන්නේ කෝටි ලක්ෂයක් අච්චු ගහන්න හදනවා. එතකොට අපි පැහැදිලිවම අගමැතිතුමාට කියන්න කැමතියි මේ කෝටි ලක්ෂයක් අච්චු ගහන්න එපා ..එහෙම උනොත් විශේෂයෙන්ම පාන් රාත්තලක් රුපියල් 400 දක්වා වැඩි වේවි. කිරිපිටි පැකට් එකක් රුපියල් 1000 පනීවි. ඒවගේම පෙට්‍රල් ලීටරයක් රුපියල් 600 ට යයි` .ගෑස් සිලින්ඩරයක් රුපියල් 10,000/- යාවි. එතකොට ස්වයං රැකියා කරන මිනිස්සු, පෞද්ගලික අංශයේ වැඩ කරන මිනිස්සු, සාමාන්‍ය කුඩා ව්‍යාපාර කරගෙන යන මිනිස්සු වගෙම එදිනෙදා වේල හම්බ කරන මිනිස්සු කාටවත් ජීවත් වීමේ හැකියාව සම්පූර්ණයෙන්ම නැති වෙලා තුන්වේලම බඩගින්නෙ ඉන්න වෙන තත්ත්වයක් උදා වෙයි..'' යැයි ඔහු පැවසිය.
එස් එම්. මරික්කාර් මන්ත්‍රීවරයා එබව කියා සිටියේ, විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි.
එසේ ජනතාව පාරට වැටීමට ඉඩ නොතබා රාජ්‍ය බැංකුවලට පොදු තබා ඇති, බදු ගෙවීම් පැහැරහැර ඇති පෞද්ගලික සමාගම්වලින් එම මුදල් අයකර ගැනීමට කටයුතු කරන ලෙස ඔහු අගමැතිවරයා ගෙන් ඉල්ලා සිටියේය.
එම කාරණය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා තවදුරටත් මෙසේද සඳහන් කළේය.
''අගමැතිතුමා විදේශ රාජ්‍යයන්වලින් ඩොලර් බිලියන 3-4ක් ගන්න කටයුතු කරනවා කිව්වා . ඒ මුදල් එනකල් මේ සල්ලි නැවත අච්චු ගහලා උද්ධමනය වැඩි කරලා, බඩු මිල වැඩි කරලා ජනතාව මහපාරට ඇදලා දාන්නේ නැතුව, මහජන බැංකුවටයි, ලංකා බැංකුවටයි පොල්ල තියලා තියෙන සමාගම් ගණනාවෙන් මෙම මුදල් අයකර ගන්න.''
''විශේෂයෙන්ම මහජන බැංකුවට ඇලෝෂියස්ගේ මෙන්ඩිස් සමාගම රුපියල් මිලියන 3242 ක් , ලංකා බැංකුවට මිලියන 3145 වශයෙන් මිලියන 6387 ක් පොලු තියලා තියෙනවා. මේවා අයකර ගන්න. ඊලගට දයා ඇපරල් සමාගම මහජන බැංකුවට මිලියන 2647 ක පොල්ලක් තියලා තියෙනවා. මේවා අයකර ගන්න කටයුතු කරන්න. මොකද හේතුව මහජන බැංකුවේ top 20 සමාගම් පොලු තියපු ඒවායේ වටිනාකම මිලියන 54,521 ක්. මේවා අයකර ගන්න. අර ඩොලර් බිලියන 3-4 එනකල් මේකෙන් ෂේප් කරගන්න..''
''අගමැතිතුමා කියපු ඩොලර් බිලියන 3-4 එනකල් මේ රාජ්‍ය බැංකුවලට පොලු තියලා තියෙන මහා පරිමාණ, කූඨ ව්‍යාපාරිකයන්ගේ මුදල් ටික අයකරගෙන කළමනාකරණය කිරීමක් කලයුතුයි කියලයි අපි අගමැතිතුමාට යෝජනා කරන්නේ..''
''එහෙම නැතුව මේ පෝලිම් තවදුරටත් දික් වේවි, ඒවගේම සල්ලි තිබුනත් බඩු ගන්න බැරි වේවි. බඩු මිල අහස උසට යාවි. උද්ධමනය වැඩි වීම හරහා වීල්බැරෝ එකකින් සල්ලි ගෙනියන්න වෙන තත්ත්වයක් නිර්මාණය කරන්න එපා කියලා අපි අගමැතිතුමාගෙන් ඉල්ලනවා. ''
''එතුමාගේ දැනුම, හැකියාව සහ සබදතා පාවිච්චි කරලා මෙන්ඩිස් සමාගම, දයා ඇපරල් සමාගම ඇතුලු අනෙකුත් කූඨ ව්‍යාපාරිකයන්ගේ මුදල් ටික අයකරගැනීමට කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා .''
සබැඳි පුවත් :