බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ වැඩ බැලීම සදහා නියෝජ්‍ය පොලිස්පති ඩී ජේ පලිහක්කාර පත් කර ඇත.
පොලිස්පතිවරයා විසින් එම පත් කිරීම සිදුකර ඇත්තේ අමාත්‍යංශ ලේකම්වරයාගේ ආවරණ අනුමැතියට යටත්වය. ඒ, අද සිට දින 14 ක කාලයක් සදහා බලපැවැත්වෙන පරිදිය.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ගෙන් පෞද්ගලික නිවාඩුවක් ඉල්ලා ඇති අතර ඒ අනුව ඔහු නිවාඩු අවසන් කර නැවත රාජකාරී සදහා වාර්තා කරන තෙක් එම පත් කිරීම සිදුකර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග කරයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දින කිහිපයකට විදේශගතවීමට නියමිතබව එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.
කොළඹ ආරක්ෂාව ගැන දේශබන්දුගෙන් නියෝගයක්
අරගලකරුවන්ගේ උද්ඝෝෂණකරුවන්ගේ විවිධ තර්ජනවලට ලක්විය හැකි ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ගේ කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ, පිහිටි නිල නිවෙස ඇතුළු කොළඹ නගරයේ වැදගත් සහ ප්‍රධාන ස්ථාන රැසක ආරක්ෂක විධිවිධාන තවදුරටත් දැඩි කරන ලෙස බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් අදාල බලධාරීන්ට උපදෙස් දී ඇතැයි lankadeepa.lk වාර්තා කරයි.
මේ සම්බන්ධයෙන් 'ලංකාදීප' කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසා ඇත්තේ, බුද්ධි අංශ වලින් ලැබුණු තොරතුරු පදනම් කරගෙන එම ස්ථානවලට වැඩි ආරක්ෂාවක් ලබා දීමට පියවර ගත් බවයි.
මේ අනුව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ගේ කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ ස්ටැන්මෝක්රසන්ට් හි පිහිටි නිවෙසට පිවිසෙන මාර්ගය ආවරණය වන පරිදි මාර්ග බාධක යෙදවීමටද පියවර ගෙන ඇත.
මහින්ද රාජපක්ෂ ගමන් කරන ස්ථානවලදී හා ස්ථිරවම රැඳී සිටින ස්ථානවලදී මහජන විරෝධතා හෝ ප්‍රහාරයක් එල්ලවීමට හැකියාවක් පවතින හෙයින් ඔහුට උපරිම ආරක්ෂාව ලබා දීම කාලෝචිත බව බුද්ධි අංශ තොරතුරු වාර්තා කර ඇතැයි දැනගන්නට ඇත.
විවිධ වෘත්තීය සමිති ශිෂ්‍ය සංගම් හා සිවිල් සංවිධාන මෙන්ම ඇතැම් පිරිස් හිටපු අගමැතිවරයා කෙරෙහි අප්‍රසාදයෙන් පසුවන බවටද එම බුද්ධි අංශ වැඩිදුරටත් තොරතුරු අනාවරණය කර ඇත.
කොළඹදී පසුගිය 9 වැනිදා ඇතිවූ ප්රචණ්ඩ ක්‍රියාවලින් පසු හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් දින කිහිපයක්ම ලැගුම් ගෙන සිටියේ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේය.
(උපුටා ගැනීම් -lankadeepa.lk)