මොහොතින් මොහොත ඉහල යන ජිවන වියදම හමුවේ වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප

රුපියල් දෙදහස් පන්සියය දක්වා වැඩි කළ යුතු බවට අමාත්‍යවරයකුගේ නායකත්වය යටතේ ඇති වෘත්තීය සමිතියක් යෝජනා කර තිබේ.

''වතු කම්කරුවන්ගේ වැඩි කරපු රුපියල් දාහටත් හාම්පුත්තු දැන් අවුරුද්දක් තිස්සේ නඩු කියනවා. දැන් තියෙන ආර්ථිකයෙන් නම් රුපියල් දාහෙන් ජිවත් වෙන්න බැහැ. අඩුම ගානේ රුපියල් දෙදහස් පන්සියයක් වත් ඕනෑ,'' යැයි සංචාරක හා ඉඩම් කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ නායකත්වයෙන් යුත් ලංකා ජාතික වතු කම්කරු සංගමයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් පවසයි.

වතු කම්කරුවන්ගේ දිනෙක වැටුප රුපියල් දහසක් ලෙස පඩි පාලක සභාව විසින් නිර්දේශ කිරීමත් සමග ඊට එරෙහිව වතු හාම්පුතුන්ගේ සංගමය විසින් අධිකරණය වෙත පැමිණිල්ලක් ගොනු කෙරිණි.

පවතින තත්වය මත වතු ආර්ථිකයේ ආදායම බිඳ වැටෙමින් පවතින බැවින් හා නිෂ්පාදන වියදම් අධික නිසා කම්කරුවන්ගේ වැටුප් වැඩි කළ නොහැකි බව අධිකරණය හමුවේ ඔව්හු ප්‍රකාශ කළහ.

දැනට වසරක් පුරා ඇදෙමින් තිබෙන මෙම නඩු විභාගය අවසන් වරට කැඳවූ මැයි 23 වැනිදා තීරණය කරනු ලැබුවේ ජුනි 30 වැනිදා දක්වා යළි කල් දැමීමටයි.

එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධව තිබී පසුව සමගි ජන බලවේගය විසින් අත්පත් කරගත් එක්සත් ජාතික වතු සේවක සංගමය ද මෙම නඩුවේ පාර්ශවකරුවෙකි. එම සංගමයේ සභාපති ධුරය දරන්නේ රනිල් වික්‍රමසිංහගේ අගමැති ධුරය යටතේ පිහිටුවන ලද නව සභාගයේ සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දුයි.



පවතින ආර්ථික බිඳ වැටීම් හමුවේ රුපියල් දහසක මුදලක් වතු කම්කරුවන්ට ප්‍රමාණවත් නොවන බැවින් එම නඩුවෙන් ඉවත් වීමට එක්සත් ජාතික වතු සේවක සංගමය තීරණය කළ බව වඩිවේල් සුරේෂ්  මාධ්‍ය හමුවේ පවසයි.

''රුපියල් දාහක් ඉල්ලා ඉන්න එක දැන් ප්‍රායෝගික නැහැ. මම ලියුමක් ලිව්වා අලුත් කම්කරු ඇමැති මනුෂ නානායක්කාරටත්, කම්කරු කොමසාරිස්ටත්. වතු හාම්පුතුන්ගේ සංගමයත් එක්ක කතා කරලා අලුත් සාමුහික ගිවිසුමකට එන්න කියලා''

වතුකර දෙමළ ජනතාව නියෝජනය කරන තවත් මන්ත්‍රීවරයකු වන වී රාධාක්‍රිෂ්ණන් ඉකුත් දා ජනමාධ්‍ය හමුවේ පෙන්වා දී තිබුනේ ඩොලරය ඉහල යාම නිසා තේ වෙළෙඳාමින් ව්‍යාපාරිකයන් ලබන ආදායම ඉහල ගොස් ඇති ආකාරයයි.

තේ කිලෝග්‍රෑම් එකක මිළ මේ වනවිට ශ්‍රී ලංකා මුදලින් රුපියල් 1750 ක් ඉක්මවා අලෙවි වන බව  දෙමළ ප්‍රගතිශීලි සන්ධාන මන්ත්‍රීවරයා පවසයි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති ධුරය දරන සමයේ  වතු වෘත්තීය සමිති, හාම්පුතුන් හා ආණ්ඩුව මැදිහත්ව වසර දෙකින් දෙකට අලුත් කෙරෙන සාමුහික ගිවිසුමක් ආරම්භ කෙරිණි.

වතු කම්කරුවන්ගේ වැටුප් හා අනෙකුත් සුභ සාධන ක්‍රියාත්මක වන්නේ මෙම සාමුහික ගිවිසුම මගිනි.

එහෙත් රාජපක්‍ෂ ආණ්ඩුව විසින් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම ගැන නිර්දේශ කිරීමට පඩි පාලක සභාව වෙත යොමු කිරීමත්, එම නිර්දේශයන්ට එරෙහිව වතු සමාගම් අධිකරණය වෙත යාම හේතුවෙන් එතෙක් පවත්වා ගෙන ආ සාමුහික ගිවිසුම අහෝසි විණි.


 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්