අධිකරණය අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත්කර ඇති 21 වන

ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මගින් ජනාධිපතිවරයාගේ බලතල බරපතල ලෙස කප්පාදු කිරීමට යෝජනා කර ඇති බැවින්  ඊට ඉඩදිය නොහැකි බවට ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී කිහිප දෙනෙකුම අදහස් දක්වා ඇති බව වාර්තාවේ.

මේ සම්බන්ධව බරපතල විවේචනයක් ඉදිරිපත් කර ඇත්තේ මහජන ආරක්ෂක හිටපු අමාත්‍ය, විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් විරසේකරයි.  

21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට කැඳවා තිබු මෙම රැස්වීමට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ද සහභාගී විය.

මෙම රැස්වීමේදී අති බහුතරයක් මන්ත්‍රීවරුන් නිහඬ ව සිටීම නිසා 21 සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මතය සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් ලබාගැනීමට නොහැකිවූ බව එම රැස්වීමට සහභාගී වූ මන්ත්‍රීවරයෙක් සඳහන් කළේය.

කෙසේවුවද එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුයේ, කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත්කර ඇති 21 ව්‍යවස්ථා සංශෝධනයට ජනාධිපතිවරයා එකඟ බවයි.


''විදේශිකයන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට බලාපොරොත්තුවනවා'' - ගම්මන්පිල

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසන්නේ, විදේශිකයන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට බලාපොරොත්තු වන බවයි.  

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද පැමිණි අවස්ථාවේ දී මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ එබව කියා සිටියේය.

''පාර්ලිමේන්තුවේ බලය තියෙන්නේ කපුටා අතේ කියලා අපි පිළිගන්නවා. 21 වැනි සංශෝධනය හරහා අපේ පාර්ලිමේන්තුවේ සිටින පිටරැටියන් පාර්ලිමේන්තුවෙන් එළියට දාන්න බලාපොරොත්තු වෙනවා. ඒක සාර්ථක වුණාට පස්සේ කපුටාගෙන් පාර්ලිමේන්තුවත් රටත් බේර ගන්න පුළුවන් වෙයි.''උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පැවසිය.

 

ජනපතිගේ බලතල කැපුවොත් 21ට සජබ සහාය !

මේ අතර සමගි ජන බලවේගය ප්‍රධාන විධායක නිලධාරී නීතීඥ අජිත් පී පෙරේරා කොළඹදී අද (30) ප්‍රකාශ කර සිටියේ, විසි එක් වන සංශෝධනය ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඉදිරිපත් කළ කෙටුම්පතේ ඇති ඇතැම් කරුණු පිළිබඳ එකඟතාවයක් නොමැති බවයි.  

රජය සමඟ තිබූ සාකච්ඡාවේදී මෙහි තිබෙන අඩුපාඩු පෙන්වා දුන් බවත් එහි අඩුපාඩු සකස් කරන්නේ නම් පාර්ලිමේන්තුවේදී 21 වන සංශෝධනයට ඡන්දය ලබා දීම සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නොමැති බවත් පෙරේරා පැවසීය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

ඒ අනුව ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍යාංශයක් දැරීමට නොහැකි යන්න මෙම කෙටුම්පතට ඇතුළත් කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා වන යෝජනාවක් සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ බහුතරයකින් අවස්ථාව ලබා දිය යුතුය යන්න සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වූ සමගි ජන බලවේගයේ ස්ථාවරය මෙම රජය ඉදිරියට ගෙන යාවි යන පදනම මත එයට සහයෝගය ලබාදීමට සූදානම් බවත් ඔහු එහිදී කීවේය.



අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති කෙටුම්පත මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොවන දහනවවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඇතුළත් කරුණු පවා අඩුවෙන් ඉදිරිපත් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

මෙම සංශෝධන වලට යටත්ව සමගි ජන බලවේගය විසි එක් වෙනි සංශෝධනයට සහයෝගය ලබාදීමට සූදානම් බවත් ඔහු තවදුරටත් කීවේය.

 

 
  

 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්