1200 x 80 DMirror

 
 

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියමව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබාදුන් සමාව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (මැයි 31) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ඒ අනුව දුමින්ද සිල්වා යළි සිර භාරයට ගන්නා ලෙසද අධිකරණය නියෝග කළේය.

දුමින්ද සිල්වාට විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය අත්හිටුවන අතුරු නියෝගයක් ද නිකුත් කරනු ලැබීය.

මෙම නියෝග ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක වෙත නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට අවශ්‍ය උපදෙස් හා සහාය ලබාදෙන ලෙසටද නීතිපතිවරයාට නියෝග කරනු ලැබුවේය.

දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීම අභියෝගයට ලක්කරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ඇයගේ මව සුමනා ප්‍රේමචන්ද්‍ර සහ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු වන ජනාධිපති නීතිඥ ගසාලි හුසේන් ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 03ක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අතුරු නියෝග නිකුත් කළේය.


''ජනාධිපතිවරයා නිසි නීතිමය ක්‍රියා පටිපාටිය අනුගමනය කර නැහැ'' -  එම්.ඒ. සුමන්දිරන්

ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ අචල වෙංගප්පුලි යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬල්ල මෙම නියෝගය නිකුත් කළහ.
මෙම පෙත්සම් සලකා බැලීම ආරම්භ වූ අවස්ථාවේ දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් ඇතුළු නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් අවධාරණය කළේ දුමින්ද සිල්වාට පොදු සමාව ප්‍රදානය කිරීමේදී ජනාධිපතිවරයා නිසි නීතිමය ක්‍රියා පටිපාටිය අනුගමනය කර නොමැති බවයි.


මරණීය දණ්ඩනය නියම වුවන් 9000කට ආසන්න පිරිසක් බන්ධනාගාර ගතව ඇති තත්ත්වය තුළ පොදු සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයා දුමින්ද සිල්වාව තෝරා ගත්තේ කුමන පදනමකින් ද යන ගැටලුව මතුවන බව ජනාධිපති නීතිඥ සුමන්තිරන් මෙහිදී කියා සිටියේය. ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියා පටිපාටිය පිළිබඳව පරීක්ෂා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අධිකරණයට බලය පැවරෙන බවද ඔහු ප්‍රකාශ කළේය.



ඒ අනුව ඔහුට පොදු සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බව ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළේය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි සෙසු නීතිඥවරු ද මෙම කරුණු අනුමත කරමින් දේශන ඉදිරිපත් කළ අතර ජනාධිපතිවරයාගේ පොදු සමාව ප්‍රදානය කිරීමේ ක්‍රියාපටිපාටිය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ අධිකරණයට පැවසීය.

මෙම නඩුකරයට පාදක වන පොදු සමාව ප්‍රදානය කිරීමේ දී ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කොට තිබෙන ප්‍රතිපාදන අනුගමනය කර තිබෙන බවත් එබැවින් එය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අවධාරණය කළේය.


මෙම පෙත්සම් වල වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන ද කියා සිටියේ තම සේවාදායකයාට පොදු සමාව ප්‍රදානය කිරීමේ ජනාධිපතිවරයාගේ තීරණය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බවයි. මෙම පොදු සමාව ප්‍රදානය කිරීම නීත්‍යානුකූලව සිදු වී ඇති බවත් මෙම ඉල්ලීම සලකා බැලීමට අධිකරණයට අධිකරණමය බලයක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.




ඉදිරිපත්වූ සියලු කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් විභාගයට ගැනීම සඳහා අවසර ලබා දෙමින් ඉහත අතුරු තහනම් නියෝග නිකුත් කළේය.
ඒ අනුව පෙත්සම් විභාගය සැප්තැම්බර් මස 01 වැනිදා පැවැත්වීමට දින නියම කර ඇත.

මරණ දණ්ඩනය ලබා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති සමාව දෙනු ලැබීම පිළිබඳ සමාජ ජාල සහ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් පළ විය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ බවට වරදකරු වී සිරගතව සිටි දුමින්ද සිල්වා ජනාධිපති පොදු සමාව යටතේ 2021 ජුනි 24 වෙනිදා නිදහස් කෙරිණි.

ඔහු ඇතුළුව ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන ලද සිරකරුවන් 93 දෙනා අතර ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනුණු රැඳවියන් 16 දෙනෙක් ද විය.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ පසු වූ රැඳවියන් නිදහස් කිරීමට ගත් පියවර පිළිගන්නා නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ද වරදකරු බව තහවුරු කෙරුණු දුමින්ද සිල්වාට සමාව දීම නීතියේ ආධිපත්‍යය අනතුරේ හෙළිමක් බව කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය එම අවස්ථාවේදී පැවසීය.

ඒ සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේ සටහනක් තැබූ ඇමරිකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස්, "වගවීම සහ යුක්තිය වෙත පිවිසීමට ඇති සමාන ප්‍රවේශයන්, ශ්‍රී ලංකා ආණ්ඩුව කැප වී ඇති එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කයන් අතර ප්‍රධාන වන" බව පවසා තිබේ.

(උපුටා ගැනීම් - BBC සිංහල සේවය)

 

 


 

Leader Whats app

 

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58