යාපනය මහජන පුස්තකාලයට ගිනිතබා අදට වසර 41ක් සපිරෙයි. ශ්‍රී ලංකා ඉතිහාසයට එක් කළු පැල්ලමක්

එක් කළ අතීතයේ අඳුරු දිනක සිදුවු එම අපරාධය අදට ද රුදුරු මතකයන් සිහිගන්වයි.

මිල මුදලින් මැනිය නොහැකි වටිනා දැනුම් සම්භාරයකින් සමන්විත වු මෙම පුස්තකාලය විනාශ කිරීමේ පාඩුව උතුරු පළාතට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවටත්, අධ්‍යයන කටයුතුවල යෙදෙන මුළුමහත් ජාත්‍යන්තර ප්‍රජාවටත් දැරීමට සිදුවිය.

ඒ, යාපනය පුස්තකාලය ඒවන විටත් කලාපයේ විශාලතම පුස්තකාල වලින් එකක් වීම හේතුවෙනි.

1981 මැයි 31 වැනි දින රාත්‍රියේදී සංවිධානාත්මක මැර පිරිසක් විසින් යාපනය මහජන පුස්තකාලය ගිනිබත් කරනු ලැබීය.

එය 20 වැනි සියවසේ වාර්ගික ග්‍රන්ථකරණ විනාශයේ ප්‍රචණ්ඩතම උදාහරණ වලින් එකක් ලෙස සැලකෙයි. පුස්තකාලය විනාශ වන විට, එය පොත් සහ අත්පිටපත් 97,000කට අධික ප්‍රමාණයක් අඩංගු ආසියාවේ විශාලතම පුස්තකාලයක් ලෙස පැවතුණි.


setwerඡායාරූප මූලාශ්‍රය, GETTY IMAGES





යාපනය පුස්තකාලයේ ආරම්භය:

යාපනය ප්‍රදේශයේ විසූ කේ. එම්. චෙල්ලප්පා නම් සමාජ හිතකාමියෙකු විසින් දැනුම අන් අය සමඟ බෙදා හදා ගැනීමේ අරමුණින් වසර 1933 දී සිය නිවසේ නොමිලේ පවත්වාගෙන යන පුස්තකාලයක් ආරම්භ කර තිබේ.

ඒ, පුවත්පත් සහ සඟරා ස්වල්පයකිනි. චෙල්ලප්පාගේ අදහස අගය කරමින් දැනුම් පිපාසයෙන් පෙලුණු පොත් ලෝලීන් පිරිසක් එක්ව 1934 ජුනි මස 09 වැනිදා රැස් වී පුස්තකාලයක් පිහිටුවා ගැනීම සඳහා කමිටුවක් පත්කර ගත්හ.

මෙහි සභාපතිධුරය සඳහා එවකට යාපනය මහාධිකරණ විනිසුරු අයිසැක් තම්බයියා තේරී පත් වූ අතර කේ. එම්. චෙල්ලප්පා ලේකම් ධුරයට පත්විය.

මෙම කමිටුවේ ප්‍රයත්නය මත 1934 අගෝස්තු 01 වැනිදා යාපනය රෝහල් වීදියේ විදුලි බල ස්ථානය ඉදිරිපිට කුලියට ගත් කුඩා කාමරයක පුස්තකාලයක් විවෘත කෙරිණි. ආරම්භයේදී මෙම පුස්තකාලයෙහි තිබුණේ පොත් 844 ක් සහ පුවත්පත් සඟරා 30 ක පමණ ප්‍රමාණයක් වුවත්, දැනුම පිපාසයෙන් පෙළුණු තරුණ හා මහලු නගරවාසීන්ගේ අනුග්‍රහය මෙයට ලැබිණි.

උදේ 8 ට විවෘත කළ එය සවස 7.30 වන තෙක් විවෘතව තබන ලදී. අවුරුද්දක කාලයක් යාපනය පුස්තකාල සංගමය විසින් නඩත්තු කරන ලදුව පුස්තකාලයේ පොත් සංඛ්‍යාව වැඩිවත්ව වැඩි ඉඩකඩක අවශ්‍යතාව මතුවූයෙන් 1934 දෙසැම්බර් 20 දින පවත්වන ලද කමිටු සාකච්ඡාවක තීරණයක් මත 1935 ජනවාරි 01 දින සිට යාපනය ප්‍රධාන වීදියේ කුලියට ගත් ගොඩනැගිල්ලක් කරා එය ගෙන යන ලද අතර පුස්තකාලයේ පාලනයද යාපනය නගර සංවර්ධන සභාව වෙත පැවරුණි.

එහි පළමු වන පුස්තකාලයාධිපති සී.එස්. රාජරත්නම්ය. එහිදී එවකට රුපියල් 3 ක් වන සාමාජික ගාස්තුවකට පොත් බැහැරදීම ආරම්භ වී ඇත.

පුස්තකාලයේ ජනප්‍රියත්වය කෙතරම්වීද යත්, සියලු නවීන පහසුකම්වලින් යුත් ස්ථිර ගොඩනැගිල්ලක අවශ්‍යතාවය මතුවිය. 1950 දශකය වන විට යාපනය පුස්තකාලයට දරාගත නොහැකි තරමේ පාඨකයෝ විශාල පිරිසක් සිටියහ. ස්ථිර එසේම අංගසම්පූර්ණ දැවැන්ත පුස්තකාලයක අඩුව තදින්ම දැනෙන්නට විය.

ඒ අනුව නව පුස්තකාලයක් ගොඩනැගීම සඳහා අරමුදල් සපයා ගැනීම පිළිබඳව සෙවීමට යාපනයේ පළමු පුරපතිවරයා වූ සෑම් සභාපතිගේ ප්‍රධානත්වයෙන් සමුළුවක් පැවැත්වුණි. මේ සඳහා ඉන්දීය කලාශිල්පීන් යොදාගෙන නැටුම් හා සංගීත සංදර්ශන පැවැත්වීම, සැණකෙළියක් පැවැත්වීම, ලොතරැයි විකිණීම වැනි දේ යෝජනා වූ අතර මෙයින් සංවිධායකයන් බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා වැඩි මුදලක් එක්රැස් වී තිබේ.

පුස්තකාලය ගොඩනැගීම සඳහා පුස්තකාල කමිටුව වෙතින් ආරාධනා ලැබූ විද්වතුන් අතර චෙන්නායි සිට ලංකාවට පැමිණි ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ කේ. එස්. නරසිම්මන් මෙන්ම පුස්තකාල විද්‍යාව පිළිබඳ විශේෂඥයකු වූ මහාචාර්ය එස්. ආර්. රංගනාදන් ද ඇතුලත් වී තිබේ.

පුස්තකාල ගොඩනැගිල්ල නිර්මාණය කර ඇත්තේ, ගෘහ නිර්මාණ ශිල්පී කේ. එස්. නරසිම්මන්ය. ඔහු සුප්‍රකට ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ ජෆ්රි බාවා ගේ හිතවතෙකු බව කියවේ.


ගිනි තැබීම:

දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ 1977 මැතිවරණයට තරග කළේ වෙනම රාජ්‍යයක් සඳහා දෙමළ ජනතාවගෙන් ජනවරමක් ලබා ගැනීම සඳහාය. එහෙත් 1982 වන විට රාජ්‍ය පාලනයේ දෙවැනි මට්ටමක් සඳහා යෝජනා වී තිබූ දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමය භාරගැනීමට ඔවුන් එකඟ වී තිබුණි.

දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමයක් සඳහා අණ්ඩුව හා දෙමළ නායකයන් අතර කෙරුණු සාකච්ඡාවල අතරමැදියා ලෙස ක්‍රියාකර තිබුණේ චෙල්වනායගම්ගේ බෑනා වූ මහාචාර්ය ඒ. ජේ. විල්සන්ය. ඒ, දිස්ත්‍රික් සංවර්ධන සභා පනතට පක්ෂව දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ සියලු මන්ත්‍රීවරු එක් නොවිය යුතු බවට දෙමළ ඊළමක් සඳහා කෙරෙන සන්නද්ධ අරගලයක් වෙනුවෙන් පෙනී සිටි කල්ලිවලින් එල්ල වෙමින් තිබූ විරෝධයද නොසලකාය.

ආණ්ඩු පක්ෂය එම මැතිවරණයේ තරගකරුවකු බවට පත්වීම නිසා ත්‍රස්තවාදී කල්ලිවලට එම මැතිවරණයේදී සිය ක්‍රියාකාරකම් උපරිම තත්ත්වයකට ගෙන ඒමේ හැකියාව ලැබී තිබුණි.

දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ අවසාන ප්‍රචාරක රැලිය පැවති ස්ථානයේ රාජකාරි කටයුතුවල යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ත්‍රස්තවාදී කල්ලියක් විසින් ඝාතනය කිරීම නිසා යාපනයේ ගැටුම් කාරී තත්ත්වයක් ඇතිවිය. පසුව ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් ඉවක් බවක් නැතිව කඩසාප්පුවලට ගිනි තබා තිබුණි.

එදින රාත්‍රීයේ යාපනය නගරයේ සිදු වූ ගිනි තැබීම් අතුරින් යාපනේ පුස්තකාලයට ගිනිතැබීම විශාලතම ඛේදවාකය බවට පත්විය.


jlගින්නෙන් විනාශයට පත් යාපනය පුස්තකාලය යළි ගොඩනැගීමට පෙර


1981 වසරේ යාපනයේ පුස්තකාලය ගිනිතැබීම සම්බන්ධයෙන් එවක පැවති එක්සත් ජාතික පක්ෂ රජය වෙනුවෙන් තමන් සමාව ඉල්ලා සිටින බව 2016 වසරේදී එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.

අගමැතිවරයා එසේ සමාව ඉල්ලා සිටියේ උතුරේ සංවර්ධන කටයුතු පිළිබඳ 2016 දෙසැ. 06 දා පාර්ලිමේන්තුවේදී ඇතිවූ උණුසුම් වාදයක් අතරතුරදී.

"අපේ කාලේ පුස්තකාලේ ගිනි තිබ්බා. අපි ඒ ගැන කනගාටු වෙනවා, සමාව ඉල්ලනවා" අගමැතිවරයා පැවසීය.



ඊ-පුස්තකාලයක් බවට පත් කිරීමට සැලසුම්:

ගිනි තැබීමෙන් පසු කෙමෙන් කෙමෙන් ගොඩ නැඟනු යාපනය මහජන පුස්තකාලය යාපනය මහ නගරසභාව මඟින් පාලනය වන්නකි.

ග්‍රන්ථ මිලදී ගැනීම සඳහා වසරකට මිලියනකට අධික මුදලක් ඊට වෙන් වෙයි. සෑම විෂය කේෂත්‍රයකටම අදාළ පොත්පත් වලින් සමන්විත යාපනය මහජන පුස්තකාලයේ අද වන විට ඇති පොත්පත් ප්‍රමාණය 99000 ඉක්මවයි. එහි මේවන විට සිටින සාමාජිකයින් සංඛ්‍යාව 3000කට අධිකය.

ඕනෑම තරා තිරමක අයෙකුට අවශ්‍ය ග්‍රන්ථ මෙහි අන්තර්ගත වන අතර මූලික උපාධියේ සිට පශ්චාත් උපාධිය හදාරණ පුද්ගලයින්ට පවා අවශ්‍ය පොත්පත් එහි අඩංගු වෙයි.

පොත්පත් වලට අමතරව පුවත් පත් අංශයක්ද එහි වෙනම ම ස්ථාපිත කර ඇත. සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය පුවත් පත් 19ක් දිනපතා එහි කියවීම සඳහා තබනු ලැබේ. පාඨකයින්ගෙන් නිතරම පිරී පවතින යාපනය පුස්තකාලයට රජයෙන් මෙන්ම, විදෙස් තානාපති කාර්යාල වලින්ද බොහෝ ආධාර ලැබී තිබේ. ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය, අමෙරිකානු හා චීන තානාපති කාර්යාල මඟන්ද ආධාර රැසක් ලබා දී තිබේ.

ගිනි ගැනීමෙන් 41ක් වසරක් ගතවන මේ අවස්ථාවේදී යාපනය පුස්තකාලය ඊ-පුස්තකාලයක් බවට පත් කිරීම සඳහා මේවන විට මූලික කටයුතු ආරම්භ කොට තිබේ. එය යථාර්ථයක් බවට පත්වීමට තවත් කල්ගතවනු ඇත. එමඟින් ලොව ඕනෑම තැනක සිටින පුද්ගලයෙකුට අන්තර්ජාලය ඔස්සේ යාපන මහජන පුස්තකාලයේ ඇති ග්‍රන්ථ පරිශීලනය කිරීමට හැකියාව ලැබෙනු ඇත.

එම යෝජනාව සාර්ථක වුවහොත් යාපනය මහජන පුස්තකාලය යාපනය වැසියන්ට පමණක් නොව සමස්ත ලෝකයටම වැදගත් කීර්තිමත් පුස්තකාලයක් බවට යලි පත්වනු නොඅනුමානය.


රෝහල් සංරක්ෂණය කරන්නාක් මෙන් පුස්තකාලද රැකගත යුතු වස්තුවක්

යුද්ධය පැවති කාලයේ රෝහල් සංරක්ෂණය කරන්නාක් මෙන් පුස්තකාලද රැකගත යුතු වස්තුවක් ලෙස සැලකුණත් මෙම පුස්තකාලය ගිනි තැබීම දෙමළ ඉතිහාසය පමණක් නොව මුළු මහත් ලෝකයම කම්පනයට පත් කළ දෙයක් ලෙස යාපනය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පරමු පුෂ්පරත්නම් බීබීසී සිංහල සමග පැවසීය.

"මීට වසර 41 කට පෙර ගිනිබත් වූ පුස්තකාලය නැවත ගොඩනඟා ඇතත්, එය පිළිස්සී ගිය කාලය තුළ සොයාගත් වටිනාකම් නැවත ලබා ගැනීමට හැකිවෙලා නෑ. යාපනය මහජන පුස්තකාලය ශ්‍රී ලංකාවේ ඉතිහාසය, විශේෂයෙන්ම ශ්‍රී ලාංකේය දෙමළ ජනතාවගේ ඉතිහාසය ආරක්ෂා වූ ස්ථානයක් විදිහට තමයි සැලකුනේ."


awewජ්‍යෙෂ්ඨ මහාචාර්ය පරමු පුෂ්පරත්නම්


මේ පුස්තකාලයේ වටිනා අත්පිටපත් දහස් ගණනක් සංරක්ෂණය කරල තිබුනා, යාපනය මහජන පුස්තකාලයේ වෛද්‍ය විද්‍යාව, ජ්‍යොතිෂය, ඉතිහාසය සහ විහාරස්ථාන සම්බන්ධ අත්පිටපත් සිය ගණනක් සංරක්ෂණය කරලා තිබුනා එයට අමතරව, යාපනයේ ඉතිහාසය, සංස්කෘතිය සහ ආගමිකස්ථාන පිළිබඳ බොහෝ අත්පිටපත්, යුරෝපීය පාලන සමයේදී සංරක්ෂණය කරලා තිබුනා. විශේෂයෙන්ම 1782 බ්‍රිතාන්‍ය පාලන සමයේදී යාපනයේ ආගම්වලට සම්බන්ධ සියලුම ලිපි ලේඛන, විශේෂයෙන් හින්දු කෝවිල් ගැන. මුද්‍රිත ලේඛන සහ පෘතුගීසි සහ ලන්දේසි යුගයට අයත් බොහෝ අත්පිටපත් පුස්තකාලයේ සංරක්ෂණය කරලා තිබුනා."

"එත් ඒවා සියල්ලම පුළුස්සා දැම්මා. ඒ ලේඛන නැවත ලබා ගැනීමේ හැකියාවක් දැනට නෑ. ඒවා විනාශවෙලා ඉවරයි. අද ඒවා දකින්නේ විනාශ වූ ලේඛන ලෙසයි. යුරෝපීය අධිරාජ්‍යයේ පළ වූ බොහෝ පුවත්පත් පුස්තකාලයේ සංරක්ෂණය කර තිබුනා. දුර්ලභ දෙමළ සාහිත්‍ය රැසක් සංරක්ෂණය කර තිබුනා. බොහෝ ඓතිහාසික මූලාශ්‍ර සංරක්ෂණය කර තිබුනා."

"පුස්තකාලය නැවත ගොඩනැඟුවත්, එකවර සොයා ගැනීමට නොහැකි වූ හෝ සොයා ගැනීමට නොහැකි බොහෝ ලිපි ලේඛන ගිනිබත් වුනා. මෙය ශ්‍රී ලාංකීය දෙමළ ජනතාවගේ පමණක් නොව සමස්ත ලෝක ඉතිහාසයටම බලපාන සිදුවීමක් ලෙසයි මා දකින්නේ," ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පරමු පුෂ්පරත්නම් පැවසීය.

(BBC සිංහල සේවය)

 

 

Leader Whats app

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්