විසි එක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය
විජයදාස රාජපක්ෂ විසින් සඳුදා (06) පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කෙරෙනු ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම කෙටුම්පත ඇමැතිවරයා විසින් මීට සති දෙකකට පමණ ඉහතදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ අතර, සියලු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව, එය කැබිනට් මණ්ඩලයට නැවත ඉදිරිපත් කිරීමට එහිදී තීරණය විය.
ඒ අනුව, එම කෙටුම්පත සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හා දේශපාලන පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡා වට ගණනාවක් පැවති අතර එහිදී ඉදිරිපත්වූ සංශෝධන යෝජනා ද ඇතුළත් කොට නව කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇතැයි දැනගන්නට තිබේ.
විසිඑක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා සහාය දැක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරයක් කැමැත්තෙන් සිටින අතර, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හවුල් පක්ෂ නවය ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවක් කොන්දේසි සහිතව දැනටමත් කැමැත්ත පළ කර ඇත.
අගමැතිවරයා හිටපු කතානායක හමුවේ
අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ (04) රාත්‍රී හිටපු කතානායක කරු ජයසුරියද හමුවී ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා පවත්වා ඇත. කරු ජයසුරියගේ නිවසේ පැවති එම සාකච්ජාවට ' සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ' ප්‍රධානින් කිහිපදෙනෙකුද එක්ව සිටිබව වාර්තාවේ.
අගමැති රනිල් වික්‍රමසිංහ මෙහිදී පාර්ලිමේන්තු කාරක සභා ක්‍රියාවලිය සැලසුම් කිරීමට හිටපු කතානායක කරු ජයසූරියට ආරාධනා කර ඇතැයි ද වාර්තාවේ.
වගවීම වැඩි දියුණු කිරීම අරමුණු කරගත් නව පාර්ලිමේන්තු කාරක සභා පිහිටුවීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු කථානායක කරු ජයසූරිය ගෙන් ඉල්ලීමක් කර තිබෙන බවද වාර්තාවේ.
ආණ්ඩුවේ විෂයන් බෙදා ඒවා අධීක්ෂණය කිරීම සඳහා අධීක්ෂණ කාරක සභා 10ක් සහ මුල්‍ය කාරක සභා පහක් පත්කර ඒවායේ සභාපති ධූර පසුපෙළ මන්ත්‍රීවරුන්ට ලබා දීමට සහ එම කාරක සභා 15ට තරුණ නියෝජිතයන් සිවුදෙනෙකු නම් කිරීමට යෝජනා කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ එහිදී සඳහන් කළේය.
ඒ තුළින් තරුණයන්ට රටේ ප්‍රශ්න දැන ගැනීමට මෙන්ම ඒවාට විසඳුම් ඉදිරිපත් කිරීමට හැකිවන බව ද අගමැතිවරයා රටේ පවතින අර්බුදවලට විසඳුම් ලබා දෙන ආකාරය ගැන විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.
රටේ ප්‍රතිපත්ති, කැබිනට් මණ්ඩලයේ තීරණ සහ පාර්ලිමේන්තුවේ ප්‍රතිසංවිධාන ගැන කතා කිරීමට කතානායක, අගමැති, විපක්ෂ නායක සහ ප්‍රධාන පක්ෂ නායකයින්ගෙන් යුත් ජාතික සභාවක් පත්කිරීමේ අවශ්‍යතාවය ද ඔහු පෙන්වා දුන්නේය.
21වැනි ව්‍යවස්ථා සංශෝධනය, විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සහ පාර්ලිමේන්තුවේ බලතල වැඩි කිරීමට අදාල යෝජනා ගැන අගමැතිවරයා මෙහිදී අදහස් පළ කළේය.
https://theleader.lk/news/11936-21-15#sigProIda04a38dc6d