ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයට ප්‍රකට බැංකුකරුවකු වන දිනේෂ් වීරක්කොඩි පත්කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ
යෝජනාකර ඇතත් ජනාධිපතිවරයා එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කර ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
එම තත්වය තුළ අගමැතිවරයා ඉල්ලා අස්වීමේ සුදානමක් ගැනද සමාජ මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් පළවේ.
වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ගේ නිල කාලය මෙම මස (ජූනි මස) 30දා අවසන්වීමට නියමිත ය. ඉන් පසුව නව මහ බැංකු අධිපතිවරයකු හෝ වත්මන් අධිපතිවරයාම නැවත පත්කිරීමට ජනාධිපතිවරයාට සිදුවන බව මහ බැංකු ආරංචි මාර්ග කියයි.
පවත්නා ව්‍යවස්ථානුකූල තත්ත්වය අනුව මහ බැංකුවට නව අධිපතිවරයකු පත්කිරීමට පෙර ඒ සඳහා මුදල් අමාත්‍යවරයාගේ ලිඛිත නිර්දේශය ජනාධිපතිවරයා විසින් ලබාගත යුතුව ඇත. ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා ලෙස සුදුසු නමක් නිර්දේශ කළ යුතුය.
ඒ අනුව මේ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර අදහස් හුවමාරුවෙමින් පවතින බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
ආචාර්ය නන්දලාල් වෙනුවට අගමැතිවරයා විසින් නම්කර ඇතැයි පැවසෙන දිනේෂ් වීරක්කොඩි යනු එජාප හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග ගේ බෑණනුවන්ය.
ජනපති ගෙන් නන්දලාල් ට සහතිකයක් !
මහ බැංකුවේ අධිපති ලෙස කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල්ගේ ඉල්ලා අස්වීමෙන් පසුව, ආචාර්ය නන්දලාල් වීරසිංහ ඔස්ට්‍රේලියාවේ සිට පැමිණ මහ බැංකු අධිපති ධුරය බාරගනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කරනු ලැබූ පෞද්ගලික ආරාධනයක් මතය.
මහ බැංකුවේ කටයුතු කිසිදු බාහිර ඇඟිලි ගැසීමකින් තොරව නිදහසේ සහ ස්වාධීනව කරගෙන යෑමට අවශ්‍ය වටපිටාව තමන් ඇතිකරන බවට ජනාධිපතිවරයා මිට දින කිහිපයකට පෙරද ආචාර්ය නන්දලාල් වීරසිංහ වෙත සහතික වී තිබු අතර ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් ඒ සම්බන්ධව නිවේදනයක් ද නිකුත්කර තිබිණ.
'බොරු කතාවක්' - වීරක්කොඩි කියයි
කෙසේවුවද මහ බැංකු අධිපති ලෙස තමාගේ නම යෝජනාවී ඇතැයි පලවන වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් දිනේෂ් වීරක්කොඩි මාධ්‍යවෙත පවසා ඇත්තේ, එම පුවත්පත් වාර්තා මුළුමනින්ම අසත්‍ය පුවතක් බවයි.
පහත පලවන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අශෝක ජයතුංග ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහනකි.
රනිල් අගමැති කරවූ මහබැංකු අධිපතිගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය !
අගමැති ධුරය බාරගන්නා ලෙස විපක්ෂනායකයා වෙත ආරාධනා කිරීමටත්, එම ඉල්ලීම ප්‍රතික්ෂේපවිම තුල රනිල් වික්‍රමසිංහට අගමැතිධුර බාරගන්නා ලෙස ඉල්ලා සිටීමටත් ජනාධිපතිවරයාට සිදුවුයේ මැයි 09 වෙනදා මහින්දවාදීන් පිරිසක් විසින් ජන අරගල භූමියට එල්ල කල ප්‍රහාරය හා ඉන් අනතුරුව මහ බැංකු අධිපතිවරයා සිදුකල ආන්දෝලනාත්මක ප්‍රකාශයයි. නොඑසේනම් මැයි 11 දා අගමැති ලෙස දිව්රුම්දීමට නියමිතව සිටියේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාය.
''සාමකාමී අරගල කරන අයට නීති විරෝධී ලෙස පහරදීම පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා''- මහ බැංකු අධිපති
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහමැයි 11 දා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ, සතියක් හෝ දෙකක් තුළ දේශපාලන ස්ථාවරයක් ඇති නොවන්නේ නම්, තමා ධුරයේ රැඳී නොසිටින බවයි.
මහ බැංකු අධිපතිවරයා, අවධාරණය කළේ රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇතිකර නොගන්නේ නම්, ආර්ථිකය ගොඩනැංවීම කළ නොහැකි බවයි.
මෙරට දේශපාලනය අස්ථාවර වීමේ පළමු සිද්ධිය මිරිහානේ වූ සිදුවීම බවත් තමන් මහ බැංකු අධිපති ධුරයට භාර ගැනීමට කැමැත්ත පළ කළේ ඊට පෙර බවත් ඔහු සඳහන් කළේය.
ඔහු පැවසුවේ සති දෙකක් වැනි කාලයක් තුළ එම තත්ත්වය ස්ථාවර වනු ඇති බවටත් අනතුරුව ආර්ථික වැඩපිළිවෙළ සාර්ථකව කර ගැනීමට හැකි වනු ඇති බවටත් තමන් බලාපොරොත්තු වූ බව ය.
එහෙත් මේ වන විට පැවති තත්ත්වය උග්‍ර වී ඇති බවත් මහ බැංකු අධිපතිවරයා එම මාධ්‍ය හමුවේ දී සඳහන් කළේය.
මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේ, සියලු දේශපාලන පක්ෂ එකතු වී රට ස්ථාවර කිරීමට කටයුතු නොකරන්නේ නම්, තමන්ට පමණක් නොව කිසිවෙකුට රට ගොඩගැනීමට නොහැකි බවයි.
"මම මේකේ හිටියා කියලා විසඳුමක් වෙන්නේ නැහැ. ඒක තනියම මට හෝ කවුරු මේ තනතුරට ආවත් මහ බැංකුවක් විසින් තනියම මේ රට ගොඩගැනීමට බැහැ ඒ අත්‍යවශ්‍ය ස්ථාවරත්වය රටේ නැත්නම්. එතකොට රටේ හැමෝම අමාරුවේ වැටෙනවා. හැමෝම අරාජික තත්ත්වයට පත් වෙනවා. එවැනි පාලන ක්රමයක මහ බැංකු අධිපතිවරයෙකු ලෙස කටයුතු කිරීමට මගේ බලාපොරොත්තුවක් නැහැ.
මම ඒක පැහැදිලිව කියලා තියෙනවා සියලු ම දේශපාලන පක්ෂවලට, ජනාධිපතිතුමා ඇතුළුව හැමෝටම මම ඒ පණිවිඩය දීලා තියෙන්නේ. ගිය සතියේ මේක සිද්ධ වුණාට පස්සේ මම ඒ පණිවිඩය දුන්නා ඒ හැමෝට ම."
''සාමකාමී අරගල කරන අයට නීති විරෝධී ලෙස පහරදීම පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා''
මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත්මෙසේ සඳහන් කළේය.
"සාමකාමී අරගල කරන අයට නීති විරෝධී ලෙස පහරදීම පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. ඊට පස්සේ සිදු වෙච්ච සිද්ධි ඒ ආකාරයෙන්ම පිළිගත නොහැකි තත්වයක්. ගෙවල් ගිනි තැබීම, මිනීමැරීම්, නීතිය අතට ගැනීම් යම් යම් කණ්ඩායම්. ඒවට විරුද්ධව යම් කිසි ආකාරයක නීති රාමුව යටතේ කටයුතු නොකිරීම, එහෙම කටයුතු පවතින මොනම රටකවත් ආර්ථිකය යථා තත්ත්වයට පත් කරන්න බැහැ. බොහොම අසීරු කාර්යයක්. බොහොම අසීරු කාර්යයක් අපි මෙතෙක් කල් කරගෙන යන අතරතුරේ මේ වගේ දේවල් සිද්ධ වෙනකොට රටේ නීතිය හා සාමය හරියට ක්‍රියාත්මක වෙන් නැති තත්වයක, රටේ යම්කිසි ප්රචණ්ඩත්වයක් සිදුවෙමින් පවතිනවා නම් එතනට අවශ්‍ය විදිහට ක්‍රියාමාර්ග නිසි ආකාරයෙන් පවතින් නැත්නම් ඒ රටේ ආර්ථික ස්ථායිතාව හෝ යම් අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ එන්න ඒක උදව්වක් වෙන්නැහැ."
ඔහු වැඩිදුර අවධාරණය කළේ, "රටේ ආර්ථිකය ගොඩනැගීමට ස්ථාවර දේශපාලන තත්ත්වයක් පැවතීම අත්‍යාවශ්‍යයි. දැන් අපි පත් වෙලා තියෙන්නේ රටේ අගමැති කෙනෙක් නැති, මුදල් ඇමති කෙනෙක් නැති, පාර්ලිමේන්තුව යම්කිසි ක්‍රියාදාමයක් නැති, විධායක ජනාධිපති වරයෙක් පමණක් සිටින අකර්මණ්‍ය තත්ත්වයක. හැකි ඉක්මනින් යම්කිසි ආකාරයක ස්ථාවර පාලන ක්‍රමයක්, ස්ථාවර රජයක්, රටේ තියෙන්න දැන් තියෙන තත්ත්වය සමථය කළ හැකි නීතිය හා සාමය මීට වඩා හොඳ ආකාරයට පවත්වාගෙන හැකි රජයක පැවතීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා වගකීම තියෙන්නේ ජනතාව විසින් පත් කරගත්තු ඒ නියෝජිතයින් 225 දෙනාට සහ ජනාධිපතිතුමා කියන ජනතා නියෝජිතයින්ට."
සබැඳි පුවත් :
මහ බැංකු අධිපතිගේ නිල කාලය ජුනි 30 දා ඉවරයි !
''මහ බැංකුවේ ස්වාධීනත්වයට බාධා කරන්න දෙන්නේ නැහැ' - ජනපති