වර්තමාන ආණ්ඩුව යළිත් පෙර වැරදි කිරීමට උත්සාහ ගන්නේ නම් ආණ්ඩුවට සහයෝගය දීමට සූදානම් නොමැති බව ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා එබව සඳහන් කළේ, ඊයේ (07) පාර්ලිමේන්තුවේදී ය.
ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩු පසුගිය දෙවසරක කාලය තුල ගනුලැබූ ඇතැම් ක්‍රියාමාර්ග ඔහු දැඩි ලෙස විවේචනය කළ මන්ත්‍රීවරයා, එම වැරදි අඩුපාඩු නිවැරදි කරගෙන ඉදිරියට යාමට අගමැතිවරයාට සහයදෙන බවද කියා සිටියේය.
නාලක ගොඩහේවා පාර්ලිමේන්තුව අමතමින් සිදුකළ ප්‍රකාශය පහත පළවේ.
''පසුගිය මාස කිහිපය මේ රටේ දේශපාලනයේ විශාල වෙනසක් සිදු වූ කාල පරිච්ඡේදයක්. තුනෙන් දෙකක බලයක් තිබිච්ච ආණ්ඩුවක් මේ වන විට පවත්වාගෙන යන්නේ තුන්වෙනි ආණ්ඩුව. අපේ අගමැතිවරයා පවා වෙනස් වෙලා වෙනත් අගමැතිවරයෙක් පත් කර ගන්නට සිදුවුණා. මේ වෙනස්වීමේදී දෙවන කැබිනට් මණ්ඩලය පත්වන වෙලාවේ මාවත් ඒ කැබිනට් මණ්ඩලයේ ඇමතිවරයෙක් වශයෙන් පත්වුණා. මම ඒ වෙලාවේ දින දෙකක් ඇතුළත මගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිතුමාට භාර දීලා කිව්වා මට මේ කැබිනට් තනතුරු අවශ්‍ය නැහැ, මේ රටේ මේ වෙලාවේ තිබෙන ප්‍රශ්නය විසඳන්න සර්ව පාක්ෂික ආණ්ඩුවක් අවශ්‍යයි රටට. ඒ වෙනුවෙන් මම මගේ කැබිනට් පදවිය පරිත්‍යාග කරන්න කැමතියි කියලා.
මොකද මේ වෙලාවේ අප හැම දෙනාටම අවශ්‍ය වෙන්නේ මේ විශාල අර්බුධයෙන් ජනතාව ගලවා ගන්න. ජනතාව ඉන්න පීඩනයෙන් ගලවා ගන්න.
කෙසේ වෙතත් දැන් තුන්වන කැබිනට් මණ්ඩලයක් ඇවිල්ලා තිබෙනවා. අපි සියළු දෙනාම එකඟ වෙලා තිබෙනවා ඒ කැබිනට් මණ්ඩලයට, ආණ්ඩුවට සහය දෙන්න. මොකද රටට අවශ්‍ය වෙලා තිබෙන්නේ මේ වෙලාවේ මේ අර්බුදයෙන් රට ගලවා ගන්න එක නිසා.
දින කිහිපයකට කලින් මම බණකට සහභාගී වෙච්ච වෙලාවේ හාමුදුරුවෝ අපූරු කතාවක් කිව්වා. උන් වහන්සේ කිව්වා ක්‍රිකට් තරඟයක් පරාජය උනහම සාමාන්‍යයෙන් බැණුම් අහන්නේ අන්තිම පිතිකරුවෝ දෙන්නා. එහෙමත් නැත්නම් අන්තිමට පන්දු යවපු අය. නමුත් ටෙස්ට් තරඟයකදී ඒ විදියට අවසානයේදී ආපු පිතිකරුවන්ට හෝ පන්දු යවන්නන්ට බනින්න බැහැ කියලා. ඇත්තටම ආණ්ඩුකරණය ගැන කියන කොටත් ඇත්තටම ගරු නියෝජ්‍ය කතානායක තුමනි ඇත්ත කතාව.
''අද මේ තිබෙන අර්බුදයට වර්තමාන ආණ්ඩුව වගකියන්න ඕනේ. ප්‍රශ්න විසඳාගන්න බැරිවෙච්ච එක මේ අර්බුදය කලින් දැකලා වලක්වා ගන්න බැරිවෙච්ච එක ගැන වර්තමාන ආණ්ඩුවත් වගකියන්න ඕනේ. වර්තමාන ආණ්ඩුව විතරක් නෙමෙයි මීට කලින් හිටපු ආණ්ඩු ගණනාවකුත් මේ සම්බන්ධයෙන් වගකියන්න ඕනේ.''
අපි කර ගත්ත බරපතල වැරදි මොනවද ?
මේ ආණ්ඩු ගණනාවක් තිස්සේ අපි කර ගත්ත බරපතල වැරදි මොනවද කියලා අද මේ තිබෙන ආර්ථික අර්බුදයට හේතු සාධක වන්නට. පළමුවෙන්ම අපි යුද්ධයෙන් පස්සේ විශාල වශයෙන් ආයෝජනය කරලා යටිතල පහසුකම් සඳහා. විශාල වශයෙන් ණය ලබාගත්තා ඒවා සඳහා. ස්වෛරී බැඳුම්කර පමණක් 2010 -2014 කාලයේ ඩොලර් බිලියන 5ක් පමණ ලබාගෙන තිබුණා. ඊ ළඟ ආණ්ඩුවත් ඩොලර් බිලියන 12.5 ක් ස්වෛරී බැඳුම්කර ගත්තා.
හැබැයි මේ යටිතල පහසුකම්වලින් මේ කරපු විශාල ආයෝජන වලින් ඇත්තටම රටට ආදායම උපයන ව්‍යාපෘති හැදුනද කියන ප්‍රශ්නය අපට අහන්න වෙලා තිබෙනවා. ඒක තමයි අද තිබෙන අර්බුදය ප්‍රධානතම ප්‍රශ්නයක් තියෙන්නේ. අපි ණය ගෙවනවා.
හැබැයි ණය ගෙවන්න අවශ්‍ය විදිහට අපි ආදායම් උපයගෙන නැහැ. අපි ඉදිරියටවත් මේ ප්‍රශ්නය වලක්වා ගන්නට ඕනේ. නැත්නම් මේක සදාකාලික පවතින ප්‍රශ්නයක් වෙනවා මේ රටේ.
සහණාධාර ???
ඊ ළඟට සහණාධාර, අපි දන්නවා පහුගිය කාලේ කාලාන්තරයක් තිස්සේ ආණ්ඩු ගණනාවක් සහණාධාර ,දේශපාලන හේතු මත දෙන්න පටන් අරගෙන විශාල ප්‍රමාණයක් ආණ්ඩුව සහනාධාර වියදම් කරනවා. පහුගිය අවුරුද්දේ විතරක් රුපියල් බිලියන 583 ක් සහනාධාර සඳහා වෙන් කරලා තිබෙනවා.
මේ වෙලාවේ මේ රටේ ඉන්න දුප්පත් මිනිස්සුන්ට, අහිංසක මිනිස්සුන්ට සහණාධාර දෙන්නට ඕනේ. හැබැයි අපට ප්‍රශ්නයක් තිබෙනවා මේ සහනාධාර දෙන කොට සහනාධාර හම්බෙන්නේ නැති විශාල පිරිසක් අපි දැකලා තිබෙනවා සමාජයේ. අපේ ආසනවල දකිනවා කොහොමද ඒ අය මග ඇරුණේ. කොහොමද මේ ක්‍රමය මේ විදිහට සකස් වුණේ කියන ප්‍රශ්නය අපි අහන්නට ඕනේ.
පහුගිය කාලේ වංචා දූෂණ ගැන අගමැතිතුමා කතා කළා. කතාකරන කොට මට ඔලුවට ආපු කාරණය තමයි බැඳුම්කර වංචාව. ඒ වගේම මහාපරිමාණ මංකොල්ල ගැන අද වනතුරු අපි කතා කරලා නැහැ. අපේ ආණ්ඩුව යමක් කරලා නැහැ. එහෙම නම් මේ රටේ අල්ලස් දූෂණ වංචා ගැන කතා කරන කොට අපි කතා කරන්නේ පොඩි පොඩි දේවල් ගැන විතරද මේ වගේ මහාපරිමාණ දේවල් කරලා පැනලා යන්න පුළුවන්නම් , දිගින් දිගටම මෙහෙම කරන්න පුළුවන්නම් ඒකෙන් කොහොමද මේ රටේ තිබෙන ප්‍රශ්න විසඳන්නේ කියන කතාව අපිට අහන්න වෙනවා.

පටන් ගන්න කොටම ඒ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය හදන්න කිසිසේත්ම සම්බන්ධ වෙච්ච නැති පුද්ගලයෙක් ගෙනල්ල ජනාධිපති ලේකම්වරයා වශයෙන් පත් කරලා භාණ්ඩාගාරය, මහ බැංකුව මේ සියල්ල පාලනය කරන්න පුළුවන් තත්වයක් අපි ඇති කරලා දුන්නා. අද මේ අය කරපු වැරදි ගැන අපි කතා කරන්නේ නැහැ. ඒ අය ගත්ත තීන්දු තීරණ නිසා තමයි අද අපේ මේ රටේ ආර්ථිකයට විශාල ප්‍රශ්නයක් ඇතිවෙලා තිබෙන්නේ.
කවුද ගත්තේ මේ බදු අඩු කරන තීන්දුව. අපේ අනුර ප්‍රියදර්ශන යාපා අපේ ෆයිනෑන්ස් කොමිටි එකේ සභාපතිතුමා ඉන්නවා, අපි ඇහුවා මේ බදු අඩු කරන කොට අඩු ගනනේ ගණනය කිරීමක් කළාද කොච්චරක් ද රටට වන හානිය, කොච්චරක්ද වෙන අඩු කිරීම කියලා. නමුත් එහෙම දෙයක් සිදු වෙලා තිබුනේ නැහැ. ඒ වගේ වැරදි අඩුපාඩු වෙලා තිබුණා.
IMF නොගිය වරදට වන්දි ගෙවනවා ..
ඊ ළඟට ඩොලර් අර්බුදයක් එන බව පැහැදිලිව දැනගෙන අයිඑම්එෆ් එකට යන්න කියලා අපි ඇතුලේ ඉඳන් කියද්දි, විපක්ෂය එළියේ ඉඳන් කියද්දි ඒක ගිය නැති එක. අද අපි අයිඑම්එෆ් එකට ගිහින් තිබෙනවා. ඒකට ගියහම අපි හැමෝම දන්නවා අඩු ගානේ මාස 6 ක් වත් යනවා. අඩුම ගානේ සැප්තැම්බර් වෙනකන් සල්ලි එන්නේ නැහැ අයි.එම්.එෆ් එකෙන්.
අපි තානාපතිවරුන්ට කතාකළහම මමත් ගිහින් ජපන් තානාපති තුමාට කතා කළහම ඒගොල්ලො කියන්නෙ මොකක්ද "until you sort out your staff level agreement we cant help. You first get it done." මේවා අපි කරන්නේ නැතිව කතාකර කර ඉඳලා අපි කරගත්ත අඩුපාඩු නිසා තමයි අද මේ ජනතාව දුක් විඳින්නේ.
මේ කතා කරන වෙලාවෙත් මගේ රියදුරා දැන් පැය ගණනක් තිස්සේ ඩීසල් පෝලිමක නතර වෙලා ඉන්නවා. ඒක තමයි යතාර්ථය. අපි ඔක්කොම මැති ඇමතිවරු කියලා විශේෂයක් නැහැ අද මේ ප්‍රශ්නෙන් අපි හැමෝම දුක්විඳිනවා. එහෙමනම් අපි මොකද්ද කරන්නට ඕනේ.
දැන් අපි හැමෝම එකතුවෙලා ඒ පැත්තේ වැරදි මේ පැත්තේ වැරිදි කතා කර කර ඉන්නේ නැතිව දැන්වත් අපි මේක නිවැරදි කරගන්න ඕනේ. එහෙමනම් අපි ආපහු ගිහින් බලනකොට මේ හුදු දේශපාලනය සඳහා පහුගිය කාලාන්තරයක් තිස්සේ අපි කරපු වැරදි නිවැරදි කරගෙන දැන්වත් තීන්දු තීරණ ගන්නට පටන් ගන්න ඕනේ.

මේ පරණ දේශපාලන විශේෂඥයෝ විතරක් නෙමෙයි අලුත් දේශපාලනඥයින්ටත් එන්න ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණවලදී ඔවුන්ට අවස්ථාව ලබාදෙන්න පුළුවන් ක්‍රමවේදයක් අපි හදන්නට ඕනේ.
ගරු නියෝජ්‍ය කතානායක තුමනි,
අපි මීළඟට කරන්නට ඕනේ මොකද්ද. අපි පහුගිය කාලේ මේ පාර්ලිමේන්තුවේ කාලය නාස්ති කළා එකි නෙකාට බැණ ගනිමින්. දෝෂාරෝපණය කර ගනිමින්. අද පාර්ලිමේන්තුවේ මම දැක්කා ඊට වඩා සාර්ථක ක්‍රමවේදයක් පහුගිය කාලේ දැක්කට වඩා. අඩු ගානේ කතා කරන්න නිදහස තිබුණා. කතාවට බාධා කළේ නැහැ.
මේ පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කරන්නට ඕනේ වැදගත් කරුණු. අපි ජනතාවට කියන්නට ඕනේ සත්‍ය කුමක්ද කියන එක. අපි අභියෝග කරන්නට ඕනේ එකිනෙකාට. අපි විපක්ෂයට පමණක් නෙමෙයි අභියෝග කරන්නට ඕනේ. අපි අභියෝග කරන්න ඕනේ අපේ රජයටත්. අපි අවබෝධ කර ගන්න ඕනේ අපි කරපු වැරදි ගැන. ඒ වැරදි නිවැරදි කරගන්නේ නැතිව මේ ගමන යන්නට බැහැ.
අපිට තනතුරු වැඩක් නැහැ. අපි කැබිනට් මණඩලයෙන් ඉවත් වුණේ තනතුරු අවශ්‍ය නිසා නෙමෙයි. මම විශ්වාස කරනවා මේ වෙලාවේ අපේ වියදම් අඩු කරගෙන කැබිනට මණ්ඩලයේ තිබෙන වියදම් අඩු කරගෙන, ඔය තිබෙන විදිහට තියාගෙන අපි මේ තිබෙන ප්‍රශ්නවලට විසඳුම් සොයන්නට ඕනේ.
අපි පිළිගන්නේ නැහැ අගමැතිතුමාගේ මතවාදය. මම අගමැතිතුමාට විරුද්ධව කතා කරපු කෙනෙක්. මහබැඳුම්කර මංකොල්ලය ගැන කතා කරලා තමයි මට විවිධ පරික්ෂණ ඒ කාලයේ පටන් ගත්තේ. අගමැතිතුමාගේ එෆ්සීඅයිඩී එකෙන් අපි තවමත් හිරි හැර විඳිනවා.
මොකද අපි යම්කිසි මතවාදයක් වෙනුවෙන් පෙනී සිටිනවා. අපි මේ දේශපාලනයට ආවේ, පාර්ලිමේන්තුවට ආවේ ජනතාවට යම්කිසි දර්ශනයක් ඉදිරිපත් කරලා. අපි ජනතාවගෙන් සමාව ඉල්ලනවා අපිට එය ක්‍රියාත්මක කරන්න අවස්ථාව ලැබුනේ නැහැ. අපට එය ක්‍රියාත්මක කරන්න බැරි උනා. ඒ නිසා තමයි ප්‍රශ්නය ඇතිවුණේ.
අපි දැන් හරි මේ පෙර වැරදි තේරුම් අරගෙන අපි මේක නිවරදි කර ගන්නට උත්සාහ කරනවා. ඒ ගමන වලක්වන්නට, වැරදි පාරක යන්නට කවුරු හරි උත්සාහ කරනවා නම්, අපේ ආණ්ඩුව හරි උත්සාහ කරනවා නම් ඉදිරියට අපි හිස නමන්නට සූදානම් නැහැ කියන කාරණයත් අපි පැහැදිලිවම කියනවා.
අපි මේ වෙලාවේ ජනතාවට පොරොන්දුවක් දෙනවා අපේ රට විශාල අර්බුදයක වැටිලා ඉන්නවා අවුරුදු ගණනකට ගොඩ එන්න බැහැ වගේ පෙනෙන ප්‍රශ්නයක් අපට තිබෙනවා. හැබැයි මේක ගොඩදාන්න බැරි ප්‍රශ්නයක් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මම ආර්ථික විද්‍යාව හදාරපු කෙනෙක් මේ රටේ තිබෙන පුංචි ආර්ථිකය ඇමරිකානු ඩොලර් බිලියන 80 ක 85 ක ආර්ථිකය අපට කළමනාකරණය කර ගන්න බැරි නම් අපි ඉඳලා වැඩක් නැහැ. මේ රටේ විද්වත්තු ඉඳලා වැඩක් නැහැ. මේක කලමනාකරණය කරන්න පුළුවන්.
හැබැයි කළමනාකරණය කිරීම සඳහා කළයුතු දේ දන්න, කළයුතු අවශ්‍යතාවය තිබෙන, ඒ සඳහා අවශ්‍යකරන උනන්දුව තිබෙන, කැපවීම තිබෙන පිරිසකට අපි භාර දෙන්නට ඕනේ. අපි විශ්වාස කරනවා අපි කණ්ඩායමකට භාර දීලා තිබෙනවා අපි උපේක්ෂාවෙන් බලා ඉන්නවා ඒ අය මේ වැඩේ කරනවාද කියලා. අපි අපව ස්වයං විවේචනය කරනවා. අපි අපේ බලපෑම කරනවා.
අපි විපක්ෂයෙනුත් ඉල්ලා සිටිනවා අපි සියළු දෙනාම එකතුවෙලා මේ මාස හය අවුරුද්දක කාලය අපි මේක නිවැරදි කරන්න පටන් ගමු. අවුරුදු ගානක් තිස්සේ අපි ඔක්කොම එකතුවෙලා කරපු වැරදි නිවැරදි කරලා මේ රට හරි මාර්ගයට යොමුකරලා අපේ අනාගත දරුවන්ට, අපේ තරුණ පරපුරට අනාගතයක් සකස් කරලා දෙමු කියන කාරණය මතක් කරමින් මගේ කතාව අවසන් කරනවා.''
https://theleader.lk/news/11984-2022-06-08-03-59-25#sigProIda04a38dc6d