ජූනි මස 20 වැනි දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මෙරටට පැමිණෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.
අගමැතිවරයා එබව සඳහන් කර ඇත්තේ, මෙරටට මාධ්‍ය ආයතන හිමිකරුවන් සමග ඊයේ (09) පස්වරුවේ පැවැති සාකච්ඡාවේදිය.
මෙම සාකච්ඡාවේදී අගමැතිවරයාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර් .එස්.එච්.සමරතුංග විසින් රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව සහභාගි වූවන් දැනුවත් කර සිටිබව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.
ජුනි මාසය අවසන් වන විට IMF සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළැඹෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව අගමැති රනිල් වික්‍රමසිංහ එහිදී පැහැදිලි කර ඇත.
පවතින ආහාර හිඟය හේතුවෙන් රට තුළ ආහාර සුරක්ෂිතතා වැඩසටහන දියත් කරන බව පවසා ඇති අගමැතිවරයා, ආහාර සුරක්ෂිතතා වැඩසටහන තුළින් ආහාර වේල් 3ක් ලබා ගැනීමට නොහැකි ජනගහනයෙන් 10% කට නොමිලයේ ආහාර ලබාදීමට රජයට හැකිවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද සඳහන් කර තිබේ.
තත්ත්වය පිළිබඳ සැබෑ චිත්‍රයක් ඉදිරිපත් කිරීමට රජයට සහාය වන ලෙස ඔහු මාධ්‍ය හිමිකරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබිණ.
අවශ්‍ය විටෙක මාධ්‍ය විසින් රජයට වගවිය යුතු බවත්, නමුත් ඒ සමඟම වගකීම් සහගත වාර්තාකරණයක් අනුගමනය කරන ලෙසත් අගමැතිවරයා ඉල්ලා තිබේ.
මාධ්‍ය හිමිකරුවන් පවතින තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී අගමැතිවරයා පවසා ඇත්තේ, ආර්ථිකයට සිදුවී ඇති හානිය නිසා එහි ප්‍රතිඵල රටට විඳීමට සිදුවන බවයි.
කෙසේ වෙතත්, රජය මූල්‍ය සහ සැපයුම්, ආධාර ලබා දීම තුළින් බලපෑම අවම කිරීමට උපරිම උත්සාහයක් ගන්නා බව අගමැතිවරයා අවධාරණය කර තිබේ.
සමාජ අංශයේ සහාය සඳහා රුපියල් බිලියන 200 ක මූල්‍ය ආරක්ෂණ ජාලයක් රැස්කරමින් සිටින අතර ජපානයේ විශ්වාසය යළි ඇති කර ගැනීමට සහ ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීමට ජපානය සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද අගමැතිවරයා මාධ්‍ය හිමිකරුවන්ට තවදුරටත් පැහැදිලි කර ඇත.
ආහාර සහ වෛද්‍ය සැපයුම් සඳහා ආධාර ලබා දෙමින් රටවල් ඉදිරියෙන් සිටින බවත්, කෙසේ වෙතත් කිසිදු රටක් නොමිලේ ඉන්ධන ලබාදීමට පියවර නොගන්නා බවත් අගමැතිවරයා පවසා තිබේ.
ඉදිරි මාස කිහිපය තුළ රට ගොඩනැගීමට මාධ්‍ය ආයතනවල සහය මත විශ්වාසය තබන බව අගමැති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
ණය දෙන දිනයක් තවම කියන්න බැහැ - IMF කියයි
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ, ශ්‍රී ලංකාවට ලබාදෙන ණය ප්‍රමාණය පිළිබඳ හෝ ශ්‍රී ලංකාව සමඟ කාර්ය මණ්ඩල මට්ටමින් ගිවිසුමකට එළඹෙන දිනයක් පිළිබඳ තවමත් ප්‍රකාශ කළ නොහැකි බවයි.
එහි ප්‍රකාශක ජෙරී රයිස් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් මේ මාසය තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි.
කාර්යමණ්ඩල මට්ටමේ ගිවිසුම් ගතවීමේ අවසන් දිනය ප්‍රකාශ කිරීමට තවමත් කල් වැඩි බව ඔහු පවසා ඇත.
අදාල ගිවිසුමට එළඹීම රඳා පවතින්නේ සිදුකරන යෝජනා සහ ප්‍රතිපත්ති සඳහා කැපවන ශක්තිය මත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයා මෙහිදී පවසා ඇත.
''ශ්‍රී ලංකාවේ ණය තිරසර භාවය යථාතත්ත්වයට පත් කිරීම සඳහා ප්‍රමාණවත් සහතිකයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍යයි.
'' කෙසේවෙත්තත් ශ්‍රී ලංකා බලධාරීන් සමඟ පැවැත්වූ තාක්ෂණික සාකච්ඡා මත පදනම්ව ප්‍රතිපත්තිමය සාකච්ඡා සඳහා සිය නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශක ජෙරී රයිස් වැඩිදුරටත් පවසා ඇත.
ඉදිරි මාසයක් හෝ මාස එක හමාරක කාලයක් තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගත වීමට ශ්‍රී ලංකා රජය අපේක්ෂාවෙන් පසුවේ.