මාධ්‍ය සාකච්ඡාවේදී බැසිල් රාජපක්ෂ රටේ බිද වැටීම රටේ ජනතාව සහ මාධ්‍ය කර මත තැබුවේ උපන් ගෙහි තක්කඩියෙකු වීම නිසාය.
තීරණාත්මක අවස්ථාවල සමහර මිනිසුන් කියන කතා බෙහෙවින් ආන්දෝලනාත්මකය.
බැටිස්ටාගේ පාලනය යටතේ සිර දඩුවම් නියමවූ පිදෙල් ක්‍රැස්තෝ කීවේ ඉතිහාසය විසින් තමන් නිදහස් කරනු ඇත කියාය.
මරණීය දඩුවමට නියමවූ උතුවන්කන්දේ මිනීමරු සරදියෙල් දෑත් බැද පෝරකයට ගොඩ කළ මොහොතේ මා දෙස බලා පල්ලා. මාව ආදර්ශයට ගනිල්ලා යයි කෑ ගසා කීය. ඒ පල් හොරාගෙන් සමාජය ගත යුතු ආදර්ශය හොරකම් කිරීමද? මං කොල්ල කෑමද? එල්ලුම් ගස් යාමද? නොහොත් යහපත් මිනිසෙකු වීමද?
දන්දිනා දිසානායක වැදූ මැදමුලන රාජපක්ෂලා නම් හරියටම සරදියෙල් ආදර්ශයට ගෙන ක්‍රියා කළහ. සමහර නඩු කාරයන් රාජපක්ෂලා නිදොස් කොට නිදහස් කළද, ක්‍රැස්තෝ අපේක්ෂා කළ පරිදි ඉතිහාසය රාජපක්ෂවරු කුණු කූඩයට විසි කරනු මිස, නිදොස් කොට නිදහස් කරන්නේ නැත.
එපමණක් නෙවේ. අනාගතයේ රාජපක්ෂලා පසුපස යන කිසිවෙකු රට බිලිගත් මේ විනාසයට කොටුවූ ජනතා සාපයෙන් බේරෙන්නේ නැත. බැසිල්ගේ නික්ම යාමෙන් ඇතිවූ හිදැස ගැන පළවූ සිළුමිණ කතු වැකියෙන් පෙනී යන්නේ ඒ විශිෂ්ට පුවත්පතේ වත්මන් භාරකාරයන්ට රටේ ප්‍රශ්නවලට වඩා බැසිල්ගේ නික්ම යාම දරාගත නොහැකි ඛේදවාචකයක් බව ය.
1970දී මහ මැතිවරණයෙන් අගමැති ඩඩ්ලි සේනානායක සමග එජාපය පරාජය වීමෙන් පසු දවසක බොරැල්ලේ කිංසි පාරේ සිය මෝටර් රිය පදවමින් තනිව ගමන් කළ ඩඩ්ලිට පාරේ සිටි කිහිප දෙනෙකු හූ කීහ. වහා තම වාහනය නැවතූ එවකට පනස් නව හැවිරිදි ඩඩ්ලි මග අසල රැදී සිට එකී පිරිස වෙත පැමිණි විමසා සිටියේ තමන්ට හූ කීවේ ඇයිද කියාය. කිසි විටෙකත් අපේක්ෂා නොකළ ඒ සිද්ධියෙන් විමතියට පත් ඩඩ්ලිට හූ කී කිසිවෙකු පිළිතුරු දීමට ඉදිරිපත් වුණේ නැත. ඒ අවස්ථාවේ ඩඩ්ලි සේනානායක කළ ප්‍රකාශය, බැසිල් සරදියෙල් සහ ක්‍රැස්තෝ කළ ප්රකාශයන්ට වඩා වෙනස් ය.
ඩඩ්ලි කීවේ ‘‘මා පත් කළේ ජනතාව. මා පරාද කළේත් ජනතාව. හෙට ඒ ජනතාවට නැවත මා අවශ්‍ය විය හැකිය“ කියාය.
හතළිස් නව වසරකට පෙර සිදුවූ මේ සිද්ධියෙන් ලංකාවේ එදා පැවති ප්රජාතන්ත්රවාදය පමණක් නොව, නායකයන් සතු ආත්ම විශ්වාසය තේරුම් ගත හැකිය. තුනෙන් දෙකක ජන මතය විසින් බලයෙන් පහ කළ රටේ අගමැති වරයෙකු සිය වාහනය පදවමින් මෙසේ අනාරක්ෂිතව හුදෙකලාව
මහ මග ගමන් කිරීම ලංකාවේ ජීවත්වන පරම්පරාවන් මවිත කරනු නො අනුමානය..
එසේම තමන්ට හූ කී පිරිසක් වෙතට සමීපව, එසේ කළේ ඇයිදැයි විරෝධය පළ කළ අයගෙන් විමසීමට ජනතාවගෙන් ප්රතික්ෂේපවූ රටේ පාලකයාට පැවති ආත්ම ශක්තිය කෙබදු විය හැකිද?
පල් හොරෙකැයි ජනතාව ප්‍රසිද්ධියේ චෝදනා කරන බැසිල්ට, මං කොල්ල කා මිනි මරා එල්ලුම් ගස් ගිය සරදියෙල්ට මෙන්ම විප්ලවීය සන්නද්ධ අරගලයක්
හරහා විමුක්තිය අපේක්ෂා කළ ක්‍රස්තෝට වඩා ඩඩ්ලි කළ ප්‍රකාශය, බෙහෙවින් විවෘත මෙන්ම විවාදිත ය.
මේ කියන ඩඩ්ලි සේනානායක ගේ 111 වෙනි ජන්ම දින සංවත්සරය මේ ජූනි 19 වෙනිදාට යෙදී ඇත. සිව් වරක් ලංකාවේ අගමැතිව සිට ඩඩ්ලි
සේනානායක, වසර 62ක් ආයු වළදා 1973 අප්‍රෙල් 11 වෙනිදා ජාතියෙන් සමුගත්තේ සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි වරයෙකු ලෙසය.
ඩඩ්ලි සිය ජීවිතයේ අවසන් දේශපාලන පසුබෑමට මුහුණ දුන්නේ 1970දීය. සෝල්බරි ව්‍යවස්ථාව අනුව වසර 5කට සීමාවූ පාලන කාලයම බාධාවකින් තොරව (1965-1970) රට ආණ්ඩු කිරීමේ වාසනව ලැබු එකම අගමැතිවරයා ඩඩ්ලි සේනානායක ය.
ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක මිය යන විට බලයේ සිටියේ නැත. දිවංගත ඩඩ්ලි සේනානායකට බුහුමන් දැක්වීමට දහස් ගණනක් රටේ ජනතාව දින ගණන් අව්වැසි නොතකා මහමග පෙළ ගැසී සිටි බව එකල මාධ්‍ය වාර්තා කළහ. ඔහුගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිත දිනය රටේ ශෝක දිනයක් ලෙස නම් කිරීමට අගමැතිනි බණ්ඩාරනායක මැතිනිය පියවර ගත්තාය.
මේ කියැවෙන්නේ ඩඩ්ලිගේ විශිෂ්ඨත්වය පමණක් නොවේ. ඩඩ්ලි ජීවත්වූ යුගයේ ලංකාවේ පැවති විශිෂ්ඨ ප්රජාතන්ත්රවාදි වට පිටාවය. ඒ ප්රජාතන්ත්රවාදි අභ්‍යාසයෙහි යෙදුණ සමකාලීන දේශපාලනඥයන්ට සාපේක්ෂව ඩඩ්ලි යනු විශිෂ්ඨයෙකු නොවේ. අති විශිෂ්ඨයෙකි.
සිව් වරක් රටේ අගමැතිවූ ඩඩ්ලි අවසන් වරට මුහුණ දුන් 1970 මහ මැතිවරණයේ මුල් කොට්ඨාශ ප්‍රතිපල කිහිපයක් නිකුත් වෙත්ම අගමැති ඩඩ්ලි එජාපය සතුව පැවති රටේ පාලන බලය අහිමි වන බව තේරුම් ගත්තේය. ඔහු වහා ධුරයෙන් අස්වීමේ ලිපිය සකසා මැතිවරණයට පසු දින මහ පාන්දරින්ම ජනාධිපති විලියම් ගොපල්ලව වෙත යැවීය. ධුරයෙන් අස්වීමේ ලිපිය කියවූ ජනාධිපති වරයා කඩිනමින් දුර කතනය හරහා අගමැති ඩඩ්ලි සේනානායක අමතා අවසාන මැතිවරණ ප්‍රතිපලය සහතික කරන තුරු රටේ භාරකාර අගමැති ඩඩ්ලි බව සිහිපත් කිරීමට විලියම් ගොපල්ලවට සිදුවිය.
පරාජය හෝ ජනතාව ප්‍රතික්ෂේප කිරීම් හමුවේ ප්රජාතන්ත්රවාදි රටක දේශපාලකයන් කෙසේ හැසිරිය යුතුද යන්න මෙයින් පැහැදිලි වේ. ඒ යහගුණ අදටත් පැවතියේ නම් බැසිල්ලා මහින්දලා බලය අත් හැරීමට පමා වන්නේ නැත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනතාව තූ නොදකින් කියද්දී බලයේ එල්ලී සිටින්නේ නැත.
අද පවුල් දේශපාලනය සාපයක් වුවද, ඩඩ්ලි දේශපාලනයට ආවේ මහාමාන්‍ය ඩී.එස්. සේනානායකගේ පිය උරුමයෙනි. දේශමාමක ජන නායකයෙකුවූ ඩී.එස් සේනානායක, 1915දී අධිරාජ්‍ය විරෝධින් ලෙස සැකකොට යටත් විජිත පාලකයන් විසින් සිරගත කරන විට ඩඩ්ලි (1911-1973) සිව් හැවිරිදිය.
ඒ සිර ගෙදර බොරලුගොඩ රාළහාමිද සිටියේය. ඒ වනවිට පිලිප් ගුණවර්ධන (1901-1972) 14 වෙනි වියේ පසුවිය. ඩඩ්ලි නිදහස් ලංකාවේ ප්‍රථම කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධුරයකට හිමිකම් කියද්දී පිලිප් ගුණවර්ධන අවිස්සාවේල්ල මන්ත්‍රිවරයා විය. පිලිප්, අගමැති ඩඩ්ලි සේනානායක යටතේ (1965-1970) කර්මාන්ත ඇමති වරයාව සිය විප්ලවීය දේශපාලනය අවසන් කළේය.
1952 මහාමාන්‍ය ඩී.එස්.සේනානායකගේ හදිසි අභාවයෙන් හිස්වූ ලංකාවේ අගමැති ධුරයට ඩඩ්ලි සේනානායක පත් විය. එවකට 41 හැවිරිදිව සිටි ඩඩ්ලිගේ මෙම පත්වීම නිසා එජාපයේ අභ්‍යන්තර දේශපාලනික ආරවුලක් නිර්මානය විය. තම නායකත්වයට එල්ලවූ අභියෝගයේදී ඔහු වහා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට මුහුණ දී 1952දී විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කළේ බණ්ඩාරනායක ආසන 9කට සීමා කරමිනි.
ඒ මැතිවරණ සටනේදී ජනතාව ඩඩ්ලි සේනානායක පිළිගත්තේ ඒ පියාගේ පුතා යනුවෙනි. පියාගෙන් පුතෙකුට රටේ පාලනය භාරවූ නිදහස් ලංකාවේ මුල්ම සහ එකම අවස්ථාව මෙය විය.
ඩඩ්ලි කිසිම අවස්ථාවක සිය පියාගේ පෞරුෂයෙන් යැපුණේ නැත. එපමණක් නොවේ. නිදහස් ලංකා දේශපාලනයේ පවුලේ උරුමයට පාලන බලය අත් කර ගැනීමට ඉඩ සලසා ගැනීමට ඩඩ්ලි කිසිදු සේනානානයක කෙනෙකු ස්ථානගත කළේ නැත.
පිලිප් ගුණවර්ධනද පුරෝගාමිව පිහිටවූ මහජන එක්සත් පෙරමුණ කරළියට එන විට, ඩඩ්ලි සේනානායක දේශපාලනයෙහි නිරතව සිටියේ නම් 56 විප්ලවයක් ඉතිහාසය ලියැවෙන්නේ නැත. 1953 අගෝස්තු හර්තාල් ව්‍යාපාරයට පසුව ඩඩ්ලි අගමැති තනතුර සහ එජාප නායකත්වයද අතහැර යාම සමහරුන් දුටුවේ බියගුලුකමක් ලෙසය.
එහෙත් ඩඩ්ලි ජන මතය උරගා බැලීමට 1952 මහ මැතිවරණයකට යාමත් බොරැල්ලේ කිංසි පාරේදී ජනතාවට මුහුණ දීමත් යනු තමන්ට අනන්‍ය විශිෂ්ඨ නායකත්ව පෞරුෂයකි.
1956 පෙරළියට මුල්වූ සිවිල් ක්‍රියාකාරින් නව ජනතා පිබිදීමට නායකත්වය දෙන ලෙස ඩඩ්ලිගෙන් ඉල්ලා සිටි බව කියති. ඒ අවස්තාවේ ඩඩ්ලි ඒ ඇරයුම ප්‍රතික්ෂේප කරමින් තමන් කිසි විටෙක එජාපයට එරෙහිව දේශපාලන ව්‍යාපාරයකට නායකත්වය නොදෙන බව කියා තිබේ.
1956දී ආසන 8ට සීමාවූ එක්සත් ජාතික පක්ෂය 1958 වනවිට යළි ශක්තිමත් වෙමින් පැවතිණ. එහෙත් සමකාලීන දේශපාලන හා ආර්ථික අර්බුදය හමුවේ විශ්වාස තැබිය හැකි වෙනත් නායකත්ව පෞරුෂයක් ගැන එජාපයට කිසිදු අදහසක් තිබුණේ නැත.
පසුව මාලේවන ඤාණිස්සර හිමි ඇතුලු ගිහි පැවිදි ප්‍රභූන් කළ ඉල්ලීමක් සලකා බැලූ ඩඩ්ලි සේනානායක නැවත එජාපයට නායකත්වය දෙමින් 1960 මාර්තු මස පැවති මහ මැතිවරණයෙන් ජයගෙන තුන්වෙනි වරට ලංකාවේ අගමැති පදවියට පත් විය. එහෙත් සිය ආණ්ඩුව ඉදිරිපත් කළ මුල්ම අයවැය පරාජය වීමහේතුවෙන් ඩඩ්ලිගේ ආණ්ඩුව තුන් මසකින් විපක්ෂයට තල්ලු විය. 1965 ඩඩ්ලි යළි බලයට පත් විය.
එක්සත් ජාතික පක්ෂය කෘෂිකර්මය හා ජාතිකත්වය ආත්මය කොට සැලකූ දේශපාලන ධාරාවකි.
රටේ ගව සම්පත උපයෝගි කර ගනිමින් උකු කිරි කර්මාන්ත ශාලාවක් පොලොන්නරුවේ ආරම්භ කිරීමට බහු ජාතික සමාගමක් සමග ක්‍රියා කළ ඩඩ්ලි සේනානායකට යෝජිත උකු කිරි නිෂ්පාදනය ශ්‍රි ලාංකික නාමයකින් වෙළද පොලට නිකුත් කිරීමට අවශ්‍ය විය. වසර සියයකට ආසන්න පැරණි ලාංචනයක්යටතේ උකුකිරි නිෂ්පදනයක් වෙළද පොළට නිකුත් කරමින් සිටි මෙම බහු ජාතික සමාගම අගමැති ඩඩ්ලිගේ ඒ යෝජනාවට එකග නොවීය. අවසානයේ එකී බහුජාතික සමාගම එකී ව්‍යාපෘතියෙන් ඉවත්වූ අතර, පැරකුම් නමින් ලංකාවේ නිෂ්පාදිත උකුකිරි වෙළද පොළට නිකුත් විය.
වර්තමානයේ මෙන් කිසිවෙකු ඒ සමාගම නික්ම ගියේ කොමිස් ඉල්ලීම නිසා යයි චෝදනා කළේ නැත. ඩඩ්ලි සේනානායක නම් මේ විශිෂ්ඨ මිනිසාගේ ජාතිකත්වය මෙන්ම පාරදෘෂ්‍ය නායකත්වය එබදු වේ.
1965 තෙක් පත්වූ සියලු එජාප ආණ්ඩුවල මුදල් ඇමති ධුරය දැරු ජේ.ආර්.ජයවර්ධන වෙනුවට යු.බී. වන්නිනායක මුදල් ඇමති පදවියට පත් කිරීම වැනි දැඩි දේශපාලන තීරණ ගැනීමට ඩඩ්ලි සේනානායක ශක්තිමත් විය. එසේම මහවැලි ගඟ සංවර්ධන වැඩ සටහන සැලසුම් කර ලංකාවේ භූගෝලීය සිතියම වෙනස් කළ යෝධ වැඩ සහටන ඩඩ්ලිගේ නායකත්වයෙන් දියත් විය.
වර්තමාන ලංකාවට වැඩිම විදේශ විනිමය ආදායමක් ලැබෙන සංචාරක කර්මාන්තය විධිමත් කොට ලංකා සංචාරක මණ්ඩලය ආරම්භ කරල ලද්දේ ඩඩ්ලි සේනානායක විසිනි.
ඩඩ්ලි සේනානායක පාලනයට එරෙහිව වංචාව දූෂණය නාස්තිය පිළිබද කිසිදු චෝදනාවක් නැගුණේ නැත. තම පක්ෂය නියෝජනය කරමින් නුවරඑළිය මන්ත්‍රී ලෙස තේරී පත්වූ රටේ ප්‍රකට ව්‍යාපාරිකයෙකුව සිටි ඩොනල්ඩ් රණවීර රජයට ගෙවිය යුතු බදු මුදල් නෙගෙවීම පිළිබදව ලැබුණ පැමිණිල්ල අනුව කෙටි කලක් තුල අදාල බදු මුදල් අය කර ගැනීමට ක්‍රියා කළ අගමැති ඩඩ්ලි සේනානායක පසුව ඩොනල්ඩ් රණවීර ගෙන්වා එජාපයෙන් නැවත නාම යෝජනා නොදෙන බව දැන්වීමට තරම් සිය රටට මෙන්ම තම පක්ෂයටද අවංක විය. ඔහු ඩොනල්ඩ් රණවීර ඉවත් කොට නුවරඑළිය ආසනය සදහා නම් කළේ තරුණ නීතිඥයෙකුවූ ගාමිණි දිසානායකය.
1970 ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්වූ ගාමිණි දිසානායක 1994 ඝාතනය වන තෙක්ම රටේ උන්නතියට මෙන්ම ප්රජාතන්ත්රවාදි දේශපාලන පැවත්මට දුන් නායකත්වය මෙන්ම දායකත්වය ලංකාවේ වර්තමාන දේශපාලන ක්‍රියාකාරකම් සමග සමාලෝචනය කළ හැකි අභ්‍යාසයකි.
එසේම 1965දී කන්ද උඩරට එජාප සටන ශක්තිමත් කිරීමට කැපවූ වැරැල්ලගම ප්‍රදේශයේ ප්‍රකට බීඩි නිෂ්පාදක ව්‍යාපාරිකයෙක් එජාපය ආණ්ඩුව පිහිටවූ පසුව කඩිනමින් ඩඩ්ලි සේනානායක අගමැති වරයා හමුවිය. අගමැති ඩඩ්ලි මේ ව්‍යාපාරිකයා දුටු සැනින් හදුනාගෙන එජාප ජයග්‍රහණයට ලබාදුන් සහාය සිහිපත් කර ස්තුති කිරීමට අමතක කළේ නැත. ආගිය තොරතුරු කතා කළ පසුව, අර ව්‍යාපාරිකයා තමන් පැමිණි හේතුව විස්තර කළේය. ඔහු වසර කිහිපයක් පුරා නියමික පරිදි ආදායම් බදු ගෙවීම පැහැර හැරීම නිසා දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලුහු බැදීමට ලක්වෙමින් සිටියේය. ඔහු අගමැති වරයාගෙන් ඉල්ලා සිටියේ දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් තමා නිදහස් කර දෙන ලෙස ය.
මද වේලාවක් තමන් අබියස සිටින ව්‍යාපාරිකයා දෙස බලා සිටි ඩඩ්ලි හඩ අවදි කළේය. ‘‘මුදලාලි මහත්තයා. මට බොහොම කණගාටුයි. රටේ නීතිය අනුව කෙනෙකු ගෙවිය යුතු ආදායම් බදු අය නොගෙවා සිටීම වරදක්. රටේ අගමැති ලෙස ඒ තත්වය යටතේ මට ඔබතුමාට එවැනි සහනයක් ලබාදීමට හැකියාවක් නැහැ. මේ රටේ බොහෝ දේවල් ජනතාවට ලබා දෙන්නේ රටේ බදු මුදල් වෙනුවෙන්. ඒ නිසා ඔබට කිසිම උදව්වක් කිරීමට නොහැකිවීම ගැන මම කණගාටු වෙනවා. කියා ඉහත කී ව්‍යාපාරිකයා පිටත් කර යැවීය.
වර්තමාන ලංකාවේ බදු ආදායම් මාර්ග කඩා වැටුණේ ජාවාරම්කාර හිතවතුන්ට සහන දීම නිසා බව වර්තමාන පාලකයන්ද පිළිගෙන හමාරය.
ඩඩ්ලි සේනානායක දේශපාලන අභ්‍යාසයන් රටේ වර්තමාන ආර්ථික හා දේශපාලන කරුණු තේරුම් ගැනීමේදී ලබාදෙන පිටුවහල අති මහත්ය. රටක පාලකයෙක් ජනතාව තමන්ට දුන් පාලනය බලය හැසිරවිය යුත්තේ කෙසේද යන්න ඩඩ්ලි සේනානායක හරහා විමර්ශණය කිරීමට මේ උචිත මොහොතකි.
1965-70 පාලන කාලය පුරාම රටේ සියලු වාමාංශික පක්ෂ එක්ව ඩඩ්ලිගේ පාලනයට දැඩි අභියෝගයක් එල්ල කළද ඩඩ්ලි සිය පාලන කාලය ව්‍යවස්ථාවෙන් නියම කළ වසර පහක කාලය පුරා පවත්වාගෙන යාමට ශක්තිමත් විය.
එකල ලෝකය පුරා පැතිරි ආහාර හිගයක් පෙර නිමිති තේරුම්ගත් එජාප රජය ලංකාවේ ගම් නියම් ගම් ආවරණය කරමින් සංවිධානය කළ ආහාර ව්‍යාප්ත කිරිමේ ව්‍යාපාරය විපක්ෂය උපහාසයට ලක් කළද, ඒ පස් අවුරුදු කාලයේ ජනතාව සාගින්නෙන් මුදා ගැනීමට සමත් විය.
1965-70 පාලනය ආරම්භයේ ඩඩ්ලි සේනානායක පාලනය ගෙනා දෙමළ භාෂා විධිවිධාන පනත් කෙටුම්පතට එරෙහි ආවේගශීලි ජාතිවාදි දේශපාලනය එ දවස මැයි දින පෙළපාලියේ ඩඩ්ලිගේ බඩේ මසල වඩේ වැනි සටන් පාඨ තෙක් ව්‍යාප්ත විය. බණ්ඩාරනායක ඝාතනයෙන් යටපත්වු 1956 ජාති හා ආගම් වාදි පටු බෙදීම් වාමවාදි දේශපාලකයන් ඩඩ්ලිගේ පාලනයට එරෙහිව යළි ඇවිලවීය.
සිවිල් නිලධාරියෙකුවූ ලයනල් ප්‍රනාන්දු මහනුවර දිසාපති ලෙස ඩඩ්ලිගේ පාලන කාලයේ පත් කර යැවීම හරහා උඩරට ගොවිගම බෞද්ධයන්ට අවමානයක් වි යයි ජනතාව කුලප්පු කිරීමට තරම් එදා විපක්ෂ දේශපාලනය ඕලාරික විය. එහි ප්‍රතිපලය අදටත් මහනුවර දිසාපති තනතුරට නිලධාරියෙකු යැවීමේදි උඩරට ගොවිගම බෞද්ධ ආදි සුදුසුකම් සොයා බැලීමට සිදුවී ඇත.
එජාපයට එරෙහිව 1965-1970 කාලයේ නිර්මානය කළ කුල ප්‍රභූ සහ රට වාදි ආකල්ප ඩඩ්ලි සේනානායක පාලනයට එරෙහි ජනගත කෙරිණ.
එදවස සිදුවූ සීගිරි බිතුසිතුවම් දුර්වර්ණ කිරීම පවා ආණ්ඩුවේ ගිණුමට බැර කෙරිණ. යහ පාලන කාලයේ ලංකාවට ලැබුණ සුවසැරිය ප්‍රදානයට එරෙහිව වෛද්‍ය පාදෙණිය ලවා ඇති කළේ එවැනි ප්රචාරයකි.
ජනතාව දෙන තීරණයන්ට හිස නැමීමට ඩඩ්ලි නිහතමානි වුවද, තම නිවැරදි පාලනය හා දැක්ම පිළිබදව ඔහු පසුතැවිලි නොවීය. ව්‍යාපාරික ඩොනල්ඩ් රණවිරටත්, වැරැල්ලගම බීඩි මුදලාලිටත්, තමන්ට මහමගදී හූ කී අයටත් එක සේ මුහුණ දුන් ඩඩ්ලිගේ අභාවය ඇසූ රටේ ජනතාව අව් වැසි නොතකා අවසන් බුහුමන් සදහා පෙළ ගැසුණේ ඒ විශිෂ්ඨත්වය නිසාය. මේ මිනිසා කිසි විටෙක උපන් දින සුබපැතුම් යවා මිනිසුන් මුලා කළේ නැත.
ඩඩ්ලි සේනානායක දේශපාලන දර්ශනය පාර වැරදීම හේතුවෙන් තුන් බියෙන් පෙළෙන රටේ ජනතාවට නිවැරදි පාර කියා දෙනු ඇත. 1970 ආණ්ඩු පෙරළියට පසුව ලංකාව සාදුකින් පීඩිත මිනිසුන් මහ මග මියයන රටක් බවට පත්විය. 1970-1977ට සාපේක්ෂව අදත් බිද වැටුණ රට ගොඩ ගැනීමට බදු ක්‍රමය යාවත්
කාලීන කරද්දී විපක්ෂයේ සමහර මන්ද බුද්ධිකයන් බදු ගැසීම මහා පාප කරුමයක් බව කියා ජනතාව උසිගන්වති.
වද දොස්තර බොරුව උපවාසයකින් ජනගත කොට ශ්‍රි දළදා මාලිගා පරිශ්‍රය කිළිටි කළේ චීවරධාරි තක්කඩියෙකි. භික්ෂුන් දේශපාලනය නොකළ යුතු යයි ඩඩ්ලිගේ ස්ථාවරය අනුව එජාපය අදටත් භික්ෂුන්ට නාම යෝජනා දෙන්නේ නැත.
දේශීය බදු ආදායම පිළිබද ඩඩ්ලි ප්‍රතිපත්තිය අදටත් නිවැරදිය. ඩඩ්ලි ඩොනල්ඩ් රණවිර ගැන ක්‍රියා කිරීමේදී රට පමණක් නොව පක්ෂයේ පැවැත්මද සැලකිල්ලට ගත්තේය. ඩොනල්ඩ් රණවිර වෙනුවට ගමක උපන් උගත් තරුණයෙකු කැදවීමට සමාගාමීව බැසිල් වෙනුවට රාජපක්ෂලා ධම්මික පෙරේරා කැදවා කැබිනට් මණ්ඩලයට නම් කිරීම සරල නැත.
අප මේ විමසා බලන්නේ ඍජු දේශපාලන අභ්‍යාසයන් සන්නද්ධ ඩඩ්ලි සේනානායක 1970 ජනතාව ප්‍රතික්ෂේප කිරිමට සමගාමි රටේ වර්තමාන දේශපාලන භාවිතය වේ. මේ හරහා මතු කෙරෙන ප්‍රබල පණිවිඩය කියවාය යුත්තේ රටේ ජනතාව මිස, පාරාජිකාවූ රාජපක්ෂලා හෝ බොරදියේ මාලු බෑමට වලිකන විපක්ෂ දේශපාලනඥයන් නොවේ.
1970දී රටේ බහුතර ජනතාව ඩඩ්ලි වැනි ප්‍රතිපත්ති ගරුක නිරවුල් දැක්මක් ඇති නායකත්වයක් අහිමි කර ගැනීම වැරදි දේශපාලන තේරීම් ගණනාවක පටන් ගැන්ම විය. අසත්‍ය මත ගොඩ නගන සියල්ල කඩිනමින් බිච වැටෙයි. එය පාස්කු ප්‍රහාර නයින් වැඩැම්මවීම වැනි ප්‍රලාප හරහා ලබාගත් පාලනයෙන් පාලකයාත් රටත් විදවීම ඊට උදාහරණ වේ.
(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
(උපුටා ගැනීම අනිද්දා පුවත්පතින්.. )