රට මුහුණදී සිටින බරපතල අර්බුදය විසඳා ගැනීම සඳහා සහය දෙන්නයි අග්‍රාමාත්‍යවරයා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සහ ජවිපෙ නායක අනුර කුමාර

දිසානායකගෙන් අද ඉල්ලීමක් කළේය.

එම පක්ෂවල යෝජනා සලකා බලා ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය සුදානමින් සිටින බවද හෙතෙම සඳහන් කරයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ, පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

''රට ගැන සිතා අන් සියළු භේද කෙටි කාලයකට අමතක කර එකට එක්වී කටයුතු කළොත් මේ ව්‍යවසනයෙන් ලංකා මාතාව බේරා ගන්න පුළුවන්. වටු වැද්දාගේ දැලෙන් වටු කුරුල්ලන් ගැලවුණේ හැමදෙනාම එකට එක්වී දැල ඔසවා ගෙන පියාඹපු නිසා. වැද්දාට බැන බැන සිටියානම් මුළු වටු රැළම දැලට හසුවෙනවා. ගොදුරු වෙනවා. ඒ නිසා අපි මේ ආර්ථික අර්බුද දැලෙන් මිදෙමු. අපි එක්වී ඒ අභියෝගය ජය ගනිමු. '' යයි අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව අමතා කියා සිටියේය.


අග්‍රාමාත්‍යවරයා අද (22) දින පාර්ලිමේන්තුව අමතමින් සිදුකළ සම්පුර්ණ ප්‍රකාශය පහත පළවේ.


''හැමෝම එකතු කරන් අපි මේ ගමන යමු. ''



''වර්තමානයේ අපේ රට මුහුණ දෙන සැබෑ තත්ත්වය සහ ඊට පිළියම් වශයෙන් අප ගන්නා ක්‍රියාමාර්ග ගැන සති දෙකකට පමණ වතාවක් ඔබට දැනුම් දෙනවා. සමහරු මේක දිහා උපහාසයෙන් බලනවා. එයා අගමැතිකම ගත්තේ රටේ අමාරුකම් අපට කියන්න ද කියලා මාව විවේචනය කරනවා. තවත් සමහරු ඇත්ත තත්ත්වය පෙන්වා දෙනවාට ස්තූතීවන්ත වෙනවා. ඒ දුෂ්කරතා ජය ගැනීමේ පිළියම් අපට යෝජනා කරනවා.

ඔබ ඉන්නේ ඒ කණ්ඩායම් දෙකෙන් මොන පැත්තක වුණත්, රටක් විදියට එකට එක්වෙලා, මේ අසීරු තත්ත්වයෙන් රට ගොඩනැංවීමේ ක්‍රියාදාමයට එක්වෙන්න කියා මම ඉල්ලා සිටිනවා. හැමෝම එකතු කරන් අපි මේ ගමන යමු. එතකොට අපට මේ තත්ත්වයෙන් අපේ රට ගොඩගන්න පුළුවන්.

අපි මේ මුණ දෙන්නේ ඉන්ධන, ගෑස්, විදුලි බලය සහ ආහාර පිළිබඳ ප්‍රශ්ණයකට එහා ගිය බරපතල තත්ත්වයකට. අපේ ආර්ථිකය කඩා වැටිලා. එකයි බරපතලම ප්‍රශ්ණය. සියළු ප්‍රශ්ණ විසඳා ගන්න පුළුවන් වෙන්නේ ආර්ථිකය යළි ප්‍රකෘති තත්ත්වයකට පත් කර ගත්තොත් විතරයි. ආර්ථිකය ප්‍රකෘති තත්ත්වයට පත්කර ගැනීම සඳහා ඩොලර් අර්බුදය මුලින්ම විසඳා ගත යුතුයි.


කඩාවැටුණු ආර්ථිකයක් - ඩොලර් සංචිත බිංදුවටම වැටුණු ආර්ථිකයක් -  යළි ගොඩනැංවීම ලේසි පහසු කාර්යයක් නොවේ. කඩා වැටීම ආරම්භයේ දී කෙසේ හෝ තිරිංග දමා කඩා වැටෙන වේගය පාලනය කර ගත්තා නම් මේ තරම් අසීරු තත්ත්වයක් උදා වෙන්නේ නෑ. නමුත් ඒ අවස්ථාව අපේ රට අහිමි කර ගත්තා. දැන් අපි පතුලටම වැටෙන ලකුණු පේනවා. ඒත් අපි කෙසේ හෝ මෙතැනින් ගොඩවිය යුතුයි. මෙතැනින් ගොඩ එන්නේ නැතිව, රටේ වෙනත් කිසිදු ප්‍රශ්ණයතට පිළිතුරු සොයන්න අපට පුළුවන් වෙන්නේ නෑ.



''තෙල් සංස්ථාව මේ වෙද්දි ඩොලර් මිලියන 700ක් ණයයි''


ඊයේ කාංචන විජේසේකර ඇමතිතුමා ඉන්ධන තත්ත්වය පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු කිව්වා. තෙල් සංස්ථාව මේ වෙද්දි ඩොලර් මිලියන 700ක් ණයයි. මේ ණය බර නිසා ලෝකයේ කිසිදු ආයතනයක් අපේ තෙල් සංස්ථාවට තෙල් දෙන්න කැමති නෑ. අත්පිට මුදලටවත් තෙල් දෙන්න ඒ අය පස්ස ගහනවා.

ඉන්දීය ණය ආධාර යටතේ අපි දැනට ඩොලර් බිලියන 04ක මුදලක් ණයට අරන් තියෙනවා. අපි ඉන්දියාවෙන් තවත් ණය ආධාර ඉල්ලුම් කර තියෙනවා. හැබැයි, ඉන්දියාවටත් මේ ආකාරයට දිගින් දිගටම අපට ණය දෙන්න බෑ. සීමාවක් තියෙනවා. අනික් අයට, අප ලබා ගන්නා ණය ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් අපට තිබිය යුතුයි. නැතිනම් කවුරුවත් අපට සල්ලි දෙන්නේ නෑ.



එහෙනම් මේ අසීරු තත්ත්වයෙන් ගොඩ ඒමේ මාර්ගය කුමක් ද ?
 
 1200x800RW
 
 
දැන් අප ඉදිරියේ ඇති එකම ආරක්ෂිත මාර්ගය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමයි. වෙනත් කිසිම මාර්ගයක් අප ඉදිරියේ නෑ. අපට යන්න තියෙන්නේ ඒ මාර්ගයේ. ඒ මාර්ගයේ ගොස් අතිරේක ණය පහසුකමක් සඳහා ඔවුන් සමඟ ගිවිසුමකට එළැඹීම අපේ අරමුණයි. ඉන් පසු ආර්ථිකය ස්ථාවරභාවයට පත් කරලිමේ පදනම සකස් කොට, අපනයන ආදායම් වැඩිකර ගැනීමේ කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමයි.
 
 
මහා බැංකුව, භාණ්ඩාගාරය සහ අදාළ රජයේ නිලධාරීන්, වෘත්තිකයන්, විශේෂඥයන් සමඟ සාකච්ඡා කොට අප මේ වැඩ පිළිවෙල සැලසුම් කර තියෙනවා.

මීට වඩා යහපත් ක්‍රියා මාර්ග තිබේ නම් අපට දන්වන්න. රටට හිතකර ප්‍රායෝගික වෙනත් විසඳුමක් ඔබ ළඟ ඇත්නම් කරුණාකර එය ඉදිරිපත් කරන්න.

ඒ වගේම දේශපාලන පක්ෂවලට අවශ්‍ය නම්, ඔවුන්ගේ විසඳුම් පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාද කරන්නත් අපට පුළුවන්. අප ඒ සඳහා ඉඩකඩ ලබා දීමට සුදානම්.


ආණ්ඩුව දැනට ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල....


හොඳයි. අප දැනට ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල මම සවිස්තරාත්මකව ඔබට කියන්නම්.


# මැයි 20 වෙනිදා වන විට කැබිනට් මණ්ඩලයේ බහුතරය පත් කළා. එතැන් සිට අපි අපේ වැඩපිළිවෙල ආරම්භ කළා.

#  මුලින්ම අප 2019 පැවති බදු ක්‍රමයට ආපසු යෑමට තීරණය කළා.

# 2025 වන විට ජාතික අයවැයේ ප්‍රාථමික අතිරික්තයක් ඇතිකිරීමට එකඟ වුණා.

# ආදායම් සහ බදු පිළිබඳ සාකච්ඡා කරන IMF නියෝජිත පිරිස ලංකාවට ආවා. ඔවුන් අදාල වාර්තාව ලබා දුන්නා. පසුගිය සදුදා IMF ප්‍රධාන නියෝජීත කණ්ඩායම ලංකාවට පැමිණියා. ඉදිරි දින කිීපය පුරාම ඔවුන් සමඟ සාකච්ඡා පැවැත්වෙනවා.

# මේ වන විට ආරම්භක සාකච්ඡා පවත්වා අවසන්. රාජ්‍ය මුල්‍ය අංශය, මුල්‍ය අංශය, ණය තිරසරභාවය, බැංකු අංශයේ ස්ථාවරභාවය, සමාජ ආරක්ෂණ ජාලය ආදී අංශ රැසක් පිළිබඳව අදහස් හුවමාරු කරගත්තා.

# ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ විශේෂඥ උපදෙස් ලබා දෙන ලසාඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් සමාගම් නියෝජීතයන් දැන් ලංකාවට පැමිණ ඒ කටයුතු වල නිරත වෙනවා. ණය ආපසු ගෙවීම් ප්‍රතිව්‍යුහගත කර ලීමේ සැළසුම් රාමුව සකසමින් සිටිනවා.

# ඇමරිකා එක්සත් ජනපදයේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ නියෝජීත කණ්ඩායම ලබන සඳුදා ලංකාවට එනවා.

# මේ කණ්ඩායම් තුනම කඩිනමින් ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පසුබිම අප සකස් කළා. ඔවුන් සමඟ අප දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වනවා. ඒ වගේම දැන් මේ කණ්ඩායම් තුනටම එකට එක්ව ලංකාවේදී සාකච්ඡා පැවැත්වීමේ අවකාශ උදාවෙනවා. අපේ වැඩපිලිවෙල වේගවත් කරලීමට ඒ අවකාශය රුකුලක්.

# ජූනි මාසය අවසන් වෙද්දි අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නිලධාරී මට්ටමේ එකඟත්වයකට එළැඹීමට බලාපොරොත්තු වෙනවා.

# මෙතනදී වඩාත් වැදගත් වෙන්නේ ණය ගෙවීම් ප්‍රතිව්‍යූහගත කරලීමේ සැලැස්මයි. ලසාඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් සමාගම් සමඟ එක්ව ජූලි මාසය අවසන් වීමට පෙරාතුව මේ සැලැස්මේ රාමුව සකස් කිරීමට අප උත්සාහ කරනවා.

# ඉන්පසු මේ සැලසුම් රාමුවත්, නිලධාරී මට්ටමේ එකඟතාවත් සලකා බලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය අවසාන තීරණයට එළැඹීමට නියමිතයි.


මේ වැඩ කටයුතුවලට සමාන්තරව අපි ඉන්දියාව, ජපානය සහ චීනය යන රටවල මූලිකත්වයෙන් ණය ආධාර සමළුවක් සංවිධානය කරන්නට සැලසුම් සකස් කරනවා. මේ රටවල් තමයි අපට ණය දෙන ප්‍රධාන රටවල්. ඔවුන් සමඟ යම් යම් නොහොඳ නෝක්කාඩු ඇති වී තිබුණා. අප ඒවා සමනය කරමින් නැවතත් හොඳ හිත තහවුරු කරලීමට වෙහෙසෙනවා. මේ රටවල් ණය ආධාර ප්‍රදානය කරන ක්‍රමවේදයන්හි වෙනස්කම් තියෙනවා. ආධාර සමුළුව මගින් අප උත්සාහ කරන්නේ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් මේ රටවල් තුන සමඟ පොදු එකඟතාවයකට පැමිණීමටයි.
 
 
Gota IMF
 
ජනාධිපතිවරයා විදෙස් නියෝජිතයින් සමග සාකච්ජා පවත්වමින්...
 
 
IMF සහතිකය අපට ලැබුණොත් අප ගැන ලෝකයට විශ්වාසයක් ඇති වෙනවා. ලෝකයේ අනික් රටවලින් ආධාර සහ අඩු පොලී ණය ලබා ගැනීමේ අවස්ථාවත් අපට ලැබෙනවා.

 ඒ සමඟම IMF මුදල් ලැබෙන තුරු අතර මැදි කෙටි කාලීන ණය ආධාර ලබා ගැනීම සඳහා අප ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සමඟත්, ඇමරිකාව ඇතුළු අපට හිතවත් වෙනත් රටවල් හා රාජ්‍ය නායකයන් සමඟත් සාකච්ඡා පවත්වමින් යනවා.

මේ කටයුතු සාර්ථක ලෙස නිම කර ගැනීමෙන් පසු ආර්ථික ස්ථාවරභාවයට පදනම දමා ගන්න අපට පුළුවන්. එතැනින් මේ ගමන අවසන් වුණා කියා සතුටු වෙන්න අපට බැහැ. එතැන තමයි, අපේ ඉදිරි ගමනේ ආරම්භය. ශක්තිමත් ආර්ථිකයක් කරා යන අළුත් ගමනක ආරම්භය.

එතැන් සිට අපි අපේ ආර්ථිකය ශක්තිමත් කරලීමේ, නව ලාංකීය ආර්ථිකයක් බිහිකරලීමේ ගමන ඉදිරියටම යා යුතුයි.

අන්තර්කාලීන අයවැයක් ..



මේ ඉදිරි ගමනේ පදනම සැකසීම සඳහා අගෝස්තු මාසයේ 2022 ඉතිරි කාලය සඳහා අන්තර්කාලීන අයවැයක් අප ඉදිරිපත් කරනවා. 2023 වසර සඳහා අයවැය ලේඛනය නොවැම්බර් මාසයේ ඉදිරිපත් කරනවා.

ඊට අමතරව ආර්ථිකය ශක්තිමත් කරලීම සඳහා අවශ්‍ය නව නීතිරීති සහ අණපනත් කීපයක් ද අප පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මේ පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ සමඟ අප සාකච්ඡා ආරම්භ කර තියෙනවා. ඒ සාකච්ඡාවලට සහභාගි වී, රට ගොඩ නැංවීමේ කාර්යයට උර දෙන සියළු පක්ෂවලට සහ විද්වතුන්ට මගේ ස්තුතිය පුද කරනවා.
 
 
ඒ සමඟ ම ආහාර සුරක්ෂිතතාව සහතික කිරීමටත්, දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමටත් අපි ක්‍රියා කරනවා. ලබන කන්නයේදි හිඟයකින් තොරව ගොවීන්ට පොහොර ලබා දීමට සැලසුම් සකස් කර තියෙනවා.
 
 
සහල් මිල පාලනය කිරීම උදෙසා, ඉන්දීය ණය ආධාර යටතේ සහල් ගෙන්වා වෙළඳ පොළට නිකුත් කිරීමට අප පියවර ගන්නවා. ඒ මගින් පාර්භෝගිකයන්ට සහනයක් ලබා දෙනවා.

කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පිබිදීමක් ඇති කරලීම උදෙසා වෙහෙසෙන, කැපවෙන පුද්ගලයන්ටත්, කණ්ඩායම්වලටත්, ස්තුතිය පළ කරන්න මම මෙය අවස්ථාවක් කර ගන්නවා. ආහාර සුරක්ෂිතතාව පිළිබඳ රජයේ සාකච්ඡාවන්ට පක්ෂ භේද පසෙක ලා බොහෝ අය සහභාගී වන බවත්, මම මෙහිදී සිහිපත් කරනවා.

286218049 573883740768718 2000138880218275935 n

විශේෂයෙන්ම සමගි ජන බලවේගයත්, ජාතික ජන බලවේගයත් කෘෂි ගොවිපළවල් පිහිටුවිමට මූලිකත්වය ගන්නා බව ප්‍රකාශයට පත් කර තියෙනවා. රජයෙන් කිසිඳු සහයක් නොඉල්ලා එවැනි ගොවිපළවල් පිහිටුවීමට කටයුතු කිරීම පිළිබඳව මම ඔවුන්ට විශේෂ ස්තුතිය පුද කරනවා. අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා පසුගිය දා ප්‍රකාශ කළ පරිදි වගා කළ යුතු ස්ථාන පවා මේ වනවිට ඔවුන්  තෝරා ගෙන අවසන්.

මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව සතු රක්ෂිත හිස් ඉඩම් ගණනාවක් කෘෂිකාර්මික කටයුතු සඳහා වෙන් කිරීමට බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමා කටයුතු කර ගෙන යනවා.

සජිත් ප්‍රේමදාස මහතාටත්, අනුර දිසානායක මහතාටත් වගා කිරීම සඳහා ඉඩම් පිළිබඳ ගැටළුවක් ඇත්නම් බන්දුල ගුණවර්ධන ඇමතිතුමන් සමඟ සාකච්ඡා කරන ලෙස මම ඉල්ලා සිටිනවා. ඒ වගේම ආහාර සුරක්ෂිතතා කමිටුවේ ලේකම්තුමාටත් මේ පක්ෂ දෙකේ නායකයන් සමඟ සාකච්ඡා කරන මෙන් මම දැනුම් දී තිබෙනවා.


21 වන සංශෝධනය.....


පසුගිය සඳුදා අමාත්‍ය මණ්ඩලය 21 වන සංශෝධනයට එකඟත්වය පළ කළා. සමගි ජන බලවේගය ඉදිරිපත් කළ 21 වැනි සංශෝධන යෝජනා පිළිබඳ දැන් ශ්‍රේෂ්ඨාධිකරණය සිය මතය ප්‍රකාශ කර තියෙනවා. රජයේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය එකඟ වී තියෙනවා. දැන් අප කඩිනමින් කළ යුත්තේ මේ යෝජනා පිළිබඳ එකඟත්වයකට පැමිණි පාර්ලිමේන්තුවට අවසන් කෙටුම්පත ඉදිරිපත් කිරීමයි.

නමුත්, සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු වර්ජනය නිසා 21  වන සංශෝධනයේ කාර්යයන් තවදුරටත් ප්‍රමාදවීම කණගාටුවට කරුණක්.

7518439a873a0868292dd1dcbd6e2eec XL

අප අළුතින් යෝජනා කළ පාර්ලිමේන්තු කමිටු ක්‍රමය පිළිබඳව පූර්ණ සැලසුමක් හා වාර්තාවක් ලබා දෙන ලෙස මම හිටපු කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කළා. එතුමාගේ වාර්තාව පසුගිය  සඳුදා අපට ලබා දුන්නා.

ඒ නිසා මම මේ පක්ෂ දෙකෙන්ම ඉල්ලා සිටින්නේ, වහාම පාර්ලිමේන්තුවට පැමිණ, 21 වන සංශෝධනය සම්මත කරලීමේ වැඩපිළිවෙලට දායක වන ලෙසයි. පාර්ලිමේන්තු කමිටු ක්‍රමය ස්ථාපිත කිරීමට එක්වන ලෙසයි.

මම මීට කළින් අවස්ථා ගණනාවකදී සිහිපත් කළා වගේ අද අපි මේ මුහුණ දෙන්නේ සාමාන්‍ය තත්ත්වයකට නෙවෙයි. නූතන ඉතිහාසයේ කිසි අවස්ථාවක අපේ රට මේ වගේ අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී නැති බව මා වරින් වර සඳහන් කර තිබෙනවා.


ශක්තිමත් ආර්ථික පදනමක් සකස් කර ගැනීමෙන් පසුව මැතිවරණයකදී ඔබ කැමති පක්ෂයට රට භාර දෙන්න. වඩාත් සුදුසු 225 දෙනෙකු පාර්ලිමේන්තුවට පත් කර යවන්න. ඒ වගකීම සහ බලය තියෙන්නේ පුරවැසි ඔබට. එතැනදී රට මෙවැනි තත්ත්වයකට ඇද වැටීමට මූලික වූවායැයි සිතන අයව ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ඔබට හිමිවෙනවා. ඒත් ඒ සියල්ල ඉටු කර ගන්න පුළුවන් වෙන්නේ රට වැටී ඇති තත්ත්වයෙන් යළි යථා තත්වයට පත් කර ගැනීමෙන් පසුවයි.


ඒ බවත් සිහිතබා ගෙන, වර්තමානයේ රට වැටි ඇති තත්ත්වයෙන් යළි ඔසවා තැබීමේ වෑයමට දායක වන ලෙස මම මේ රටේ හැම පුරවැසියෙකුගෙන්ම ඉල්ලා සිටිනවා.

ඒ නිසා අපි මුලින්ම මේ තත්ත්වයෙන් ගොඩ එන්නට එක්සිත්ව එක්සත්ව වෙහෙසෙමු. අසීරුතා ඇති වේවි, දුෂ්කරතා මතුවේවි. ඒ දුෂ්කරතා, අසීරුතා මැද්දේ අපිට රට ගොඩ නැංවීම වෙනුවෙන් සුළුවෙන් හරි කරන්න පුළුවන් දේවල් තියෙනවා. මම හැම පුරවැසියෙකුගෙන්ම ඉල්ලා සිටින්නේ කෙටි කාලයකට මේ දුෂ්කරතා, අසීරුතා විද දරා ගෙන රට ගොඩනැංවීමේ වෑයමට දායක වන ලෙසයි.

අප රජයක් ලෙස දැනට අනුගමනය කරන යන ක්‍රියාමාර්ග අනුව ක්‍රම ක්‍රමයෙන් ඔබේ දුෂ්කරතා, අසීරුතා අඩුවෙමින් යනු ඔබට දැනේවි. විදුලි කප්පාදුව අවම තත්ත්වයකට ගෙන එන්නට හැකි වෙලා තියෙනවා.
 
 
ලෝක බැංකුවෙන් ලබා ගන්නා ඩොලර් මිලියන 70ක් සහ අපේ ඩොලර් මිලියන 20ක් යොදවා ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට දැනට පියවර ගෙන තිබෙනවා. මේ ගෑස් තොග ලැබුණු විට ගැස් හඟිය සම්පූර්ණයෙන්ම තුරන් කරන්නට හැකි වෙනවා. ඉන්ධන සඳහා මාසයකට ඩොලර් මිලියන 550ක් පමණ අවශ්‍යයි.
 
 
දැනට අප මුහුණ දෙන ආර්ථික ප්‍රශ්න මත මේ මුදල මාසිකව සපයා ගැනීම දුෂ්කර කාර්යයක්. ඒ නිසා අපට ලැබෙන ඩොලර් ආදායම අනුව හැකි උපරිම ඉන්ධන ප්‍රමාණය ගෙන්වා ගැනීමට කටයුතු කරනවා. ඉන්ධන ගැටළුව සම්පූර්ණයෙන්ම විසඳීමට තව කාලයක් ගතවේවි. මේ නිසා ඉතාම අරපරිස්සමෙන් ඉන්ධන භාවිතා කරන ලෙස මම ඔබ සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.
 
PHOTO 2022 06 22 16 21 33
 
අප අද මුහුණ දෙන අර්බුද හමුවේ පාසල් අධ්‍යාපනය කඩා වැටීලා ....
 
 
අප අද මුහුණ දෙන අර්බුද හමුවේ පාසල් අධ්‍යාපනය කඩා වැටී ඇති බව අප දන්නවා. දරුවන්ට මාස ගණනාවක් අධ්‍යාපනය අහිමි වුණා. මුලින්ම කොවිඩ් වසංගතය නිසා, ඊළඟට ආර්ථික කඩා වැටීම නිසා. සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් මේ සම්බන්ධයෙන් පියවර ගනිමින් සිටිනවා. 
 
පාසල් බස් රථ, පාසල් වෑන් සඳහා ඉන්ධන ප්‍රමුඛත්වය ලබා දීමේ වැඩපිළිවෙලක් ගැන අදාළ බලධාරීන් සැලසුම් සකස් කරමින් යනවා. පාසල් දරුවන්ට අඛණ්ඩව අධ්‍යාපනය ලබා දීමට හැකි පරිසරයක් ඉක්මණින්ම සකසා දෙනවා.

අපි පියවරෙන් පියවර, අඩියෙන් අඩිය මේ ගමන ඉදිරියට යමු.


ලෝකය අපට උදව් කරන්නේ මේ වැටුණ තැනින් නැගිටීමට අප තුළ ඕනෑකමක්, කැපවීමක් ඇති බව ඔවුන්ට දැනුනොත් විතරයි. ඉතිං මේ අවස්ථාවේ අපට එක්කෝ රට ගොඩනැංවීමේ අභිලාෂය අප තුළ ඇති බව පෙන්වන්න පුළුවන්. එහෙමත් නැත්නම්, එවැනි අවශ්‍යතාවයක් අපට නැති බව පෙන්වීම සඳහා නොයෙකුත් කඩාකප්පල්කාරී ක්‍රියා කරන්න පුළුවන්. ඔබ මෙතනදී අරගල කළ යුත්තේ රට නැංවීම වෙනුවෙන්. එහෙම නැතිව රට විනාශ කිරීම වෙනුවෙන් නෙවෙයි. ඒ නිසා හැම අවස්ථාවකදීම හොඳින් සිතා බලා, විමසිල්ලෙන් කටයුතු කරන ලෙස මම ඉල්ලා සිටිනවා.


සජබ-ජාජබ ස්ථාවරය වෙනස් වෙලාද ?



සමගි ජන බලවේගයත්, ජාතික ජන බලවේගයත් දැන් පාර්ලිමේන්තුව වර්ජනය කිරීමේ පොදු ස්ථාවරයකට පැමිණ තිබෙනවා.

IMF සමඟ එක්ව කටයුතු කළ බව සමගි ජන බලවේගය කලින් ප්‍රකාශ කර තිබුණා. දැන් ඔවුන්ගේ ස්ථාවරය වෙනස් වෙලාද ? IMF සාකච්ඡා ගැන ජාතික ජනබලවේගය එකඟ ද නැද්ද ?
 
 
සියළු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කරන ලෙස මම IMF නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියා. මේ සාකච්ඡා සඳහා සහභාගී වන ලෙසට මම මේ පක්ෂ දෙකෙන්ම ඉල්ලා සිටිනවා. විවේචනයට වඩා මේ අවස්ථාවේ රටට වැදගත් වන්නේ විසඳුම්. ඒ නිසා ඔබ සතුව වඩාත් හොඳ විසඳුම් ඇත්නම් ඒවා ඉදිරිපත් කරන්න.
 
 
21 වන සංශෝධනය නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා. මේ පක්ෂ දෙකට 21 වන සංශෝධනය අවශ්‍ය ද නැද්ද ? ස්වාධීන කොමිෂන් සභා අවශ්‍ය ද නැද්ද ? පාර්මේන්තු කමිටු ක්‍රමය මගින් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියළු මහජන මන්ත්‍රීවරුන් රාජ්‍ය පාලනයට හවුල්වීමට ඔවුන් එකඟ ද විරුද්ධ ද ? ඒ පිළිබඳ ඔබේ මතය ඉදිරිපත් කිරීමේ අවස්ථාව දැන් සමගි ජනබලවේගයට සහ ජාතික ජන බලවේගයට හිමි වී තියෙනවා.

මෙහිදී අප අමතක නොකළ යුතු වැදගත් කරුණක් තියෙනවා. සමස්ත පාර්ලිමේන්තුව පිළිබඳවම ජනතාවගේ පොදු විරෝධතාවක් එල්ල වෙමින් පවතින අවස්ථාවක් මේ. එවැනි අවස්ථාවක රටේ අනාගතයට බලපාන ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ ගණනාවක් පාර්ලිමේන්තුවට යෝජනා වී තිබෙනවා. එවැනි මොහාතක රටට සැබෑ ආදරයක් ඇත්නම් කළ යුත්තේ ඒ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීමයි. ඒ ප්‍රතිසංස්කරණයන්හි අඩුපාඩු ඇත්නම් ඒවා පෙන්වා දී නිවැරදි කිරීමයි.
 
 
ඒ නිසා හුදු සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදි, රට වෙනුවෙන් අළුතින් සිතන්න කියා මම හැම දෙනෙකුගෙන්ම ඉල්ලා සිටිනවා. ඒ වගේම අපට අවශ්‍ය දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ කඩිනම් කර ගැනීම උදෙසා පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගී වන ලෙස ද ආරාධනා කරනවා. මේ ප්‍රතිසංස්කරණ කඩිනමින් ඉටු කිරීම ජනතා අපේක්ෂාව බවද මම මෙහිදී අවධාරණය කරන්නට කැමතියි.
 


රට ගැන සිතා අන් සියළු භේද කෙටි කාලයකට අමතක කර එකට එක්වී කටයුතු කළොත් මේ ව්‍යවසනයෙන් ලංකා මාතාව බේරා ගන්න පුළුවන්. වටු වැද්දාගේ දැලෙන් වටු කුරුල්ලන් ගැලවුණේ හැමදෙනාම එකට එක්වී දැල ඔසවා ගෙන පියාඹපු නිසා. වැද්දාට බැන බැන සිටියානම් මුළු වටු රැළම දැලට හසුවෙනවා. ගොදුරු වෙනවා. ඒ නිසා අපි මේ ආර්ථික අර්බුද දැලෙන් මිදෙමු. අපි එක්වී ඒ අභියෝගය ජය ගනිමු.
 

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. https://chat.whatsapp.com/DqfBCnAN39V2FlsfdfmQ3N

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්