ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු විසින් කෝප් කමිටුව වෙත ඉදිරිපත් කරන ලද ලිපිය පදනම් කරගෙන කෝප්
කමිටුව තීරණ කිහිපයක් ගත් බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසයි.
එම තීරණ ගෙන ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති විසින් ඉකුත් 10 වන දින කෝප් කමිටුව වෙත පැමිණ සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය ඉවත්කරගැනීම සම්බන්ධයෙන් යොමු කර ඇති ලිපිය පිලිබඳ සාකච්ඡා කිරීම සඳහා කෝප් කමිටුව ඊයේ (23) රැස්වූ අවස්ථාවේදීය.
එහිදී ඉකුත් 10 වන දින පැවැති කෝප් කමිටුවේ දී එවකට විදුලිබල මණ්ඩලයේ සභාපති වශයෙන් එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු විසින් සිදුකරන ලද ප්‍රකාශයෙහි වචන කිහිපයක් ඉවත් කර ගැනීමට ඔහු විසින් කෝප් කමිටුවෙන් සිදු කරන ලද ඉල්ලීම දීර්ඝ සාකච්ඡාවකින් පසු අනුමත කිරීමට කමිටුව තීරණය කර ඇත.
එමෙන්ම තමන් යොමුකළ ලිපියේ සඳහන් ආකාරයට කෝප් කමිටු රැස්වීමේදී තමාට බලපෑමක් සිදු වූ බවට හා අසාධාරණ චෝදනාවක් එල්ල වූ බවට පවසා තිබීම වැරදි ප්‍රකාශයක් බව විදුලිබල මණ්ඩල හිටපු සභාපතිවරයා එහිදී පිළිගෙන තිබේ.
එමෙන්ම මන්නාරම සහ පුනරින් හි ක්‍රියාත්මක කළ යුතු යැයි සඳහන් වන සූර්ය බල සහ සුළං පුනර්ජණනීය බලශක්තියට අදාල අදානි සමාගම සම්බන්ධ වන ව්‍යාපෘතිය ආරම්භ වූයේ කෙසේ ද යන්න පිළිබඳ කෝප් කමිටුව මෙහිදී දීර්ඝ ලෙස සොයා බලා ඇත.
මෙම ව්‍යාපෘතිය රජයන් දෙකක් අතර ව්‍යාපෘතියක් ලෙස පිළිගැනීමට එවකට අගමැතිවරයාගේ මාර්ගෝපදේශකත්වයක් තිබුණේ ද යන්න පිළිබඳව කමිටුව මෙහිදී විමසා සිටි අවස්ථාවේදී ඊට පිළිතුරු දී ඇති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු පවසා ඇත්තේ, රජයේ ඉහළ ඉහළ දේශපාලන අධිකාරිය ලබා දෙන මාර්ගෝපදේශ නිලධාරීන් ලෙස විධානයන් ආකාරයෙන් පිළිගන්නා බවයි. එය රාජ්‍යයන් දෙකක් අතර එකඟතාවය මතවූ ව්‍යාපෘතියක් ලෙස අවබෝධ කරගත් බවද ඔහු සඳහන් කර ඇත.
විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපතිවරයා කෝප් කමිටුව හමුවේ කළ ප්‍රකාශය ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කිරීම පිළිබඳවද කමිටුවේ අවධානය යොමුවී තිබේ.
කෝප් කමිටුව හමුවේ කළ ප්‍රකාශයේ කොටසක් ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් යැවූ ලිපියේ පිටපතක් ජනාධිපති ලේකම්වරයාට නොයැවූයේ මන්දැයි කෝප් කමිටුව මෙහිදී විමසා ඇති අතර එහිදී අදහස් දැක්වූ ෆර්ඩිනැන්ඩෝ පවසා ඇත්තේ, එය සිතා මතා සිදු නොකළ අතපසු වීමක් බවයි.
මෙම ව්‍යාපෘතියට අදාළ ක්‍රියාදාමය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමටද කෝප් කමිටුව තීරණය කර තිබේ.
විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපතිවරයා කෝප් කමිටුව හමුවේ ප්‍රකාශ කර පසුව ඉල්ලා අස්කරගෙන තිබුණේ බලශක්ති ව්‍යාපෘතිය අදානි සමාගමට ලබා දෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයා බලපෑම් කරන බවට ජනාධිපතිවරයා තමාට ප්‍රකාශ කළේ යැයි යන ප්‍රකාශයයි.
කෝප් සභාපතිගේ ට්විටර් පණිවිඩය :
ඊයේ පැවති කෝප් කමිටුවට අදාල විමර්ශනය සහිත වීඩියෝ දර්ශන මාධ්‍යවෙත නිකුත් නොකිරීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනා පිළිබඳව ප්‍රතිචාර දක්වමින් කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් ට්විට් නිවේදනයක් නිකුත්කර ඇත.
පාර්ලිමේන්තුව යලිත් විවෘත කරන 27 සදුදා එම වීඩියෝ දර්ශන මාධ්‍ය වෙත නිකුත් කරන බව ඔහු පවසයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු විසින් කෝප් කමිටුව වෙත ඉදිරිපත් කරන ලද ලිපිය හා ඊට අදාල සම්පූර්ණ වාර්තාව පහතින් පළවේ.