රටේ ආර්ථික ගැටළුව විසඳන්නට සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්නට කියා

බොහෝ දෙනෙක් කළ ඉල්ලීම පටලවා ගැනීම  වත්මන් ආණ්ඩුවේ අසාර්ථකත්වයට ප්‍රධාන හේතුවක් බව ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.

ඔහු එබව සඳහන් කළේ, ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් හා වෘත්තිකයන් පිරිසක් සමඟ පසුගියදා පැවති රැස්වීමකදීයි.

 දිගින් දිගටම උග්‍රවන ජනතා ප්‍රශ්ණවලට ආණ්ඩුවෙන් විසඳුම් නොලැබෙන තත්වයක් තුල ගත යුතු ඉදිරි පියවර සාකච්ඡා කිරීම මේ රැස්වීමේ අරමුණ බව ප්‍රකාශවිය.

හිටපු මාධ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා එහිදී මෙසේ සඳහන් කළේය.


''මේ ආණ්ඩුවටත් රටේ ප්‍රශ්ණ විසඳන්නට පුලුවන් බවක් පෙනෙන්න නෑ''

"ලෝකයේ ඕනෑ තරම් උදාහරණ තිබෙනවා ජාතික අර්බුදයකදී රටේ සිටින ප්‍රධාන පක්ෂ එකට එක්වී  ජාතික එකඟතා ආණ්ඩු පිහිටුවාගෙන ප්‍රශ්න වලට පිළියම් සොයපු. මේක තාවකාලික එකඟතාවක්. නමුත් එහි වාසිය තමයි රටක් වශයෙන් පොදු එකඟතාවයකින් තීන්දු තීරණ ගන්නට තිබෙන හැකියාව.

 
 පක්ෂ වශයෙන් බෙදී වෙන් වී ඉද්දී ගන්න බැරි, දේශපාලනමය වශයෙන් ජනප්‍රිය නොවන දුෂ්කර තීන්දු වුනත් ගන්න එතකොට අවස්ථාව ලැබෙනවා. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්න කියල අපි දිගින් දිගටම කිව්වේ ඒකයි.  

සර්ව පාක්ෂික ආණ්ඩුවක ආණ්ඩු පක්ෂයයි ප්‍රධාන විපක්ෂයයි ඉන්නම ඕනේ. ඊට අමතරව පාර්ලිමේන්තුව තුල සිටින අනෙකුත් ප්‍රධාන පක්ෂ ඉන්නට ඕනේ. නමුත් අද මේ හදලා තියෙන ආණ්ඩුවේ ප්‍රධාන විපක්ෂ කණ්ඩායම් තියා අඩුම ගානේ ආණ්ඩු පක්ෂයවත් හරියට නියෝජනය වෙනවද කියල ප්‍රශ්ණයක් තියෙනවා. එක ආසනයක් විතරක් තියෙන පක්ෂයකට අගමැති කම දීලා දැනටමත් ඔහුට විරුද්ධව ආණ්ඩු පක්ෂයේම විරෝධය මතු වෙන්න පටන් අරන්.


මේ කැබිනට් මණ්ඩලය සර්ව පාක්ෂික වෙන්නේ කොහොමද ?


ප්‍රධාන විපක්ෂ‍‍යෙන් කඩල ගත්ත දෙන්නෙකුට ඇමතිකම දීලා පාර්ලිමේන්තුව තුල ඒ දෙන්නට තමුන්ගේ ඡන්ද දෙක හැරුණම වෙන කිසිම සහයෝගයක් නෑ. තවත් ප්‍රධාන පක්ෂකින් ගත් දෙන්නව ඒ පක්ෂේ තරතුරු වලිනුත් නෙරපලා. කැබිනට් මන්ඩලයේ 20  දෙනාගෙන් 5 දෙනෙක් ඡන්ද පදනමක් නැති ජාතික ලැයිස්තුවෙන් ආ අය. තවත් කැබිනට් එක තුල ඉන්න පක්ෂ නායකයො 3 දෙනෙකුටම පාර්ලිමේන්තුව තුල තියෙන්නේ එක් මන්ත්‍රී ආසනය බැගින් විතරයි. 
 
ඉතින් කොහොමද මේ කැබිනට් මණ්ඩලය සර්ව පාක්ෂික වෙන්නේ ? පාර්ලිමේන්තුව තුල ස්ථිර බලයක් නැතුව කොහොමද  රටට වැදගත් වන අසීරු තීරණ ගන්නේ.
 
 
අද ජනතාව ගෙවන බදු මුදල් වලින් වැඩි කොටසක් වැය වෙන්නේ රටට කිසිදු ඵලදායීතාව‍යක් නැති ආයතන නඩත්තු කරන්න. මේ රටට විශාල ධන හානියක් කරන ශ්‍රී ලංකන් ගුවන් සේවය, විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව වගේ ආයතන ප්‍රතිව්‍යුහගත කරන්නට මේ කැබිනට් මණ්ඩලයට කවදාවත් හම්බ වෙන්නේ නෑ. එසේ නොකොට කොහොමද අපි මේ රජයේ වියදම් අඩුකරගන්නේ.
 
 
රටේ මිනිස්සු දුක් විඳින ගෑස් හිඟයට, තෙල් හිඟයට , විදුලිය හිඟයට හා මේ සේවාවන්හී අධික මිලට එකම විසඳුම ඒ ක්ෂේත්‍රවල තිබෙන රජයේ ඒකාධිකාරිය බිඳින එකයි. මේ කැබිනට් මණ්ඩලයට පුළුවන් වෙයිද ඒ මොනවාවත් කරන්න.

රටක් පාලනය කරනවා කියන්නේ කොහෙන් හරි ණයක් ලබා ගෙන එදා වේල කලමණාකරනය කරනා එක නොවෙයි. දීර්ඝ කාලීනව ආයේ මේ ප්‍රශ්ණ ඇති නොවෙන්න විසඳුම් සපයන එකයි කල යුත්තේ. නමුත් IMF හෝ වෙනත් විදේශ ණයක් ගැන කතාකරමින් ජනතාවට බලාපොරොත්තු දෙනවා හැර වෙන විසඳුමක් අපට අහන්න ලැබෙනවාද ?  


එන අවුරුද්දේ අපි මොකද කරන්නේ ?

මෙච්චර ණය නිසා හිරවෙලා ඉන්න අපි තවත් ණය අරගෙන මේ අවුරුද්ද කොහොම හරි ගැටගසා ගත්තා කියමු. එන අවුරුද්දේ අපි මොකද කරන්නේ. ණය ගෙවන්න බැරි අපිට ආයේ කවුද ණය දෙන්නේ. ඒ නිසා ණය දිහාම බලන් ඉන්නේ නැතුව විදේශ විනිමය වැඩි වශයෙන් රටට ගෙනෙන්නට, රටේ තියන අසීමාන්තික නාස්තිය දුෂණය අඩු කරල වියදම පාලන කරගන්න, රටට බරක් වෙලා තිබෙන 400 කට කිට්ටු රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරලා ඒවායෙන් ආදායමක් ලබා ගන්න, අඩුම ගානේ ඒවායින් පාඩු වෙන එක නවත්තගන්න වැඩපිළිවෙළක්  නේද  අපිට දැන් ආණ්ඩුවෙන් අවශ්‍ය.

කෝ අගමැතිතුමා ඒවා ගැන කතා කරනවාද ? ඇමතිවරු කතාකරනවාද ? ජනාධිපති තුමාත් බොහෝ කාලෙකින් ජාතිය අමතලා නැහැ. මෙහෙම ගියොත් පීඩනයෙන් පෙලෙන ජනතාව ලඟදිම ආයෙත් පාරට එන්න පුළුවන් සමස්ථ ආණ්ඩුවටම ගෙදර යන්න කියාගෙන. අපි කතා කරන්නේ  ජනතාව වෙනුවෙන්. අපට ඡන්දය දුන්න ජනතාව ගැන අපට වගකීමක් තිබෙනවා'' නාලක ගොඩහේවා මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය.


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 
 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්