කුරුණෑගල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක දී ඇතිවූ සිදුවීමකින් පසුව යුද හමුදා නිලධාරියෙකු විසින් සාමාන්‍ය සිවිල් වැසියෙකුට පයින් පහර දෙන අයුරු
දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ.
රටේ පවතින ඉන්ධන අර්බුදය හමුවේ සිවිල් ජනතාව දින ගණන් ඉන්ධන පෝලිම්වල රැඳී සිටිම මේ වන විට සෑම ප්‍රදේශයකම සුලභව දකින්නට ලැබෙන සිදුවීමකි.
පවතින ඉන්ධන තොග සීමා සහිතව බෙදා හැරීමට රජය විසින් පසුගියදා තීරණය කළ අතර ලංකා IOC සමාගම තමන් සතුව පවතින ඉන්ධන සිය පිරවුම්හල් ඔස්සේ මහජනතාවට නිකුත් කිරීම සිදුකරනු ලබයි.
එවන් පසුබිමක ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව විවිධ අවස්ථාවන් වලදී මහජනතාව කළහකාරී ලෙස හැසිරීමේ සිද්ධීන් වාර්තා වීමෙන් පසු ක්‍රමවත් අයුරින් ඉන්ධන බෙදා හැරීම සඳහා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව යෙදවීමට රජය පසුගියදා පියවර ගනු ලැබිය.
හමුදා නිලධාරියාගේ මෙම හැසිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනයක් එල්ලවෙමින් තිබෙන අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ ප්‍රධානි රජිත් කීර්ති තෙන්නකෝන් එම සිද්ධිය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.
සිවිල් වැසියන්ට ගහන අයට කැප්ටන් වීරකෝන් මතක්කර දීමයි
සිවිල් ජනතාවට ගහන හමුදාවේ ලොකු පොඩි හැමෝමත්, රටේ ජනතාවත් කැප්ටන් වීරකෝන් නඩු තීන්දුව කියවිය යුතුය. වන්දි ගෙවන්න වෙච්ච හැටි, ඉහළ හමුදා නිලධාරීන් පහළ නිලධාරීන්ගේ ක්‍රියාවන්ට වග කිව යුතු බව, මානව හිමිකම් නඩු තීන්දුවකින් මාක් ප්‍රනාන්දු විනිසුරුතුමා පැහැදිලි කර තියෙනවා.
නාවික හමුදාවේ ‘ගැමුණු‘ යාත්‍රාවේ අණදෙන නිලධාරි කැප්ටන් වීරකෝන් ගේ පිස්තෝලේ නැතිවෙනවා. සැකකාරයාට අල්ලගෙන ගහනවා. මානව හිමිකම් නඩුවක් SC NO. 42/2002 (FR) (කැප්ටන් වීරකෝන් එදිරිව දේශප්‍රිය) යනවා.
ගහපු කැප්ටන් වීරකෝන් වැරදිකාරයා වෙලා ආණ්ඩුවෙන් රු. 130,000 කුත්, වීරකෝන් රු. 20,000 කුත් ගෙවන්න වෙනවා. නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේ මා මිත්‍ර උපුල් කුමරප්පෙරුම.
හමුදාවේ නියෝගය යනු උතුම් කටයුත්තකි. එම උතුම් භාවය රැකිමේ වගකීම ඉහළ නිලධාරියාට තිබේ.තමන්ගේ පහළ නිලධාරියෙකු සිදු කරන සෑම ක්‍රියාවකම වගකීම ඉහළ නිලධාරියා වගකීමෙන් බැදේ. නඩු තීන්දුවේ ඉතා පැහැදිලිව සඳහන් ය. Command responsibility පිළිබඳ ලංකාවේ අති සුවිශේෂ නඩු තීන්දුවකි.
රට පුරා මොරටුව, වාරියපොල, ගම්පහ, ඇතුළු රට පුරා හමුදාව සිදු කරන ප්‍රහාරයන්ට ඒ ඒ හමුදාවන්ගේ ප්‍රධානීන් සෘජුව වගකිව යුතු බව මේ නඩු තීන්දුවේ දැක්වේ. මාගේ මතකය නිවැරදි නම්, උඩ සිට පහලට නියෝග දීමේ වගකීම පිළිබඳ යම් මාර්ග සිතියමක් ද නාවික හමුදාව විසින් මෙම නඩුවෙන් පසුව සකස් කරනු ලැබූවා.
දිසාපති/ප්‍රා.ලේ., පොලීසිය වෙනුවෙනට හමුදාව ඉන්ධන පිරවුම්හල් පාලනයට යොමු කිරීම නිසා ලංකාව ලෝකය හමුවේ මිලේච්ඡ ජාතියක් ලෙස හංවඩු වෙමින් ඇත. ලංකාවට මේ වන විට ලැබෙන්නේ මානුෂීය ආධාරයි. ඒ අන්ත දිළිඳු කන්න නැති මේ පෝලිම්වල සිටින ජනතාව සාගතයෙන්, මරණයෙන් බේරා ගැනීම උදෙසා ය. රජයේ හමුදා ඒ අන්ත දිළිඳු ජනතාවට පහර දෙන විට, ඔළු පලන විට යුරෝපා සංගමය, ජපානය, ලෝක බැංකුව, අයි.එම්.එෆ්. තබා තමිල්නාඩුව වත් කන්නට එවන්නේ නැත.
පැයෙන් පැය, දවසින් දවස හමුදාව විසින් පොලීසියට. රාජ්‍ය නිලධාරීන්ට, විදේශිකයින්ට, පුරවැසියන්ට සිදු කරන පහරදීම්වල සෘජු වගකීම ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, ආරක්ෂක ලේකම්, ජනාධිපති විසින් දැරිය යුතුය.
(රජිත් කීර්ති තෙන්නකෝන්)


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.