අද (ජූලි 05) හෝ හෙට (ජූලි 06) ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙයිද?

මේ පිළිබඳ සමාජයේ කතා බහක් ඇතිවුයේ, පොලිස්පතිවරයා ආරක්‍ෂක ලේකම්වරයා වෙත ත්‍රස්තවාදී ප්‍රහාරයක් පිලිබඳ තොරතුරු සඳහන් කර ඉදිරිපත් කර ඇති ලිපියක් සමාජ මාධ්‍ය තුල සංසරණය වීම හේතුවෙනි.

එම ලිපියේ 'කළු ජූලිය' ඉස්මතු කරමින් ජූලි 05 සහ ජූලි 06 යන දෙදින තුළ සිදු විය හැකි යැයි පැවසෙන ත්‍රස්තවාදී ප්‍රහාරයක් පිළිබඳ හෙළිදරව්ව කර ඇත.

ඒ පිළිබඳ සැලකිල්ලට ගෙන ඇත්තේ බුද්ධි අංශ හරහා ලැබුණු තහවුරු නොකළ තොරතුරු මත පදනම්ව බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය.

xdtrtපොලිස්පතිවරයා ආරක්‍ෂක ලේකම්වරයා වෙත ත්‍රස්තවාදී ප්‍රහාරයක් පිලිබඳ තොරතුරු සඳහන් කර ඉදිරිපත් කර ඇති ලිපිය


මෙම ත්‍රස්ත ප්‍රහාර අවදානම පිළිබඳ තොරතුරු හෙලි වන්නේ අද සහ හෙට මෙන්ම ඉදිරි දින කිහිපයේම ආණ්ඩුවට එරෙහිව විවිධ සංවිධාන හා කණ්ඩායම් විසින් විරෝධතා සංවිධානය කරමින් සිටියදීය.

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් සහ ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් වන ලෙස බලකරමින් රටපුරා පැවැත්වෙන විරෝධතා යළි වර්ධනය වෙමින් තිබේ.

සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය ඇතුලු දේශපාලන කණ්ඩායම් මෙන්ම සිවිල් සංවිධාන මෙම විරෝධතා සහ උද්ඝෝෂණ සංවිධානය කර ඇත.

මෙම තොරතුර බුද්ධි අංශ තහවුරු නොකළ තොරතුරක් වන අතර එම ලිපියේ සඳහන් පරිදි 'කළු ජූලිය' ඉස්මතු කරමින් ත්‍රස්තවාදී ප්‍රහාරයක් සිදුවීමට ඇති ඉඩකඩ පිළිබඳව භූමී තොරතුරු ලැබී නැතැයි ආරක්ෂක අමාත්‍යංශය අවධාරණය කරයි.

තවද, මෙම ප්‍රහාර ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් සිදු කළ හැකි බවත්, රජය අපකීර්තියට පත් කිරීමට සහ අස්ථාවර කිරීමට නොයෙකුත් රාජ්‍ය විරෝධී කණ්ඩායම් ප්‍රචණ්ඩත්වය අවුළුවාලිය හැකි බවත් වැඩිදුරටත් දන්වා එවා ඇත.

මෙම බුද්ධි තොරතුරු පිළිබඳව ඉදිරි පරීක්‍ෂණ මේ වනවිට සිදු කරනු ලබන අතර මහජන ආරක්‍ෂාව වෙනුවෙන් ප්‍රමුඛතාවයක් ලබා දී ඉහළ ආරක්‍ෂාවක්‌ තහවුරු කිරීම සඳහා සියලු පියවර ගෙන ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය අවධාරණය කළේය.

ඒ අනුව මහජනතාව කලබල නොවී තම එදිනෙදා කටයුතුවල නිරත වන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටී.

bomb

පොලිස්පතිගෙන් ආරක්ෂක ලේකම්ට තොරතුරක්

ජූලි 5 හෝ ජූලි 6 දින වල යෙදෙන කළු කොටි සමරු සතිය තුළ උතුරු නැගෙනහිර හෝ දකුණු පළාත ඉලක්ක කරගෙන බෝම්බ ප්‍රහාරක් හෝ යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් විදේශීය ඔත්තු සේවයක් මඟින් සිදුකර එය එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් කරන ලද්දක් බවට ඒත්තු ගැන්වීමට සූදානමක් ඇති බව පොලිස්පති සී.ඩී වික්‍රමරත්න විසින් ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න වෙත දැනුම් දී ඇත.

දැනටමත් යාපනය ප්‍රදේශයේ විදේශීය ආයතන වල සේවය කරන පිරිස් සහ ප්‍රභූවරුන්ට අද සහ හෙට යන දිනවල කිසිදු උත්සවයකට සහභාගී නොවන ලෙසට දැනුම් දී ඇති බවට ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය බුද්ධි අංශ අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් සැරයන්වරයෙකුට පෞද්ගලික ඔත්තුකරුවකු විසින් තොරතුරු ලබාදී ඇති බවට වාර්තා කර ඇතැයිද පොලිස්පතිවරයා යොමු කරන ලද ලිපියේ දැක්වෙයි.

තවද ඉදිරියේදී ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් ඇතුළු දේශපාලනඥයින් ඉලක්ක කර ඔවුන්ට සහ නිවාස වලට යම් ප්‍රහාරයක් එල්ල කර ඔවුන් මඟින් රජයට බලපෑම් කර රජය අපහසුතාවට පත් කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණු සහ පෙරටුගාමී පක්ෂ වලින් සහ විපක්ෂ කණ්ඩායම් මගින් සැලසුම් කර ඇති බවට තමා වෙත වාර්තා කර ඇති බව ද පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම් වෙත ජුනි 27 වැනිදා යවන ලද ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙයි.


විරෝධතා මර්දනය කිරීමේ තැතක්….ජවිපේ සහ පෙරටුගාමීන් හෙලා දකී…

පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම්වරයා වෙත යවන ලදැයි කියන ලද බුද්ධි තොරතුරු ඇතුළත් ලිපිය ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය හෙළා දකිනු ලැබීය.

මෙම ප්‍රහාර සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ.යට දොස් පැවරීමට උත්සාහ කරන බවත් උතුරේ ප්‍රභූවරුන්ට සහ විදේශ ආයතනවල කාර්ය මණ්ඩලයට එම දින දෙකේ කිසිදු උත්සවයකට සහභාගී නොවන ලෙසට දන්වා ඇති බවත් එම ලිපියේ සඳහන් වන බව ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක ද පෙන්වා දෙයි.

තමන්ට ලැබුණු මෙම තොරතුරු සහ එම තොරතුරු ලැබුණු ආකාරය රජය රටට හෙළි කළ යුතු බවත් එසේ නොවන්නේ නම් මෙය රජයට එරෙහි මතවාද යටපත් කිරීමේ උත්සාහයක් බවත් අනුර කුමාර දිසානායක පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායම් දේශපාලනඥයන්ට සහ මන්ත්‍රීවරුන්ට ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කරන බව ද එම ලිපියේ සඳහන් වන බව ඔහු සඳහන් කළේය.

අනුර කුමාර දිසානායක චෝදනා කර සිටියේ රජයට එරෙහි ජනතා විරෝධතා මැඩපැවැත්වීමට මෙම උත්සාහයන් ගන්නා බවයි.

රටේ ප්‍රශ්න විසඳීමට වඩා ආණ්ඩුව මෙවැනි පටු ප්‍රයත්නයන් හරහා විවිධ දේශපාලන ව්‍යාපාරවලට කැළලක් ඇති කිරීමට හෝ එවැනි තත්ත්වයක් රට තුළ ඇති කිරීමට උත්සහ කරන බවට ද ඔහු චෝදනා කළේය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව ද ආරක්ෂක ලේකම්වරයා වෙත එම ලිපිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජය එවැනි ලිපි සකස් කළ බවට චෝදනා කළ අතර එම ලිපියේ සඳහන් ප්‍රහාර රජය විසින් දියත් කරන බව සඳහන් කළේය.

මීළඟ විරෝධතාවයෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ධුරයෙන් ඉවත් වීමට සිදුවන බවත්, විරෝධතා මර්දනය කිරීමට මෙම පියවර ගන්නා බවත් ඔහු පැවසීය.

එවැනි උත්සාහයන්ට එරෙහිව පෙළගැසෙන ලෙස දුමින්ද නාගමුව ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ එවැනි ලිපියක් පොලිස්පතිවරයා විසින් ආරක්ෂක ලේකම්වරයා වෙත යොමු කළ බවයි.

සාමාන්‍යයෙන් එවැනි ලිපි ආරක්ෂක අමාත්‍යාංශයට යොමු කරන්නේ ලැබෙන තොරතුරුවල සත්‍යතාව තහවුරු කර ගැනීම සඳහා බව ඔහු වැඩිදුරටත් පැවසීය.

(BBC සිංහල සේවය)

 
 


 

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්