''ආණ්ඩුවට සැලැස්මකුත් නෑ, සැලස්මක් ගැන කතාකරන්න අපිට ඉඩ දෙන්නෙත් නෑ'' යි හිටපු අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.
ඔහු එබව සඳහන් කර ඇත්තේ, සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමිනි.
තමා අද පෙරවරුවේ පාර්ලිමේන්තුව අමතා වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට නියමිතව සිටිය ද ඊට නිසි අවස්ථාවක් නොලැබුන බව ඔහු පවසයි.
ආචාර්ය නාලක ගොඩහේවාගේ ෆේස්බුක් සටහනේ මෙසේ සඳහන් වේ.
''ආන්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයෙන් උදේ කතාකරල මට කියනවා රටේ වත්මන් ආර්ථික අර්බූදය ගැන කතා කරන්න විනාඩි 3 යි දෙන්න පුලුවන් කියලා. විනාඩි 3 කින් මොනවද කියන්න පුළුවන්. එයාල වරුගනන් කාලය දෙන අය මොනවද කියන රට හදන සැලැස්ම ?
''ඊයේ අගමැතිතුමා පාර්ලිමේන්තුවේ කළ කතාවේ මම නම් දැක්කේ නෑ සැලැස්මක්. ආන්ඩුවට නිසි සැලැස්මක් නැති නිසා තමයි අද IMF එකත් පස්ස ගහන්නේ.''
රජය කල යුතු, කල හැකි බොහෝ දේවල් තියෙනවා. උදාහරණයක් වශයෙන් රටේ ආදායම් හා වියදම් කලමණාකරනයේදී රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවය ගැන අගමැතිතුමා හෝ එකම කැබිනට් මන්ඩල සාමාජිකයෙක් විවෘතව කතා කරනවා මෙතෙක් මම අහලා නෑ.
පාර්ලිමේන්තුවේ COPE කමිටුවේ විමර්ශණයට ලක්වෙන රාජ්‍ය ආයතන 420 ක් පමන තිබෙනවා. මේ අතරින් මහා භාන්ඩාගාරය අඩුම ගානේ වාර්ශිකව අධ්‍යයනයක්වත් කරන්නේ ආයතන 52 ක් ගැන පමනයි. ඔවුන් කියනවා මේ ආයතන 52 ක් උපායමාර්ගිකව වැදගත් කියලා. ඒ කියන්නේ ඉතුරු 370 ව උපායමාර්ගිකව කිසිම වැදගත් කමක් නෑ රජයට. ඒවා තියෙන නිසා පවත්වාගෙන යනවා. හැබැයි ඒවා නඩත්තු කරන්න වාර්ශිකව මේ රටේ ජනතා මුදල් වියදම් කරනවා.
රාජ්‍ය ආයතන වෙනුවෙන් මේ රට විශාල ආයෝජනයන් කොට තිබෙනවා 2021 වන විට ලංකාවේ ප්‍රධානතම රාජය ආයතන 52 පමනක් සතුව තිබෙන සම්පත්වල වටිනාකම රුපියල් ට්‍රිලියන 12.437 එහෙමත් නැත්නම් බිලියන 12,437 ක්. කොටින්ම කියනවා නම් රජයේ අවුරුදු 12 ක විතර ආදායමට සමානයි මේ ආයතන 52 පමනක් තියෙන සම්පත්.
මේ වගේම තවත් විශාල සම්පත් ප්‍රමාණයක් රජයේ ඉතුරු ආයතනත් ගත්තොත් තියෙනවා.
දැන් අහන්න මේ හා විශාල සම්පත් ප්‍රමාණයක් කලමණාකරනය කරලා මේ රාජ්‍ය ආයතන රජයට වසරකට ගෙවන්නේ කීයද කියල. 2021 වසරේ ගෙවලා තියෙන්නේ රුපියල් බිලියන 30 යි. අර කොරෝනා කාලේ අඩු ආදායම් ලාභීන්ට රුපියල් 5000 දෙනකොට එකවරකට මේ බිලියන 30 ඉවර වෙනවා.
මොනවටද මේ ව්‍යාපාර තියන් ඉන්නේ ?
මම මුලින් කියපු රාජ්‍ය ආයතන 52 ක් අවුරුද්දකට 12 % ක ප්‍රතිලාබයක් රටට දුන්නා නම් ඒ කියන්නේ වසරකට රුපියල් බිලියන 1,400 ක්. ඒ කියන්නේ රාජ්‍ය ආදායම දෙගුන කරන්න පුළුවන් මේ උපායමාර්ගිකව වැදගත් කියන රාජ්‍ය ආයතන 52 නිසියාකාරව කලමණාකරනය කිරීමෙන් පමනක්.
ඉතුරු ආයතන 370 නම් තියාගෙන ඉදලා කිසිම වැඩක් නෑ ඒවා අනිවාර්‍යයෙන්ම එක්කෝ වහලා දාන්න ඕනේ නැත්නම් ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ.
ඒ නිසා සියල්ලටම පෙර මේ ආයතනවලට ලාබ ඉපයීම සඳහා පැහැදිලි ඉලක්ක ලබා දී ඒ සඳහා දක්ෂ කමලණාකරුවන් පත් කල යුතුයි. ඉලක්ක සපුරා නොගන්නා ආයතන වසා දමනු ලබන බව කල් තබා දැනුම් දී ප්‍රතිපල පෙන්වීමට ඒවාට නිශ්චිත කාල සීමාවක් ලබා දිය යුතුයි.
තව බොහෝ දේවල් තියෙනවා දැන් හරි කරන්න පටන් ගත යුතු...''