පාර්ලිමේන්තුවේ විවිධ ප්‍රකාශ කරමින් ඊට පටහැනිව ක්‍රියා නොකර පක්ෂ නායකයින් ගේ හමුවක් කැඳවන ලෙස යුතුකම සංවිධානයේ සභාපති,

පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග අග්‍රාමාත්‍යවරයා ගෙන් ඉල්ලා සිටියි.

21 වන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සඳහා එවැනි සර්වපාක්ෂික නායක හමු කැඳවූවා නම්, මේ අවස්ථාවේ එය නොහැකි වෙන්න හේතුවක් නැතැයි හෙතෙම පවසයි.

''කිසිදු වරප්‍රසාදයක් ලබා නොගෙන අපේ මව්බිම මුහුණ දෙන අර්බුදයෙන් ගොඩයෑම සඳහා වචනයකින් හෝ දායකත්වය ලබා දිය හැකි නම් ඒ සඳහා අපි ලැහැස්තියි. '' හෙතෙම එබව කියා සිටියේ ජූලි 05 වන දින පාර්ලිමේන්තුව අමතමිනි.

එහිදී කුමාරතුංග මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.

''අද දින පාර්ලිමේන්තුව අමතමින් අගමැතිතුමා තම ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සිදු කළ අදහස් දැක්වීම පදනම් කරගෙන අදහස් දැක්වීමට කැමතියි. එතුමා නැවත අගමැති ධූරයට පත්වන්නේ පසුගිය මැයි 12 වෙනිදා. ඊට පස්සේ ජුනි මාසේ 07 වෙනිදා එතුමා මේ ගරු සභාවට ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කළා. අද ජුලි මාසේ 05 වෙනිදා. එතුමා එදා වගේ ම අදත් අවධාරණය කළා, පක්ෂ දේශපාලනය පසෙකින් තබා මේ රට ගොඩනඟන්න එකතු වන්න කියලා.

ඒත් අපි අප්‍රේල් 08 වෙනිදා මන්ත්‍රීවරුන් 40+ දෙනෙකු ගේ අත්සන් සහිතව සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැඟීමේ යෝජනාවලියක් ජනාධිපතිතුමාට ඉදිරිපත් කළා.  

අප්‍රේල් 10 වෙනිදා පළමු සාකච්ඡාව කළා. අප්‍රේල් 12 වෙනිදා ආපසු රැස්වීමට නියමිතව සිටිය දී ජනාධිපතිතුමා සර්වපාක්ෂික එකඟතාවට පටහැනිව කටයුතු කළ නිසා එම සාකච්ඡා බිඳ වැටුණා.

ඊට පසු මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුවත් අපි දිගින් දිගට ම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටු වීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමාටත් රටටත් අවධාරණය කළා. අද වන තුරු ඒ සඳහා කැඳවීමක් නොලැබුණු බව කණගාටුවෙන් වුණත් කියන්න ඕන.

 

පක්ෂ නායකයින් ගෙන් සමන්විත ජාතික කමිටුවක් පත් කොට සර්ව පාක්ෂික අදහස් සමග මේ අර්බුදයට මුහුණ දීමට අවශ්‍ය එක්සත්භාවය ගොඩනඟන්න කියලා අපි අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙන් ද ඉල්ලා සිටියා.

 

අද හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර ඇමැතිතුමන්ලා සියලු දෙනාට ආණ්ඩුවට එකතු වන ලෙස ආරාධනා කළත් රනිල් වික්‍රසිංහ මැතිතුමා අගමැති ධූරයට පත්ව මාස දෙකකට ආසන්න වුණත් ඒ සඳහා පක්ෂ නායකයින්, අවම වශයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා කැමැති පක්ෂ නායකයින් කැඳවන්න පවා එතුමා කටයුතු කළේ නෑ.

මේ ආණ්ඩුව පහුගිය මාස දෙක පුරා පක්ෂ දේශපාලන ක්‍රියාවලියක නිරත ව සිටින අතර රට ඉදිරියේ රඟපාමීන්, ආයාචනා කරමින්, එක්සත්භාවය සඳහා වන මූලික පියවර වන සර්වපාක්ෂික එකමුතුව සඳහා අවංක ආරාධනාවක් පවා නොකර, බෙදීම් තව තවත් තීව්‍ර වන ආකාරයේ දුෂ්ට ක්‍රියාවලියක් තමයි, ක්‍රියාත්මක කළේ.

 

ඒ නිසා පාර්ලිමේන්තුවේ විවිධ ප්‍රකාශ කරමින් ඊට පටහැනිව ක්‍රියා නොකර පක්ෂ නායකයින් ගේ හමුවක් කැඳවන ලෙස මම අගමැතිතුමාගෙන් නැවත ඉල්ලා සිටිනවා. ජනාධිපතිතුමා ගෙන් වගේ ම ආණ්ඩුවේ ඇමැති මණ්ඩලයෙනුත් ඉල්ලා සිටිනවා. කිසිදු වරප්‍රසාදයක් ලබා නොගෙන අපේ මව්බිම මුහුණ දෙන අර්බුදයෙන් ගොඩයෑම සඳහා වචනයකින් හෝ දායකත්වය ලබා දිය හැකි නම් ඒ සඳහා අපි ලැහැස්තියි.

 

21 වන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සඳහා එවැනි සර්වපාක්ෂික නායක හමු කැඳවූවා නම්, මේ අවස්ථාවේ එය නොහැකි වෙන්න හේතුවක් නෑ. ඒ සර්වපාක්ෂික නායක හමු සඳහා ජනතා විමුක්ති පෙරමුණ හැර සියලු පක්ෂ සහභාගී වුණා. ඒ නිසා මේ අවසාන අවස්ථාවෙත් අපි ඉල්ලා සිටිනවා අපේ මාතෘභූමිය වෙනුවෙන් සර්ව පාක්ෂික නායක හමුවක් කැඳවා ඔවුන් ගේ අදහස් යෝජනා ලබා ගෙන මේ අර්බුදය විසඳා ගැනීම සඳහා ශක්තිමත් පදනමක් සකස් කරගන්න කියලා.

අගමැතිතුමා මාසෙකට කලින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මෙහෙම කියනවා: "මේ වෙනස තුළ අවධානය යොමු කළ යුතු තවත් වැදගත් කරුණක් තියෙනවා. ඒ දූෂණයෙන් හා වංචාවෙන් තොර රටක් ගොඩනැඟීමයි. මෙය අනිවාර්යෙන් ම විය යුත්තක්. හොරකමින් තොර සමාජයක්, හොරුන්ට ඉඩ නැති රටක්, හොරුන්ට දඬුවම් දිය හැකි ශක්තිමත් නීති රීති ඇති පාලනයක්," කියලා.


ගරු අගමැතිතුමනි, ඔබතුමා මේ සම්බන්ධයෙන් ගත් පියවර කුමක් ද? 22 වන ව්‍යවස්ථා සංශෝධනය මේ වන විට ගැසට් මගින් ප්‍රකාශයට පත්කොට තිබෙනවා. ඊට ප්‍රසම්පාදන කොමිසම ඇතුළත් කරලා තියෙනවා. ඒත් ඒ කොමිසමට අවම වශයෙන් යම් මිල දී ගැනීමක් සම්බන්ධයෙන් හෝ අපේ ජාතික සම්පතක් විකිණීම සම්බන්ධයෙන් හෝ යම් වංචාවක් දූෂණයක් සම්බන්ධයෙන් හෝ එය වැළැක්වීමට මැදිහත්වීමේ බලයක් දී තිබෙනවා ද? 

 
මේ සියල්ල කතා විතර ද? සියල්ල රැවටීම විතර ද?
 
 
22 වන සංශෝධනයේ සාධනීය ලක්ෂණ අපි දකිනවා. හොරකමට වංචාවට සියලු පාර්ශ්ව විරුද්ධ නම් ඉතා සරල වගන්ති කිහිපයකින් ඒ සඳහා වැට බැඳීමට ඇති අවස්ථාව අප මගහැර යන්නේ ඇයි?

ඒ වගේ ම අගමැතිතුමා ගිය මස ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ, රජයේ ඉඩම් භුක්ති විඳින අයට එම භූමියේ අයිතියත්, තට්ටු නිවාසවල සිටින අයට එම නිවාසවල අයිතියත් ලබා දෙන බව සඳහන් කර තිබුණා. මේ ඒ සඳහා සුදුසු මොහොත ද කියල අපි අහන්න කැමතියි.
 
 
රට ම ණය උගුලක සිරවී ඇති මොහොතක ජනතාවගේ ආදායම් මාර්ග අහිමි වී ඇති මොහොතක මේ දියත් වන්නේ එම දුප්පත් ජනතාව සතු අවසාන වත්කමක් අහිමි කරවන වැඩසටහනක් ද? අවම වශයෙන් මෙම ව්‍යවසනකාරී තත්ත්වය පහ වන තුරු, මෙම ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීම නවතා දමා ජනතාව කබලෙන් ළිපට ඇද දැමීම වළක්වන ලෙසත් අපි ඉල්ලා සිටිනවා.
 
 
අවංක උවමනාවක් තිබේ නම්, මේ ව්‍යවසනකාරී අවස්ථාවේ රට වෙනුවෙන් එකතු වෙන්න සූදානම් සියලු පාර්ශ්ව සඳහා සර්වපාක්ෂික එකමුතුවක් සඳහා ආරාධනා කරමින් ඒ සඳහා වන අභිලාෂය කතාවෙන් නොව ක්‍රියාවෙන් තහවුරු කරන ලෙස අගමැතිතුමා ගෙන් අවසාන වශයෙන් ඉල්ලා සිටිනවා.''



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්