මැතිවරණ සමයන්හිදී ශ්‍රී ලංකාවේ දේශපාලනඥයෝ ඡන්ද දායකයන්ට විවිධ පොරොන්දු දෙති.

1994 ජනාධිපතිවරණයේදී එවකට අගමැති පදවිය හෙබැවූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාන් රාත්තලක් රුපියල් 3.50කටත් පොහොර මිටියක් රුපියල් 350කටත් දෙන බව මෑත ඉතිහාසයේ ජනාධිපතිවරණයකදී ඉදිරිපත් වූ එවැනි එක් මැතිවරණ පොරොන්දුවකි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලන සමයේදී සියලු උපාධිධාරීන්ට රජයේ රැකියා ලබා දීමක් ද සිදු කෙරිණි.

ඊට අමතරව, එවකට අගමැති මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ වේදිකාවේ ප්‍රධාන සටන් පාඨයක් වූයේ, රාජ්‍ය අංශයේ රැකියා ලබා දීමය. ඔහු නිරන්තරයෙන් පැවසුවේ, "ලක්ෂ 7ක් වුණ රාජ්‍ය සේවකයින් ගණන ලක්ෂ 14ක් බවට පත් කරලා මම රාජ්‍ය අංශය ශක්තිමත් කළා," යනුවෙනි.

ඊට අමතරව, ඉන්ධන මිල, අත්‍යවශ්‍ය භාණ්ඩ මිල, වාහන මිල ආදිය අඩු කිරීම ද ශ්‍රී ලංකාවේ මැතිවරණ පොරොන්දු අතර ඉහළ වටිනාකමක් ගන්නා මාතෘකා වේ.

එදිනෙදා භාවිත වන සිල්ලර භාණ්ඩ පවා මෙවර ජනපතිවරණයේ ප්‍රධාන මාතෘකා බවට පත්ව ඇති ආකාරය පැහැදිලි වන්නේ, "රජයේ සේවකයෙකුගෙන් මම ඇහුවා දැන් කොහොම ද කියලා. එයා කිව්වා අයියෝ ඒ ගැන කතා කරන්න එපා ඉස්සර සිගරට් බීපු මට දැන් බීඩියක් වත් බොන්න බැහැ කියලා," යනුවෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ රැලියක් අමතමින් කී කතාවකිනි.

2019 ජනාධිපතිවරණ පොරොන්දු

මෙවර ජනාධිපතිවරණයේදී ද ප්‍රධාන අපේක්ෂකයෝ විවිධ පොරොන්දු ඉදිරිපත් කරමින් සිටිති.

සජිත් ප්‍රේමදාස:
    * නිවාස නොමැති ජනතාවට නිවාස ලබා දීම
    * ගම්මිරිස් ආදී බෝග සඳහා නිසි මිලක් ලබා දීම
    * පාසල් සිසුන්ට නිල ඇඳුම් කට්ටල සහ දිවා ආහාරය ලබා දීම
    * ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණ විද්‍යාල ඉදිකර නොමිලේ අධ්‍යාපනය ලබා දීම

ගෝඨාභය රාජපක්ෂ:
    * පොහොර නොමිලේ ලබා දීම
    * ක්ෂුද්‍ර ණය මුළුමනින් ම කපා දැමීම
    * උසස් පෙළ සමත් සියල්ලන්ට විශ්වවිද්‍යාල වරම් ලබා දීම
    * උසස් පෙළ අසමතුන්ට නොමිලේ තාක්ෂණික අධ්‍යාපනය ලබා දීම

ඉහත සඳහන් කර ඇත්තේ, මෙවර ජනාධිපතිවරණ වේදිකාවල ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා ඉදිරිපත් කරන පොරොන්දු කිහිපයක් පමණි.

කෙසේ වෙතත්, මේ පොරොන්දු ඉටු කිරීමට මුදල් සොයා ගන්නේ කෙසේ ද? යන්න කිසිවෙකුත් පැහැදිලි කර නොමැත.

සහනාධාර දීම ඇත්තට ම සහනයක් ද?

සංවර්ධනය වෙමින් පවතින රටවල වැසියන්ගෙන් වැඩි පිරිසක් සහනාධාර ලබා ගැනීමට සහ රජයේ රැකියා ලබා ගැනීමට අතිශය කැමැත්තක් දක්වති.

එහෙත් සහනාධාර, නොමිලේ ලබා දීම ආදී සුන්දර වචන සැබවින් ම ජනතාවට සහනයක් ද?

ආර්ථික හා සමාජ විද්‍යා පර්යේෂකයෙකු වන ආචාර්ය පියවි විජේවර්ධන මේ පිළිබඳව බීබීසී සිංහල සේවය සමග ආර්ථිකමය පැහැදිලි කිරීමක් කළේය.piyavi 400

"ශ්‍රී ලංකාවේ දළ දේශීය ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 90යි. මේ අපේක්ෂකයෝ දෙන්නේ ඇමෙරිකානු ඩොලර් බිලියන 90ක් තියෙන රටකට ඉටු කරන්න පුළුවන් පොරොන්දු නෙවෙයි. මේ ජනාධිපති අපේක්ෂකයන්ට රටේ දළ දේශීය ආදායම ගැන හෝ අයවැය පරතරය ගැන හෝ කිසි ම දැනුමක් නෑ."

test24ආචාර්ය පියවි විජේවර්ධන පැවසුවේ, මෙම තත්ත්වය කොටස් දෙකක් යටතේ පැහැදිලි කළ හැකි බවය.

"එකක් තමයි මේ දෙන පොරොන්දු ඉටු කරන්න බැහැ. නොමිලේ පොහොර දෙන්න, ගෙවල් හදන්න වගේ පොරොන්දු ඉටු කරන්න ශ්‍රී ලංකාවේ අයවැයෙන් බැහැ. අනෙක් කාරණය තමයි, බැරි වෙලා හරි මේ පොරොන්දු ඉටු කළොත් රටට වෙන හානිය අන්තිම නරකයි.

රටක් ණය ගන්න ඕන ආයෝජන සඳහා මිසක් සහනාධාර සඳහා නෙවෙයි. අපේ රටේ විදෙස් රටවලින් ගන්න ණය සහනාධාරවලට වැය කරනවා. ඒකෙන් කෙටිකාලීනව ජනතාව බදු ගෙවමින් පීඩා විදින්න ඕන. දීර්ඝ කාලීනව රටේ ආර්ථිකය පහළ වැටෙනවා. ජනාධිපතිවරයෙක් කරන්න ඕන මාළු නොමිලේ දෙන එක නෙවේ, මාළු අල්ලගන්න බිලී පිත්තක් දෙන එකයි."

එසේ නම් ඡන්ද දායකයින් ගත යුතු පියවර කුමක් ද?

"ජනතාව තේරුම් ගන්න ඕනෙ මේ සහනාධාර විදිහට දෙන දේවල් ආයෙත් බදු විදිහට තමන්ට ගෙවන්න වෙන බව. දරුවෙක් වඩාත් ආදරය කළ යුත්තේ දිනපතා හම්බ කරන සල්ලි වියදම් කරලා අයිස් ක්‍රීම් අරන් දෙන තාත්තා කෙනෙකුට නෙවේ. ඒ සල්ලි ඉතුරු කරලා තමන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කරන තාත්තා කෙනෙකුටයි. 

ඒ වගේ ම දරුවන්ට ආදරේ කරන තාත්තලා හම්බ කරන සල්ලි ටික අයිස් ක්‍රීම්වලට වියදම් කරන්නේ නෑ. ඡන්දය දෙන්න කලින් ඒ ගැන හිතන්න ඕන," ආචාර්ය පියවි විජේවර්ධන සදහන් කළේය.

"සීනි බෝල කතා"

vishaka 430ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් දියුණු රටක් කිරීමට අවශ්‍ය නම් ජනතාව රජයෙන් සහනාධාර ලැබෙන තුරු බලා නොසිට දේශපාලනඥයින් ඉදිරිපත් කරන ඉටු කළ නොහැකි "සීනි බෝල කතාවලට" නොරැවටී ඡන්දය භාවිත කළ යුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශ ප්‍රධානී ආචාර්ය විශාකා සූරියබණ්ඩාර බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියාය.

"බලය ලබා ගන්න මේ අපේක්ෂකයෝ සීනි බෝල කතා කියනවා. දැන් පොහොර නොමිලේ දෙනවා නම් ඒකට රුපියල් බිලියන කීයක් වැය වෙයි ද? ඒවා කොහෙන් ද ගේන්නේ?"test25


ඇය පෙන්වා දුන්නේ, සහනාධාර ලබා දීම ජනතාවට සැබවින් ම සහනයක් නොවන බවය.

"ජනතාව යාචකයින් බවට පත් කරලා හරියන්නේ නැහැ.

ජනතාවත් අනික් අතට තේරුම් ගන්න ඕනෙ තමන්ට හැම දේ ම නොමිලේ දෙන්න ගියා ම රටේ ආර්ථිකය වැටෙනවා කියලා. දැන්වත් මේ යාචක මානසිකත්වයෙන් මිදෙන්න ඕන."

ශ්‍රී ලංකාවේ දෛනික වියදම රුපියල් බිලියන 7000ක් වන අතර දෛනික ආදායම රුපියල් බිලියන 5000කි.

ඒ අනුව, දෛනික ආදායම සහ වියදම අතර පරතරය රුපියල් බිලියන 2000කි.

(කුමුදු ජයවර්ධන -BBC සිංහල සේවය)

subscribeYT

කාටුන්

නවතම පුවත්