ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සිය ධුරවලින් ඉවත්වීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාදාමය පිළිබඳව

ශ්‍රී ලංකා නීතීඥ සංගමය අද පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් විස්තර කළේය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඔහු විසින් තමාගේ අත්සනින් යුත් ලිපියක් කථානායකවරයාට යොමු කළ යුතු බවත්, එම ධුරය පුරප්පාඩු වූ විට අග්‍රාමාත්‍යවරයාට වැඩ බලන ජනාධිපතිවරයා ලෙස වැඩ භාර ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩ සලසා ඇති බවයි.



“අගමැතිවරයාට ජනාධිපති ලෙස ක්‍රියා කිරීමට නොහැකි නම්, කතානායකවරයාට වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කිරිමට හැකියි” ශ්‍රී ලංකා නිතිඥ සංගමයේ සභාපතිවරයා කියා සිටියේ ය. කතානායකවරයාට ද තාවකාලික ජනාධිපති ධුරයේ කටයුතු කළ හැක්කේ මාසයක් පමණක් වන බව ඔහු සඳහන් කළේය.



එම මාසය ඇතුළත පාර්ලිමේන්තුව විසින් සිය ධුරයෙන් ඉවත් වූ ජනාධිපතිවරයාගේ ධූර කාලයේ ඉතිරි කාලය සඳහා අනුප්‍රාප්තිකයෙකු තෝරා ගත යුතු බවද ඔහු මෙහිදී සඳහන් කර සිටියේ ය.

අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා කියා සිටියේ අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීමට අවශ්‍ය නම් එම ඉල්ලා අස්වීමට ගත් තීරණය ජනාධිපතිවරයාට ලිඛිතව ඉදිරිපත් කළ යුතු බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන් අතරින්ම නව ජනාධිපතිවර්ය තෝරා පත් කර ගත හැකි බවත්, නව ජනාධිපතිවරයා එම තනතුරට සුදුස්සන් අතරින් තෝරා පත් කර ගත යුතු බවද නීතිඥ සංගමයේ සභාපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.



ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගනු ලබන මන්ත්‍රීවරයා ප්‍රකාශිත ඡන්දවලින් 50% කට වඩා වැඩි ප්‍රතිශතයක් ලබා ගත යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය. "සියලු මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කරන්නේ නම්, තේරී පත්වන මන්ත්‍රීවරයාට ඡන්ද 113 ක් තිබිය යුතුය," ඔහු සඳහන් කළේය.



පවතින වත්මන් තත්ත්වය අනුව රට දීර්ඝ කාලයක් තිස්සේ අස්ථාවර භාවයකින් යුතුව ගමන් කළ නොහැකි බව අවධාරණය කර සිටි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා, තත්ත්වයෙහි බරපතලකම අවබෝධ කර ගන්නා ලෙසත්, බලය මාරුවීම සුමටව සිදු කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලෙසට ජනාධිපතිවරයා, අගමැතිවරයා, කතානායකවරයා ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගෙන් ඉල්ලීමක් කරන බවද කියා සිටියේය.

ජනාධිපතිවරයා 13 වැනිදා ඉල්ලා අස්වන්නේ නම් ඉන් පසුව බලයට පත්කරනු ලබන තැනැත්තා තෝරා ගැනීම කඩිනමින් සිදු කළ යුතු බවත් ප්‍රමාද නොවිය යුතු බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.

" සාමකාමී බල හුවමාරුවක් සිදුවිය යුතු අතරම මෙය නීතියේ ආධිපත්‍යයට, ප්‍රජාතන්ත්‍රවාදයට සියලු දෙනා ගරු කළ යුතු කාලයක්. මෙය ජාතික සමගිය සඳහා කාලයක්" යනුවෙන් නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසා සිටියේය.

සියලු පක්‍ෂ විසින් පිළිගත හැකි අගමැතිවරයකු සමඟ ආණ්‌ඩුවට එක්‌වන සියලුම පක්‍ෂ ජාතික සමගි රජයට හදිසි ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට පොදු වැඩපිළිවෙළක්‌ තිබිය යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

(nethnews.lk)

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්