ගාලු මුවදොර අරගලය ඇතුළු රට පුරා තුළ සිදුවන ජනතා විරෝධතා වාර්තා කළ 'නිව්ස් ෆස්ට්' මාධ්‍යවේදීන් පසුපස රජයේ බුද්ධි අංශ නිලධාරීන් ලුහුබඳිමින්
සිටින බවට විශ්වාසදායක තොරතුරු ලැබී ඇතැයි එම මාධ්‍ය ආයතනයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු පැවසිය.
ජූලි 09 වැනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නිවාස ගිනිතැබීමේ සිද්ධියෙන් පසු මෙවැනි තත්වයක් මතුව ඇතැයි ඔහු සඳහන් කළේය.
පසුගිය කාලයේ ජන විරෝධතා වාර්තා කළ 'නිව්ස් ෆස්ට්' ඉදිරිපෙළ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු පසුපස හඹා යන ලෙසට ආරක්ෂක අංශ වලට ඉහලින් උපදෙස් ලැබී ඇතැයි විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වී ඇතැයි ද ඔහු කියා සිටියේය.
මේ හේතුවෙන් 'නිව්ස් ෆස්ට්' මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල අනතුරක් මතුව ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ජූලි 09 වැනිදා 'නිව්ස් ෆස්ට්' මාධ්‍යවේදීන් 08 දෙනෙකුට ආරක්ෂක අංශ නිලධාරීන් අමානුෂික ලෙස පහරදුන් අතර මේ වන විටත් ඔවුන්ගෙන් දෙදෙනකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.
මේ අතර පසුගිය දින කිහිපයේම සිරස නිව්ස් ෆස්ට් ප්‍රධාන කාර්යාලය ආශ්‍රිතව ඔත්තු බැලිමේ නිරත ඩෝන යානා යැයි සැකකෙරෙන යානා කිහිපයක් සැරිසරන ආකාරය එහි සේවය කරන පිරිස් දැක තිබේ.
ඒ අතර සිරස මාධ්‍ය ජාලයේ සභාපතිවරයාගේ නිවාස ආසන්නයේ ඊයේ රාත්‍රී ආරක්ෂක අංශ රථ පේලියක් නවතා තිබීම සම්බන්ධයෙන් ද සැක මතුව තිබේ. කෙසේවුවද වැඩිදුරටත් සොයා බැලීමේදී වාර්තා වුයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ආරක්ෂාව තරකරමින් එම ආරක්ෂක අංශ ස්ථානගත කර ඇති බවයි.
සිරස මාධ්‍යවේදීන්ට පහරදුන් එස්.එස්.පී.ගේ වැඩ තහනම්
මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවස ආසන්නයේ දී ඉකුත් (9) ඇති වු සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොමේෂ් ලියනගේ වාහාම ක්‍රියාත්මක වන පරිදි වැඩතහනම් කර ඇත.
මාධ්‍යවේදීන්ට පහර දීම වැලැක්වීමට කටයුතු නොකිරීම, ආයතන සංග්‍රහය මගින් පොලිස්පතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩතනම ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිතිඥ නිහාල් තල්දූව පවසයි.
විශේෂ කාර්ය බළකායේ අගමැති ආරක්ෂ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස ඔහු කටයුතු කළේය.
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.