1200 x 80 DMirror

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අනිද්දා (13) සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව නව ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇතැයි lankadeepa.lk වාර්තා කරයි.

ඩලස් අලහප්පෙරුම ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ඔහුට සහාය ලබාගැනීමේ උත්සාහයක් ද මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතින බව එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

පාර්ලිමේන්තුවේ බෙදීමක් ඇති නොවී සජිත් ප්‍රේමදාස හා ඩලස් අලහප්පෙරුම යන දෙදෙනාගෙන් අයකු ජනාධිපතිවරයා ලෙස එකඟතාවකින් පත්කර ගැනීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නායකයන් අතර මේ වන විට සාකච්ඡාවක් ද ආරම්භ වී ඇත.

මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් තලතා අතුකෝරල මන්ත්‍රීවරියගේ නුගේගොඩ පිහිටි නිවසේ ඊයේ (10) පස්වරුවේ පවත්වා ඇති අතර සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රමුඛ ස්වාධීන කණ්ඩායම සහ හවුල් පක්ෂ නවයේ කණ්ඩායම ඇතුළු පක්ෂ හා කණ්ඩායම් රැසක් ඒ සඳහා සහභාගි වී ඇතැයි දැනගන්නට තිබේ.

 

රට තුළ ඇතිව තිබෙන බරපතළ දේශපාලන හා ආර්ථික අර්බුදය හමුවේ පාර්ලිමේන්තුවේ බෙදීමක් ඇති නොකර මේ දෙදෙනාගෙන් අයකු ජනාධිපතිවරයා ලෙසත්, අනෙක් කෙනා අගමැති ලෙසත් පත් කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වී ඇතැයි දැනගන්නට තිබේ.

 

මේ අතර, හවුල් පක්ෂ නවයේ කණ්ඩායම ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී ඊයේ පෙරවරුවේ රැස්වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

අතුරලියේ රතන හිමි ද , විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, මහාචාර්ය තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර, විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, වීරසුමන වීරසිංහ, ප්‍රේමනාත් දොලවත්ත, මොහොමඩ් මුසම්මිල්, ඒ එල් එම් අතාවුල්ල, ගෙවිදු කුමාරතුංග ඊට සහභාගි වූහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂටත්, අගමැති රනිල් වික්‍රමසිංහටත් වහාම ඉල්ලා අස්වන ලෙස බල කිරීමට ද එම සාකච්ඡාවේදී තීරණය කර ඇත.

මේ අතර නව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ විශේෂ සාකච්ඡාවක් ද කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් කතානායක නිල නිවසේ දී අද (11) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

ජනාධිපතිව ගෝඨාභය රාජපක්ෂ අනිද්දා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව කතානායකවරයාට මේ වන විටත් ලිඛිතව දැනුම් දී ඇත.

මේ අතර, සියලු පක්ෂ සම්බන්ධ කර ගනිමින් අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ද දේශපාලන පක්ෂ නායකයන් අතර සාකච්ඡා වට ගණනාවක් මේවන විට පවත්වා ඇත.


ෆීල්ඩ් මාර්ෂල්ට අරගල භුමියේ සහය !


මේ අතර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ජනාධිපති කල යුතු යයි අරගල භුමියේ පාර්ශව කිහිපයක් ම යෝජනා කර ඇතැයි වාර්තාවේ.

මේවනවිට මුළුමනින්ම අරාජිකත්වයට පත්ව ඇති රට බාරගනිමින්, රට තුළ යළි නිතිය හා සාමය ඇතිකරලීමේ වගකීම බාරගැනීමට තමා සුදානම් බව
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සිය හිතවතුන්ට පවසා ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තාවේ.

ඒ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ ඔහුගේ සමීපතම හිතවතකු පැවසුයේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන 13 දා ඉල්ලා අස්වීමෙන් පසුව මසක් ඇතුලතදී පාර්ලිමේන්තුව තුළ දී පැවැත්වීමට නියමිත ජනාධිපති තෝරා පත්කර ගැනීමේ ඡන්දයට ඉදිරිපත්වීමට සරත් ෆොන්සේකා බලාපොරොත්තු වන බවයි.



කව්රු බලයට ආවත් අරගලයේ අපේක්ෂා ඉටුකළ යුතුයි - පෙරටුගාමියෝ


ඉදිරියේදී කව්රු බලයට පැමිණිය ද අරගලයේ අපේක්ෂා අනිවාර්යෙන් ඉටුකළ යුතු බව අරගලයේ ප්‍රධාන පාර්ශවකරුවකු වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය
අවධාරණය කර සිටියි.  

ජන අරගලය ලබාගත් ජයග්‍රහණ සහ ඉදිරියේදී අරගලය ගමන් කළ යුතු මග සම්බන්ධයෙන් ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් එබව අවධාරණය කළේය.



ksjhas


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය