පාර්ලිමේන්තුවේ ඡන්දයක්වත් දිනුවෙ නැති රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවීමට කිසිඳු ඉඩක් නොතැබිය යුතු බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.

මරික්කාර් අවධාරණය කර සිටියි.

සජබ මාධ්‍ය ප්‍රකාශක මරික්කාර් මන්ත්‍රීවරයා එබව කියා සිටියේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි.

ජනවරමක් සහිතව සිටි ජනාධිපතිවරයා වූ ගෝඨාභය රාජපක්ෂ ජනබලය ඉදිරියේ තනතුරින් ඉවත් වීමට සිදුවීමෙන් පසු කිසිදු ජනවරමක් නොමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස පත්වීමට සැලසුම් කරමින් සිටින බව එස්.එම්. මරික්කාර් මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය කර සිටියේය.

පාර්ලිමේන්තුවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ සලසා දී රනිල් වික්‍රමසිංහ වහාම අගමැති තනතුරින් බවත් විය යුතු බව ඔහු අවධාරණය කර සිටියේය.

මාධ්‍ය හමුවේදී ඔහු තවදුරටත් මෙසේ සඳහන් කළේය.


''ජනතාව ගෝඨා-රනිල් දෙන්නටම යන්න කියලා ඉවරයි..''


''ගෝඨාභය රාජපක්ෂට ජන වරමක් නැති නිසා, ජනතාව ඔහු එලවන නිසා ඔහු දැන් අයින් වෙන්න එකගතාව පළ කරලා තියෙනවා. එතකොට ඒ ජනාධිපතිවරයාට තවදුරටත් ජන වරමක් නැති නිසා ඔහු අයින් වෙනකොට, ජනවරම ජනාධිපතිවරයාට අහිමි වෙන කොට ඒ ජනාධිපතිවරයා පත්කරපු ජනතාව ප්‍රතික්ෂේප කරපු අගමැතිවරයා, ජනවරමට ගරු නොකරන තත්වයක ඉන්නේ.

ඒ නිසා අපි පැහැදිලිවම කියන්න කැමතියි ජනතාව කිව්වේ ගෝඨාට යන්න කියලා විතරක් නෙමෙයි, ගෝඨා-රනිල් දෙන්නටම යන්න කියලා ඉවර වෙලා. පාර්ලිමේන්තුවේ ඡන්දයක්වත් දිනුවෙ නැති කෙනෙක්ට මෙහෙම අල්ලං ඉන්න බෑ. ඒ නිසා, මේ අර්බුදය තවත් තීව්‍ර කරන්නෙ නැතුව එතුමාට වහාම ඉල්ලා අස්වෙන්න කියලා අපි පැහැදිලිවම කියන්න කැමතියි.

ඒ එක්කම කියන්න ඕනේ එතුමා මේ කියන්න යනවා රට අස්ථාවර කරන්න බෑ කියලා, රට කොහොමත් අස්ථාවර වෙලා තියෙන්නෙ. ඒ නිසා ව්‍යවස්ථාවෙ ප්‍රතිපාදන තියෙනවා ජනාධිපතිවරයායි අගමැතිවරයායි දෙන්නම අයින් උනොත් එහෙම කතානායක වරයා වැඩබලන ජනාධිපතිවරයා බවට පත්වෙනවා.

 

''මේ කරන්න හදන්නේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාද වෙච්ච අගමැතිවරයා, ජනවරමට ගරු නොකරමින් අයින් වෙන්නෙත් නැතුව මේ අල්ලං ඉන්නෙ වෙන  මොහොකටවත් නෙමේ, ජනාධිපතිවරයා දහතුන් වැනිදා අස් උනාම, දවසකට දෙකකට හරි, එතුමාට ජීවිත කාලෙම කරගන්න බැරි වෙච්ච, වැඩ බලන ජනාධිපතිවරයෙක් වෙන කූඨ උපක්‍රමයක් තමයි ක්‍රියාත්මක කරන්න යන්නේ.''

 

ඒ නිසා ව්‍යවස්ථාව අනුව එතුමා අයින් වුණා කියලා මීට වඩා රට අස්ථාවර වෙන තත්ත්වයක් මතු වෙන්නෙත් නැහැ. ව්‍යවස්ථාව අනුව එහෙම ප්‍රශ්නයකුත් නැහැ. ඒ අනුව පක්ෂ නායකයින් ගත්තු තීන්දුවටයි, ජනතාව කියන දේටයි ගරු කරලා, පාර්ලිමේන්තු මැතිවරණයෙන් අසුන අහිමි වෙච්ච, ජාතික ලැයිස්තුවෙන් ආපු අගමැතිවරයාට අපි කියන්න ලෑස්තියි ජනාධිපතිවරයා එක්ක ඔබ ඉල්ලා අස්වෙන්න.

ඒ වගේම සමගි ජන බලවේගය මේ මොහොතේ සියලු පක්ෂ එකතු කරගනිමින් කෙටි කලකට ආණ්ඩුවක් පිහිටුවලා, ඒ ආණ්ඩුව හරහා මේ ජනතාව ඉල්ලන ප්‍රධාන ගැටළු වලින් කිහිපයක් සම්පූර්ණ කරලා, අපි සියලු පක්ෂ නායකයින් කතා කරන පරිදි ජනතාවට අවස්ථාව ලබාදිය යුතුයි ජනවරමකින් අලුත් ආණ්ඩුවක් පිහිටුවන්න.

ඊට කලින් මේ සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවලා අපි පැහැදිලිවම මේ පෝලිං ටික නැති කිරීමේ වැඩපිළිවෙළක් තියෙන්න ඕන. අපිට මැදපෙරදිග රටවල් එක්ක තෙල් සඳහා ක්‍රෙඩිට් ලයින් එකක් දාගත්තොත් අපිට තෙල් පෝලිම අහවර කරන්න පුළුවන්. 

 
ඒ සඳහා දැනට වියදම් කරන ඩොලර් මිලියන 200- 250ක ප්‍රමාණය අත්‍යවශ්‍යය ආහාර සහ පොහොර ගෙනඒම සඳහා පාවිච්චි කිරීම හරහා මේ පෝලිම් ටික නැති කරලා, නිෂ්පාදනය ශක්තිමත් කරමින්, ආර්ථික මට්ටම යම් ස්ථාවර භාවයක්, රට සන්සුන් තත්ත්වයකට ගෙන එන ගමන්ම, මේ අරගලකරුවන් අරගලකරුවන් ජනතාව ඉල්ලන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ කිහිපයක් සහ ප්‍රධාන වශයෙන් ඉල්ලන කරුණු ටික පාර්ලිමේන්තුව හරහා සම්මත කරන්න පුළුවන්.
 
 
ඒ නිසා, අපි පැහැදිලිව කියන්න කැමතියි කවුරු හරි හිතනවා නං අරගලයක් හරහා පත්වන තාවකාලික ආණ්ඩුව ජනතාව සහ ජාත්‍යන්තරය පිළිගන්න එකක් වෙන්න නම්, විපක්ෂය නායකත්වය දරන එකක් වෙන්න ඕන. නැතුව මේ ආණ්ඩුවට කඩේ ගිහිල්ලා, මේ ආණ්ඩුවේ ඇමැතිකම් දරලා, මේ ආණ්ඩුවේ ඉඳලා, දැන් ජනාධිපතිවරයාව රට එලවන කොට " අනේ අපි එයත් එක්ක නෑ" කියලා පැනලා එන කට්ටියකට ආණ්ඩුව කරන්න දෙනවට ජනතාව කැමති වෙන්නේ නෑ.
 
 
 
ඒ පැනලා එන කට්ටියගෙන් කෙනෙකුට ජනාධිපති වෙන්න කියලා ජනතාව කියන්නේ නෑ. පැනලා එන කට්ටියක් එක්ක රට පාලනය කරන්න,  රට බාර දෙන්න  ජනතාව සූදානම් නෑ, විපක්ෂයත් සූදානම් නැහැ. ඒ නිසා මේ අරගලයට වටිනාකමක් ලබා දෙන්න නම්, ඉතාම පැහැදිලිව අගමැතිවරයා වහාම ඉල්ලා අස්වෙලා, ජනාධිපති වරයාගේ ඉල්ලා අස්වීමත් එක්කම, නව ජනාධිපතිවරයෙක්, නව අග්‍රාමාත්‍යවරයෙක් පාර්ලිමේන්තුවෙන් පත් පත්කළ යුතුයි ව්‍යවස්ථාව අනුව.

ඒ සඳහා විපක්ෂය මූලික කොටගත් සර්වපාක්ෂික ආණ්ඩුවකින් පමණයි මේ ගැටලුව විසඳන්න පුළුවන්. ඒ සඳහා සමගි ජනබලවේගය සූදානම් වෙලා ඉන්නවා කියන එක අපි පැහැදිලිව කියන්න කැමතියි.


''අගමැතිතුමා සත පහකට විස්වාස නෑ''


ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීම අගමැතිවරයාට දැනුම්දී ඇත්දැයි මාධ්‍යවේදීයකු කළ ප්‍රශ්න කිරීම හමුවේ පිළිතුරු දෙමින් මරික්කාර් මන්ත්‍රීවරයා මෙසේ සඳහන් කළේය.

''අගමැතිතුමාට දැනුම් දුන්නා කියල අගමැතිතුමානේ කියන්නේ. මටනම් අගමැතිතුමා කියන එක විශ්වාස කරන්න බෑ. එතුමා මට සත පහකට විස්වාසයක් නෑ. ඒ නිසා ජනාධිපතිතුමාගේ ඉල්ලා අස්වීම එතුමා පාර්ලිමේන්තුවට හෝ අග්‍ර විනිශ්චයකාරතුමා ට දැනුම් දිය යුතුයි. මා දන්නා තරමට එතුමා කතානායකවරයාට වාචිකව දැනුම් දීලා තියෙනවා. දැන් මේක ලිඛිතව එන්න ඕන.

මේ අගමැතිවරයා හදන්නේ බොරු පක්ෂ නායක රැස්වීම් කැඳවන්න. එයාට පක්ෂ නායක රැස්වීම් කැඳවන්න අයිතියක් නෑ. එයා පක්ෂ නායක රැස්වීම කැඳවලා, ජනාධිපතිතුමා මට මෙහෙම කිව්වා අරහෙම කිව්වා කියලා රට අන්දන්න. එතුමට තේරෙන්නේ නෑ රටේ එක මිනිහෙක්වත් එතුමා කියන එක පිලිගන්නේ නෑ කියලා ඉවර වෙලා. සිරිකොතේ සියයට දශම එකේ කල්ලිය විතරයි පිළිගන්නේ. වෙන කවුරුත් පිළිගන්නේ නෑ එයා කියන එක. එයාට ජනවරමකුත් නෑ , එයාට ඉන්න අයිතියකුත් නෑ. එතුමා කරන්නේ තනිකරම ප්‍රෝඩාවක්. තවම පාඩමක් ඉගෙන ගෙන නෑ.


මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු තවදුරටත් මෙසේ ප්‍රතිචාර දැක්විය.


ප්‍රශ්නය :
සජිත් ප්‍රේමදාස මහත්මයා අග්‍රාමාත්‍ය ධූරය බාරගන්න එකඟතාවය පළ කරලාද තියෙන්නේ?

මරික්කාර් :
 
 
ආණ්ඩුව භාරගන්න අපේ එකගතාවය පල කරලා තියෙන්නේ. ව්‍යවස්ථා ප්‍රතිපාදන අනුව අපි වැඩ කරනවා. විවිධ පක්ෂ එක්ක අපි සාකච්ඡා කරමින් ඉන්නේ. ඉතින් අරගලයකින් එන තාවකාලික ආණ්ඩුව විපක්ෂය මූලිකව තමයි එන්න ඕන. එතකොට විපක්ෂයේ ප්‍රධාන පක්ෂය සමගි ජන බලවේගය, එකේ නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා, ඉතින් ඒ වෙන්න ඕන දේවල් වෙයි. 
 
 
ප්‍රශ්නය :
අරගල භූමියේ ඉන්න  පිරිස් කියනවා, සර්වපාක්ෂික ආණ්ඩුවක් නැතුව ඔවුන් එක් කරගත්ත අලුත් ක්‍රමවේදයකට යන්න ඕන කියලා. මේක කරන්න පුලුවන්ද මේ වෙලාවේ?


මරික්කාර් :
ව්‍යවස්ථාවට අනුවනේ අපි සියල්ල කරන්න ඕන. ව්‍යවස්ථාවේ පැහැදිලිව ප්‍රතිපාදන තියෙනවා. ඒ ප්‍රතිපාදන අනුව තමයි වැඩ කරන්න ඕන. මොකද ව්‍යවස්ථාවෙන් පිට කිසිම දෙයක් කරන්න බැහැ අපිට.


ප්‍රශ්නය :
ඒ කියන්නේ ආයෙමත් අරගලකරුවෝ අරගලයකට යයිද?


මරිකාර් :
නෑනෙ.  ඔවුන් ඉල්ලන ඉල්ලීම් තියෙනවා. සැලකිය යුතු මට්ටමකට සාධාරණ ඉල්ලීම් තියෙනවනේ. එතකොට මේ සර්ව සර්වපාක්ෂික ආණ්ඩුව පිහිටුවන්නේ අරයා එළවලා මෙයා ගේන්න කියන කතන්දරයකට නෙමෙයිනේ. ඒ ටික ක්‍රියාත්මක කරන්න ඕන. මොකද මේ වගේ මොහොතකදී තමයි සියලු පක්ෂ වලට එකඟ වෙන්න පුළුවන් වෙන්නේ. නැත්නම් වෙන වෙන දේශපාලන න්‍යාය පත්‍ර යනවා වෙන වෙන වෙලාවල් වලට. ඒ නිසා ඒ දේවල් ටික කරන්න තමයි ගේන්න ඕන. ඒක කරන්න ඕන ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදන අනුව.



''විමල්ලාට බිම් මට්ටමෙන් තියන ජනමතය මොකක්ද''
 

ප්‍රශ්නය :
දැන් ඊයේ අපි දැක්කා පක්ෂනායක රැස්වීමෙන් පස්සේ විමල් වීරවංශ මහත්තයා කියනවා SLPP එක පැත්තෙන් ඒගොල්ලො යෝජනා කරනවා කියලා ඩලස් අලහප්පෙරුම ව..  එහෙම උනහම බහුතරය පෙන්නන්න යෑමේදී ආයෙමත් අස්ථාවර භාවයක් ඇතිවෙනවා නේද?


මරික්කාර් :
මම නං ඒක දැක්කෙ නැහැ අවංකවම. විමල් වීරවංශ එහෙම කිව්වද නැද්ද කියලා.
 
 
විමල් වීරවංශලාට බිම් මට්ටමෙන් තියන ජනමතය මොකක්ද කියලා මට වැඩිය හොඳට මාධ්‍යවේදි ඔබතුමාලා දන්නවනේ. මම එක දෙයක් දැක්කා එයාට වොයිස් කට් එකක් දීගන්න බැරි වුණා ඊයේ නුගේගොඩදී. එක තනි මිනිහෙක් ඇවිල්ලා කෑ ගහනකොට එතුමා දිව්වා. ඉතිං එයා ද මේ කියන්නේ රටේ ජනාධිපති වෙන්න ඕන අහවලා, රටේ අගමැති වෙන්න ඕන අහවලා කියලා. එයාටත් ජනවරමක් නැහැ.
 
 
ඉතිං ඒ නිසා SLPP එකේ, පොදුජන පෙරමුණේ, පොහොට්ටුවේ ගෝඨාභය රාජපක්ෂව එළවලා, පොහොට්ටුවේම කෙනෙක් ජනාධිපති වෙනවට මේ රටේ මිනිස්සු කැමති වෙයිද? මාධ්‍යවේදි තමුන්නාන්සේලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඒක.

ඒ නිසා දැන් ජනතා මතයට පිට යන්න බැහැ. මොකද ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මෙහෙම දෙයක් වෙලා තියෙන්නේ. ඒ නිසා හරියට ජන මනස කියවගන්න ඕන. අපි ඒකයි රනිල් වික්‍රමසිංහට කියන්නෙත්, විමල් වීරවංශට කියන්නෙත්, සියලු දෙනාටම කියන්නෙත්.


ප්‍රශ්නය :
මේ පත්වෙන්නේ තාවකාලික ජනාධිපතිවරයෙක් ද ?


මරික්කාර් :
පත්වන ජනාධිපතිවරයා 2024 නොවැම්බර් මාසෙ වෙනකං ස්ථිර ජනාධිපති. මොකද හේතුව මේ ජනාධිපතිවරයා ඉල්ලා අස් උනහම, අගමැතිවරයා එක්කම ඉල්ලා අස් වුනොත්  කතානායකවරයා වැඩබලන ජනාධිපතිවරයා වෙනවා. ඊට පස්සේ මාසෙක උපරිම කාල සීමාවක, පාර්ලිමේන්තුවේ බහුතරයකින් ජනාධිපතිවරයෙක් පත්කරගත යුතුයි. ඒ පත්කරගන්නා පත්කරගන්නා වූ ජනාධිපතිවරයා මේ ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසාන වන තෙක් ස්ථිර ජනාධිපතිවරයා.



ප්‍රශ්නය :
මැතිවරණයක් පවත්වන්න වෙයිද?


මරික්කාර් :
ඔව්. මොකද ජනාධිපතිවරණය පවතින්නේ නැවත 2024 නොවැම්බර් වල. එතෙක් ජනාධිපතිවරයා වෙන්නේ පාර්ලිමේන්තුවෙන් පත්වන ජනාධිපතිවරයා.


ප්‍රශ්නය :
 දැන් ඒ වගේම තමයි ජනතාවගේ මතයක් තියෙනවා හැමෝම දැන් සර්වපාක්ෂික ආණ්ඩුව හදන්න කතාබහ කරනවා. ජනාධිපති කෙනෙක් පත් කරන්න කතා කරනවා කියලා. හැබැයි තාම ජනාධිපති ඉල්ලා අස්වෙන්නේ නෑ. එයා නැවතත් ජනාධිපති පුටුවේ වාඩි වෙන්න බැරිද?


මරික්කාර් :
නෑ නෑ. ඒ වගේ කුපාඩි උපක්‍රම ඒගොල්ලො ට්‍රයි කරාවි. රාජපක්ෂලා ඒ තරම් බලයට කෑදරයි. මෙතන ප්‍රශ්නය තියෙන්නේ එයා දැන් කතානායකතුමාට නිල වශයෙන් දැනුම් දුන්නාට පස්සේ එයාට තවදුරටත් ඉන්න බැහැනේ.

 දැන් අපි බලන්න ඕනි සර්වපාක්ෂික ආණ්ඩුව පිහිටුවන්න, ඇමතිකම් ගන්න ඒවා ජනාධිපතිකම් ගන්න ඒවා අගමැතිකම් ගන්න ඒවා නෙමෙයි. මේ ඉල්ලන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ටික ගේන්නේ කොහොමද? ඒ වගේම මේ පෝලිම් ටික නැති කරන්න ඒ සර්වපාක්ෂික ආණ්ඩුවට ජාත්‍යන්තර පිළිගැනීමක් අරගෙන මේ පෝලිම් ටික නැති කිරිමට අවශ්‍ය ඒ බඩු භාණ්ඩ ටික ක්‍රෙඩිට්  ලයින් වලින් ගේන්න පුළුවන් වැඩපිළිවෙළක් ඕන.

ජනතාව බලාපොරොත්තු වෙන සර්වපාක්ෂික ආණ්ඩුව පිහිටුවලා ආයෙ පෝලිමේ ඉන්න වෙනවා නම් ඒ පිහිටුවන සර්වපාක්ෂික ආණ්ඩුවෙන් වැඩක් නැහැ. ආයේ දිගටම තෙල් නැතුව ඉන්න වෙනවා නම්, බඩු මිල තවදුරටත් වැඩි වෙනවා නම්, උද්ධමනය තවදුරටත් ඉහළ යනවා නම්, එහෙම ජනතාව කැමති වෙන්නේ නෑ.

මේ තියෙන මට්ටමින් හරි බඩු මිල පාලනය වෙන්න ඕන. තෙල් පෝලිම, ගෑස් පෝලිම් නැති වෙන්න ඕන, ගොවියාට පොහොර ටික හම්බ වෙන්න ඕන, දරුවන්ට ඉස්කෝලේ යන්න පුළුවන් වෙන්න ඕන, බෙහෙත් ටික එන්න ඕන. මොකද මාසයක් හමාරක් ඉවසයි. ඒ කාලය තුළ හදාගන්න පුළුවන් වෙන්න ඕන. ඒකට ඒ පිහිටුවන සර්ව සර්වපාක්ෂික ආණ්ඩුවට ජාත්‍යන්තර පිළිගැනීමක් අවශ්‍යයි.

එතකොට පොහොට්ටුවේ ඉඳලා කැඩිලා එන කට්ටියකට දීලා ඕක කරන්න පුලුවන්ද? එහෙම වෙන්නේ නෑ.
 
 
කැමති උනත් අකමැති උනත් මේ ජාතිවාදය අවුස්සපු පොහොට්ටුවේ ඉන්න අය දැනගන්න ඕන අද මැදපෙරදිග දෙපතුල ළඟ වැටිලා තමයි තෙල් පෝලිම නැති කරන්න ක්‍රෙඩිට් ලයින් එක ගන්න වෙන්නේ. ඉතිහාසය සරදම් කරලා තියෙන්නෙ දැන්.
 
 
ප්‍රශ්නය :
අපි දැක්කා අගමැතිතුමා ගේ නිවස ඉදිරිපිට දී මාධ්‍යවේදීන්ට විශේෂයෙන්ම කාන්තාවකට පහර දුන්නා පොලිස් නිලධාරීන්. මාධ්‍ය විදිහට අපි ගොඩක් බැට කාලා තියෙනවා. මේ අයට විරුද්ධව ස.ජ.බ. හැටියට මොකක්ද ඔබගේ ඉදිරි ක්‍රියාමාර්ග ය?


මරික්කාර් :
ඉතාම පැහැදිලිව මාධ්‍යවේදීන්ට මාධ්‍ය ආයතන වලට උපරිම නිදහස ලබා දිය යුතුයි කියන මතය සමගි ජන බලවේගය ස්ථාවරය. ඒ නිසා අපි පැහැදිලිව පළමුව ඒක හෙළා දකිනවා. හෙළා දැකලා විතරක් අපි ඕක අතාරින්නේ නෑ. ඉදිරියේ දී පිහිටුවන සර්ව පාක්ෂික ආණ්ඩුවක් හරහා අපක්ෂපාතී පුළුල් පරීක්ෂණයක් කරලා අපි ඒ අයට දඬුවම් ලබා දෙන එක දෙනවමයි. එයට යම් යම් පොලිස් නිලධාරීන් සෘජුව සම්බන්ධ වෙලා ඉන්නව නම්, ඒ අයට ඒකට අවශ්‍ය පියවර ගන්න අපි සූදානම්. ඒක කරන එක කරනවාමයි කියලා පැහැදිලිව කියන්න ඕන.

මාධ්‍යවේදීන්ට මාධ්‍ය ආයතන වලට ගහන්න කාටවත් අයිතියක් නැහැ . අපි 2010 පත්වෙච්ච රාජපක්ෂ රජයටත් , 2005 පත්වෙච්ච රාජපක්ෂ රජයටයි විරුද්ධ වුණේ ඇයි? මාධ්‍යවේදීන් ඝාතනය කරනවට විරුද්ද වුනේ ඇයි? මාධ්‍ය ආයතන ගිනි කියනකොට බෝම්බ කියනකොට විරුද්ධ වුණේ ඇයි? අන්න ඒ ප්‍රතිපත්තියේම අපි ඉන්නවා. එදා ඒ හිටපු ප්‍රතිපත්තිය රනිල් වික්‍රමසිංහ මහත්තයාට අමතක උනාට අපිට අමතක නැහැ.

ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ගෙදර ගිනි තියපු එකත් අපි තරයේම හෙළා දකිනවා. ඒක නොවිය යුත්තක්. ඒක එතුමාගේ පෞද්ගලික ගෙදර. අරගලයේ අරමුණු ප්‍රචණ්ඩත්වය නොවෙයි. අපි ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කරනවා. 
 
ඉතින් අපි අරගලයට සම්බන්ධ වෙලා ඉන්න අයගෙනුත් ඉල්ලීමක් කරනවා මේ අරලියගහ මන්දිරයයි ජනාධිපති මන්දිරයයි ඇවිල්ලා මේ ගෝඨාභය මහත්තයාගේ වත් රනිල් මහත්තයාගේ වත් පුද්ගලික දේපල නෙවෙයි. මේවා රාජ්‍ය දේපල. ඔබතුමන්ලා මේ අය යනකන් ඒක අල්ලගෙන ඉන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒවාට හානි කරන්න එපා කියලා ඉල්ලීමක් කරනවා.



ප්‍රශ්නය :
නමුත් ඔවුන් චෝදනා කරනවා සමගි ජන බලවේගය ට. පක්ෂයේ ඇතැම් පිරිස් උදේ ඉඳන් මෙතන රනිල් වික්‍රමසිංහ මහත්තයයි ගෙදර ගාව හිටියා කියලා.


මරික්කාර් :
 ඉතිං පරීක්ෂණ කරලා කවුරු හරි වැරදි නං, වැරදි කවුද ඔවුන්ව අත්අඩංගුවට ගන්න ඕන. දැන් මෙහෙමනේ, සිරිකොතේ සියයට දශම එකේ බත් ගොට්ටන්ටයි, වජිර අබේවර්ධන වගේ ඩීල්කාරයින් ටයි පුළුවන් ඕවා කිය කිය ඉන්න විතරයි ඉතින්. පරීක්ෂණ කරන්නකෝ. පොලිස්පති තුමා දැන් මේක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දීලා තියෙනවා, ඒ දීලා පරීක්ෂණ කරලා වැරදිකරුවන්ට දඬුවම් දෙන්න.

අපි නිවේදනයක් නිකුත් කළා, අපි දැනුත් කියනවා අපි හෙළා දකිනවා කියලා. අපි ප්‍රචණ්ඩත්වය අනුමත කරන්නේ නැති පක්ෂයක් කිසිසේත්ම. මොකද මූලික මිනිස් අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්, මාධ්‍ය නිදහස, අපි ඒවාට ගරු කරන ප්‍රමුඛස්ථානය දෙන පක්ෂයක්. ඉතින් ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වෙන්න පුළුවන්, වෙන කාගෙ හරි වෙන්න පුළුවන් ගෙවල් ගිනි තියෙනවා ට අපි කැමති නැහැ.

ඒ වගේම, දැන් ඒගොල්ලො නේ ගැහුවෙ, ඒ ගහපු එකත් වැරදියි නේ. ඒ ගහපු එක ගැන කවුරුත් කතා කරන්නෑ දැන්. අන්තර්ජාලයේ තොත්ත බබාලා ටිකක් අඬන එක විතරයි කරන්නේ. පරීක්ෂණ කරලා අල්ලගන්න. මාධ්‍යවේදීන්ට ගහපු එක ගැන කතා කරන් නෑ කවුරුවත්.



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්