1200 x 80 DMirror

 
 

ඉදිරි මාස කිහිපය තුල රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති වී ආර්ථික කලමනාකාරීත්වය පිළිබද සර්ව පාක්ෂික එකඟතාවක් ඇති නොවුනොත් සමස්ථ

ජනතාවම විශාල පීඩනයකට ලක්කරමින් රටේ ආර්ථිකය කඩා වැටීම වැලැක්විය නොහැකි වනු ඇති බව හිටපු අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.

නාලක ගොඩහේවා මන්ත්‍රීවරයා මේබව සඳහන් කර සිටියේ, වත්මන් ආර්ථික තත්වය ගැන කරුණු පැහැදිලි කරගැනීමට වෘත්තිකයන් පිරිසක් රාගම කාර්යාලයකදී ඔහුව හමුවූ අවස්ථාවේදීය.

''ආර්ථිකය ගැන හොඳ දැනුමක් තිබෙන පිරිසක් සියළු පක්ශ නියෝජනය කරමින් එකතුවෙලා, මේ වැඩේට අතගැහුවේ නැත්නම් ජීවත් වෙන්න රටක් ඉතුරු නොවෙන්න පුලුවන් කියන එක කවුරු කවුරුත් තේරුම් ගත්තොත් හොඳයි.'' යයි ඔහු එහිදී සඳහන් කළේය.

රටේ ආර්ථික අර්බුදය ඔහු මෙසේ සැකෙවින් විග්‍රහ කළේය.


''2021 අයවැය පරතරය රුපියල්  බිලියන 2000 ඉක්මවා තිබුනා''


'' රජයක් ජනතාවට සේවා සැපයීම සඳහා වාර්ෂිකව යම් මුදලක් වැය කරනවා. මේ මුදල් වර්ග දෙකක් තිබෙනවා. වර්ථන වියදම් හා පොදු ආයෝජන. ඒ වියදම් පියවා ගැනීම සඳහා රජය ආදායමක් ඉපයිය යුතුය. ආදායම් උපයන මාර්ග වන්නේ ප්‍රධාන වශයෙන් බදු ආදායම් හා බදු නොවන ආදායම්. වියදම ආදායමට වඩා වැඩි වූ විට අයවැය පරතරයක් ඇතිවෙනවා.

2021 අයවැය පරතරය රුපියල්  බිලියන 2000 ඉක්මවා තිබුනා. මොකද ආදායම රුපියල් බිලියන 1400 ක් පමන වෙන කොට වියදම රුපියල් බිලියන 3500 පමන වුනා.  

අයවැය පරතරය පියවීමට ඉතිහාසය පුරා විවිධ රජයන් දේශීය මෙන්ම විදේශීය ණය ගෙන තිබෙනවා.

 

දේශීය ණය ලබාගැනීමේදී රජය භාවිතා කරන එක උපක්‍රමයක් වන්නේ මහ බැංකුවෙන් මුදල් ණයට ගැනීමයි. ඒ සඳහා මහ බැංකුව මුදල් අච්චු ගසනවා.  මුදල් අච්චු ගසනා විට මුදලේ අගය අඩු වී උද්ධමනය වැඩි වෙනවා. ලංකාවේ මේ වන විට උද්ධමනය තිබෙන්නේ ඉතා ඉහල අගයක්. එය දිනෙන් දින වෙනස් වෙනවා.

 

# 2009 පසු විදේශ ණය ගැනීම් විශාල වශයෙන් වැඩි වුනා. 2009 දී විදේශ ණය ඩොලර් බිලියන 13.5 ක්. එය 2019 වන විට ඩොලර් බිලියන 34.7 ක් දක්වා වැඩි වෙලා තිබුනා.

# ඒ අතර වැඩි හරියක් තිබුනේ ඉතා ඉහල පොලී අනුපාතයන්ට ලබා ගත් කෙටි කාලීන වාණිජ ණය. ඉදිරි වසර ගණනාවක් පුරා අපට මේ ණය පොළී සමඟ ගෙවන්නට සිද්ධ වෙනවා. අවම වශයෙන් වසරකට ඩොලර් බිලියන 4ක් පමණ. සමහර අවුරුදුවල ඊටත් වඩා ගොඩක් වැඩියි.

# ණය වැඩිවෙනවාත් සමඟම වාර්ෂිකව ගෙවිය යුතු ණය ප්‍රමාණයද වැඩිවෙනවා.  රජයේ  වියදම ආදායමට වඩා ඉහල තිබෙනා තුරු මේ ණය උගුලෙන් මිදෙන්න බෑ. සෑම වසරකම තව තවත් ණය ගන්නට සිදුවෙනවා.

# විදේශ ණය ලබා ගැනීමේදී ණය හිමියන් ලංකාවේ ණය  ආපසු ගෙවීමේ හැකියාව සොයා බලනවා. ඒ සඳහා අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීමේ ආයතන වල නිර්දේශ වැදගත්. පසුගිය වසර 10 කට ආසන්න කාලයක් පුරා ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් වලින් ලංකාව පහලට එමිනුයි තිබුනේ. ලංකාව 2020 පමන වන විට ශ්‍රේණිගත කිරීම් වලින් ඉතා පහල අගයකට වැටී තිබූ  අතර තවදුරටත් කෙටි කාලීන වානිජ ණය ලබා ගැනීම ඉතා දුෂ්කර වුනා.

# පසුගිය දශකය පුරාම වගේ අවම වශයෙන් වසරකට ඩොලර් බිලියන 2ක් පමණ ණය අරගෙන තමයි රෝල ගහලා තියෙන්නෙ. 2019 ට පෙර සාමාන්‍යයෙන් ලංකාව තුලට මාසිකව ගලා එන ඩොලර් ප්‍රමාණයෙන් හා ලබා ගන්නා විදේශ ණය වලින් ලංකාවෙන් මාසිකව පිටතට ගලා යන ඩොලර් ප්‍රමාණය කලමනාකරණය කරගන්න පුළුවන් වුනා.  මදි වුන අවස්ථාවල සංචිත මුදල් භාවිත කළා.

# 2019 න් පස්සේ සංචාරක ව්‍යාපාරය කඩා වැටීම නිසා ඒ හරහා අපේ රටට ගලා එන විදේශ විනිමය විශාල වශයෙන් අඩු වුනා. ඊට අමතරව විදෙස් ගත ශ්‍රමිකයන් ලංකාවට එවන මුදලුත් අඩු වෙන්න පටන් ගත්තා. ඉස්සර වගේ විදේශ ණය ලබාගත නොහැකි තත්වයක් තුල ලංකාවට සිදු වූයේ ආනයන හා ණය ගෙවීම් අවශ්‍යතා වෙනුවෙන් රටේ විදේශ සංචිත වැය කිරීමටයි.

 

2019 අවසන් වන විට ඉතුරුව තිබූ ඩොලර් බිලියන 7.6 මේ සඳහා කිසිසේත් ප්‍රමාණවත් වුනේ නෑ. ඒ නිසා 2022 පලමු කාර්තුව අවසන් වන විට රටේ තවදුරටත් විදේශ සංචිත ඉතුරුව නැති තත්වයක් උදා වුනා. දැන් අපිට මාසික වියදම් දරාගන්න ප්‍රමාණවත් ඩොලර් ප්‍රමාණයක් මාසිකව රට තුලට එන්නේ නෑ. ණය ගෙවා ගන්න බැරි බව  දන්නා නිසා කවුරුවත් අපට ණය පහසුකම් දෙන්නෙත් නෑ භාණ්ඩ ගෙන්වන්න.

 

අද රටේ ප්‍රධානතම අත්‍යාවශ්‍ය ආනයනික භාන්ඩය වන ඛණිජ තෙල් සඳහා මුදල් සොයා ගත නොහැකිව රජය අසරණව සිටින්නේ මේ තත්වය තුලයි. තෙල් වලට පමනක් අපට මාසයකට ඩොලර් මිලියන 500 ක් පමන අවශ්‍යයි. ඊට අමතරව ඖෂධ, පොහොර, ගෑස් සහ තවත් බොහෝ අත්‍යවශ්‍ය ආනයනයන් සඳහා රජයට ඩොලර් අවශ්‍ය වෙනවා.


දේශපාලන අස්ථාවරත්වයත් එක්ක කවුද ණය දෙන්නේ ?


india debt

පසු ගිය මාස කිහිපයේ අපට ඉන්දියාවෙන් ණය පහසුකමක් දීල තිබුනා. දැන් ඒකත් ඉවරයි.

එන මාසේ ඉඳලා තෙල් වලට ගෙවන්න මුදල් හොයන්න නම් කොහෙන් හරි ණයක් ලැබෙන්නම ඕනේ. එහෙම නැත්තම් කවුරුහරි තෙල් ණයට දෙන්න ඕන. ඒත් මේ රටේ තියන දේශපාලන අස්ථාවරත්වයත් එක්ක කවුද ණය දෙන්නේ ?

 

''ණය වැඩිවෙනවාත් සමඟම වාර්ෂිකව ගෙවිය යුතු ණය ප්‍රමාණයද වැඩිවෙනවා. රජයේ වියදම ආදායමට වඩා ඉහල තිබෙනා තුරු මේ ණය උගුලෙන් මිදෙන්න බෑ. සෑම වසරකම තව තවත් ණය ගන්නට සිදුවෙනවා.''

 

දැන් මේ අර්බූදයෙන් ලංකාවට සම්පූර්නයෙන් ගොඩ යන්න කාලයක් ගත වෙනවා. ඒ පුලුවන් වෙන්නෙත්  අපි අද හෙටම රජය ස්ථාවර කරගෙන වැඩ පටන් ගත්තොත්.

වර්තමාන පාර්ලිමේන්තුව විවිධ කන්ඩායම් නියෝජනය කරන, ආර්ථික කලමණාකරනය ගැන විෂය දැනුමක් හා පලපුරුද්දක් තිබෙන පිරිසක් සාකච්ඡා කරලා, පාර්ලිමේන්තුවට පිට සිටිනා විවිධ කන්ඩායම් විසින් පසු ගිය කාලේ ඉදිරිපත් කල යෝජනාත් සැලකිල්ලට ගෙන, ආර්ථිකය ගොඩ ගන්න යම් මූලික එකඟතාවක් මේ වන විටත් ඇතිකරගෙන තිබෙනවා.

මට හිතෙන විදියට ඒ වැඩ පිලිවෙලත් අවුරුදු 1, අවුරුදු 2 ක හා අවුරුදු 7 ක කියලා කොටස් තුනකට වෙන් කරගෙන ක්‍රියාත්මක කරන්න වෙයි. මේ කාලය තුල අවම වශයෙන් ආන්ඩු දෙකක්වත් වෙනස් වෙනව. දැනට නියමිත කාලවලට චන්ද තිබ්බොත්. ඒ ආන්ඩු දෙකම නිශ්චිත ප්‍රතිපත්තියකට වැඩ නොකොලොත් ආයෙත් වැඩේ අවුල් වෙනවා.

 

ලෝකයේ මෙවැනි අර්බුද  වලට මුහුන දුන් වෙනත් රටවල වුනා වගේ අසහනයට පත් ජනතාව නැවත නැවත ආන්ඩු පෙරලන්න ගියොත් වැඩේ තවත්  අමාරු වෙයි. ඒ නිසා තමයි මම දිගින් දිගටම කියන්නේ සර්ව පාක්ෂික ආන්ඩුවක් පිහිටුවල ආර්ථික සැලැස්ම ඇතුලු යම් මූලික කරුණු කිහිපයක් ගැන පොදු එකඟතාවක් ඇති කරගන්න කියලා.

 

ඕනේ කෙනෙක් ඕනේ විදියට තමුන්ගේ දේශපාලනය කරන්න. නිශ්චිත කාලරාමුවක් තුල චන්දයක් තියල අරගලයේ ඉන්න තරුණ කන්ඩායම් වලටත් පාර්ලිමේන්තුවට ජනතා කැමැත්තෙන් පත් වී එන්න අවස්ථාව දෙන්න. සුදුසු නැහැ කියල හිතන මේ පාර්ලිමේන්තුවේ ඉන්න අය චන්දෙන් ගෙදර යවන්න.

හැබැයි ආර්ථිකය ගැන හොඳ දැනුමක් තිබෙන පිරිසක් සියළු පක්ශ නියෝජනය කරමින් එකතුවෙලා, මේ වැඩේට අතගැහුවේ නැත්නම් ජීවත් වෙන්න රටක් ඉතුරු නොවෙන්න පුලුවන් කියන එක කවුරු කවුරුත් තේරුම් ගත්තොත් හොඳයි.''



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

ඇට මැස්සා