අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මැතිවරණයේදී නිදහසේ ඡන්දය භාවිත කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇති
අයිතිය අවහිර කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ බලපෑම් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආරක්ෂක අංශ වෙත උපදෙස් දී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී බලතල හා වරප්‍රසාද පනත ඇතුළු ඊට අදාළ අපරාධ නීති පනත් යටතේ අදාළ විමර්ශන පවත්වන ලෙස ද ජනාධිපතිවරයා අදාළ ආරක්ෂක අංශ වෙත දුන් උපදෙස්වල සඳහන් බව කියැවේ.
මන්ත්‍රී බලතල හා වරප්‍රසාද පනත යටතේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව වෙත යාමට හා ඒමට නිදහස තිබිය යුතු බවටත් පාර්ලිමේන්තුව තුළදී පවා නිදහසේ කටයුතු කිරීමට අවස්ථාව තිබිය යුතු බවටත් සඳහන් කරන ජනාධිපතිවරයා, ඊට එරෙහිව කටයුතු කිරීම මන්ත්‍රී වරප්‍රසාද කඩවීමක් මෙන් ම තර්ජනයක් බව ද අවධාරණය කර ඇත.
අරගලකරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් අපේක්ෂකයන්ට ඡන්දය දී ගමට එන්න එපා යනුවෙන් සඳහන් “පෝස්ට්” ප්‍රදර්ශනය කරමින් බලපෑම් කරන බවට තමාට පැමිණිලි ලැබී ඇතැයි ද වැඩබලන ජනාධිපතිවරයා පවසා තිබේ.
අරගලකරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙස තර්ජන එල්ල කිරීම නිසා තමන්ට නිදහසේ ඡන්දය භාවිත කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි මන්ත්‍රීවරුන් විශාල පිරිසක් වැඩබලන ජනාධිපතිවරයා වෙත පැමිණිලි කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රකාශකයෙක් කීය.
ඒ අනුව, ජනාධිපතිවරයා ආරක්ෂක අංශ වෙත මීට අදාළව සොයා බලා විමර්ශනයක් පවත්වන ලෙසට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරයා තෝරා ගැනීමට ඡන්දය ප්‍රකාශ කිරීමේදී යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වුව ද මන්ත්‍රීවරුන්ට අනිසි බලපෑම් සහ තර්ජන කරන්නේ නම් රටේ නීතිය අනුව දැඩිව ක්‍රියා කරන බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පළමු කැබිනට් රැස්වීමේදී ද අමාත්‍යවරුන් හමුවේ පවසා ඇති බව ද වාර්තා වේ.
(mawbima.lk)
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.